සේඛ බල ඇති කර ගනිමු

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සේඛ බල ඇති කර ගනිමු

    සේඛ බල ඇති කර ගනිමු
    ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය මුණගැහිල තියෙනවා. ඒ නිසා අපට දැනගන්ට ලැබුණා ඉපදුන මනුෂ්‍යයන්ටත්, දෙවියන්ටත්, මේ කාටත් තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල. ඒ ලොකුම අනතුර තමයි සතර අපායේ ඉපදෙන්ට බහුල ඉඩකඩක් අප තුළ පැවැතීම.

    භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නා, මැරෙන මිනිස්සුන් අතරින් නැවත වතාවක් මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය වගේ සුගති ලෝකවල උපදින්නේ මහපොළොවෙන් නියපොත්තට පස් ටිකක් ගත්තහම ඒ පස් ප්‍රමාණය වගේ ඉතාමත්ම සුළු පිරිසක් කියල. මහ පොළොවේ තියෙන පස් වගේ විශාල මිනිසුන් ප්‍රමාණයක් මිය ගිහිල්ලා නැවත උපදින්නේ සතර අපායේ කියල. මේක පුංචි අනතුරක් නොවෙයි. සුළු අනතුරක් නොවෙයි. ලඝු කොට සැලකිය යුතු කාරණයක් නොවෙයි. අපේ ජීවිත වල තියෙන ලොකුම අර්බුදය මේක තමයි. අප විසින් ජයගතයුතු ලොකුම අභියෝගයත් මේකමයි.
    අපට දැන්, අපේ ජීවිත හමුවේ තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල දැනගන්නට ලැබුණා. ඒ අපට ගෞතම බුදුසසුන මුණ ගැසුණු නිසයි. ඒක අප ලද මහඟු ලාබයක්. මෙතරම් ලාබයක් ලැබුණ අප මේ ලාබය අත් නොහැරෙන විදිහට, ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කර ගන්නට කල්පනා කළ යුතුයි. සතර අපායේ වැටෙන ස්වභාවයක් අප ජීවිතවල තිබෙනවා නම්, ඒ සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්ට කල්පනා කළ යුතුයි. එයම තමයි මනුෂ්‍යයෙක් විසින් තමන්ගේ ජීවිතයට සලසා ගත යුතු ලොකුම යහපත, අභිවෘර්ධිය. අපට සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්ට බැරි වුණොත්, මේ මනුෂ්‍ය ජීවිතය තුළ මොන තරම් ලොකු දේවල් රැස් කරගෙන හිටියත්, ඒ රැස්කර ගත්තා වූ දේ අපට ලොකු උපකාරයක් පිණිස පවතින්නේ නෑ. මේ ජීවිතයේ අප ලොකු දෙයක් රැස් කරගෙන නොතිබුණත්, එයා සතර අපායෙන් නිදහස් වෙලා නම්, එයාට ඒ සතර අපායෙන් නිදහස් වීම මගින් සලසන්නා වූ උපකාරය ප්‍රමාණ රහිතයි.

    ඒනිසා, අප සතර අපායෙන් නිදහස් වෙන පැත්තට සිත හදාගන්ට, සිත යොමුකර ගන්ට, සිත දියුණු කර ගන්ට විශාල වෑයමක් ගත යුතු යි. ඒ වෑයම සාර්ථක වෙන්නේ, සතර අපායෙන් නිදහස් විය යුතු වැඩපිළිවෙළ ගැන හරි වැටහීමකින්, හරි දැනීමකින් යුතුව අප කටයුතු කළොත් පමණයි. සතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙළ ගැන අපට හරි වැටහීමක්, හරි දැනීමක්, නොතිබුණොත්, අප කුමක් කළත් ඒ නිදහස් වීම සිද්ධ වෙන්නේ නෑ. අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, සිත නියම ආකාරයෙන් පිහිටුවා නොගත්තොත් දුකෙන් නිදහස් වීමක් සිදුවන්නේ නෑ කියල. සිත නියම ආකාරයෙන් පිහිටුවා ගත්තොත් විතරමයි අපට දුකෙන් නිදහස් වෙන්ට පුළුවන් වෙන්නේ.

    එහෙනම්, අප කොතරම් ධර්මය ඉගෙන ගෙන තිබුණත්, කොතරම් ධර්මය පාඩම් කළත්, කොතරම් ධර්මය කතා කළත්, ඒ ධර්මය පුරුදු කර ගන්නා ආකාරය ගැන අපට හරි වැටහීමක් ඇති කර ගන්ට බැරි වුණොත් අපට ලැබිච්ච ලාබය අත්කර ගන්ට බැරුව යනවා. අපට වරදිනවා නම්, අපට නිවන් මඟට එන්ට බැරි වෙනවා නම්, අන්න ඒ සඳහා ඉඩ කඩ ඉතා වැඩියි. ඒ නිවන් මඟට පැමිණීම පිණිස තිබෙන උපකාර අඩුයි. ඒ නිවන් මඟට පැමිණීම පිණිස තිබෙන බාධක, එහෙම නැත්නම් නිවන් මඟට නොපැමිණෙන්න තිබෙන ඉඩ කඩ හරියට ආකාසේ වගේ විශාලයි. නමුත් නිවන් මඟට පැමිණෙන්න තියෙන උපකාර, ඉඩකඩ ආකාසෙ වගේද? නෑ. ඒක හරියට ඉදිකට්ටේ තුඩ වගේ, පුංචි ඉඩක් තමයි තියෙන්නෙ. එහෙනම් මේක පහසු කටයුත්තක් නොවෙයි. ඒකෙන් අදහස් කරන්නෙ නිවන අවබෝධ කිරීම බෑ කියල නම් නොවෙයි. ඒක කොතරම් දුෂ්කරද කියන කාරණයයි කිව්වේ. ඒ නිසා අප නිවන් මඟට පැමිණීම පිණිස, අත් නොහරින වෑයමකින් යුතුව, මනා කල්පනාවක් සහිතව ඒ සඳහා කටයුතු කළ යුතු යි.
    එතකොට නිවන් මඟට පැමිණීම පිණිස ආරම්භයේදීම අප කළයුත්තේ කුමක්ද? ඒ සඳහා අප මුලින්ම භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය ඇති කරගත යුතු යි. ඒක ලේසි කාරණාවක් නෙවෙයි. ඒ සඳහා බාධා බහුලයි. නමුත් යමෙකුට ශ්‍රද්ධාව ඇතිකරගෙන, නිවන් මඟට පැමිණෙන්ට නොහැකි වුණොත්, කොයි තරම් කාලයකින් එයාට නැවත මේ දුර්ලභ අවස්ථාව ලැබෙයිද කියල කියන්ට බෑ. ඒ නිසා අප තුළ ශ්‍රද්ධාව ඇතිකරගෙන ඉතා කල්පනාවෙන්, ඒ නිවන් මඟ අඳුන ගෙන ඒකට පිවිසෙන්ට වෙහෙස මහන්සි විය යුතු යි. අප කෙසේ හෝ එතෙන්ට පිවිසුණොත්, ශ්‍රද්ධාවට පැමිණිතොත්, ශ්‍රද්ධානුසාරී කෙනෙක් බවට පත් වුණොත්, එයාට කොතරම් බාධක තිබුණත්, එයාගේ නිවන් මග වළකින්නේ නෑ. එයාට නිවනට බාධා තිබුණත්, ඒ සියලු බාධා වලින් එයාට ප්‍රමාදය ඇතිකරන්න පුළුවන්කම තිබෙන්නේ භව හතක් දක්වා පමණයි.

    ඒ නිසා මේ ධර්මයෙන් අපට සැලසෙන මේ මහා යහපත තේරුම් අරගෙන පරිස්සමින් පුරුදු කර ගත්තොත්, අපට නිවන් මඟට පිවිසෙන්න ඉඩ කඩක් පාදගන්ට පුළුවන් වෙනවා. එතකොට ඒ විදිහට නිවන් මඟට පැමිණීම පිණිස අපකාර බහුලව තිබෙන යුගයක, අප තුළ විශාල බලයක් තියෙන්ට ඕනෑ. ඒ අපකාර මැඩගෙන ඒ පුංචි ඉඩකඩ පාදගන්න. අන්න ඒ බලය අප උපදවා ගත යුතු එකක්. ඒ බලය ඉබේ ඉපදෙන්නේ නෑ. නිවන් මඟට පිවිසෙන්ට, පිවිසිලා නිවන් මඟ සම්පූර්ණ කර ගැනීම පිණිස අප ඒ බලය ඇති කර ගන්ට ඕනැ. අන්න ඒ බලයට කියනවා ‘සේඛ බල’ කියල. ඒ සේඛ බල වලින් යුතුව නිවන් මගේ පුරුදු වෙන කෙනාට තමයි ‘සේඛ’ කියල කියන්නේ. ඒ සේඛ බල ඇතිකර ගැනීමෙන් තමයි අපට සතර අපායෙ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා සුගතියෙ පැත්තට සිත නමාගන්නත්, ඒ වගේම නිවන් මඟට පිවිසෙන්නටත් පුළුවන්කම තිබෙන්නෙ. යමෙක් තමන් තුළ උපදවා ගත්ත සේඛ බල ඇසුරු කරමින් ඒ වගේම ඒ සේඛ බල දියුණු කර ගනිමින් වාසය කළොත්, එයා තුළ නිවන් මඟ ටිකෙන් ටික දියුණු වෙනවා. යම් දවසක ඒ සේඛ බල පරිපූර්ණ කර ගැනීමෙන් නිවන් මඟ පරිපූර්ණ වෙනවා. ඒ නිවන් මඟ පරිපූර්ණ වීම පිණිස සේඛ බල පරිපූර්ණ වීම පිණිස කොච්චර කලක් යයි ද කියල අපට කියන්ට බෑ. උපරිම වුණොත් භව හතක් දක්වා පමණයි. නමුත් අප සේඛ බල උපදවා ගැනීම මේ ජීවිතයේදීම කර ගත යුතුම යි. ඒ සඳහා ලොකු කැමැත්තක්, ලොකු වෑයමක්, අප තුළ ඇති කර ගත යුතු යි.

    එවිට, මොනවද මේ සේඛ බල කියල කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ, සේඛ බල සංකිත්ත කියන සූත්‍ර දේශනාවේ දී අපට මේ විදියට සේඛ බල ගැන වදාරනවා, “පංචිමාණි භික්ඛවේ සේඛ බලාණී”, පින්වත් මහණෙනි, මේ සේඛ බල පහක් තිබෙනවා. “කතමාණි පංච?” මොනවද ඒ පහ? “සද්ධා බලං, හිරි බලං, ඔත්තප්ප බලං, විරිය බලං, පඤ්ඤා බලං ඉමානි ඛෝ භික්ඛවේ සේඛ බලානි” පින්වත් මහණෙනි, මේ තමයි සේඛ බල පහ. මොනවද ඒ සේඛ බල පහ? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදිහට පෙන්වා දෙනවා, “තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං” පින්වත් මහණෙනි, මේ විදිහට පුරුදු වෙන්න. “සද්ධා බලං සමන්නාගතා භවිස්සාමි” මේ ශ්‍රද්ධා බලය කියන සේඛ බලය ඇති කර ගෙන, පුරුදු කර ගෙන වාසය කරන්ට ඕනෑ, ඒ වගේම හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය කියන සේඛ බලයන් ඇති කරගෙන, පුරුදු කර ගෙන වාසය කරන්ට ඕනෑ” කියල හික්මෙන්න කිව්වා.

    ඒ නිසා අප කොයි කවුරුත් මේ පංච සේඛ බල උපදවා ගෙන පුරුදු කර ගන්ට මහන්සි වෙන්ට ඕනැ. ඒ සඳහා අප නිතර අපේ සිතේ මේ විදියට පුරුදුකර ගන්ට ඕනැ. ඒ තමයි “මා ශ්‍රද්ධා බලය කියන සේඛ බලය ඇති කෙනෙක් වෙන්ට ඕනෑ. මා හිරි බලය කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ, මා ඔත්තප්ප බලය කියන සේඛ බලය ඇති කෙනෙක් වෙන්ට ඕනැ, මා වීරිය කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ, මා ප්‍රඥා කියන සේඛ බලය සහිත කෙනෙක් වෙන්ට ඕනෑ.” කියල නිතර අපේ සිතේ පවත්වන්ට ඕන. නිතර ඒ අදහස පවත්ව ගන්න කියල ඇයි අපට කියා දෙන්නෙ. නිතර ඒ අදහස පැවැත්වූයේ නැත්නම් අපට මේක පුරුදු කරගන්ට අමතක වෙලා යනවා. නිතර ඒ අදහස සිතේ තිබුණොත් තමයි අපට ඒවා පුරුදු කරගන්ට හැකි වෙන්නෙ. ඉතින් අප මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා සේඛ බලයන් ඇතිකර ගෙන, ඒ සේඛ බල පරිපූර්ණ කර ගැනීමට වාසනාව උදාවේවා කියල. සියලු දෙනාටම තෙරුවන් සරණයි....!

    නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

    http://www.lakehouse.lk/budusarana/2012/04/13/tmp.asp?ID=vision05
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ධර්මයෙන් පිහිට ලබමු

    ධර්මයෙන් පිහිට ලබමු
    සිතේ යම් අපහසුවක් එනකොට ඒකට යට නොවී ඉන්ට පුරුදු වෙන්න. හිත්වල යම් යම් අපහසුකම් එන්නට පුළුවන්. ඒකට යට නොවී ඉන්ට අපි පුරුදු වෙන්ට ඕනැ. හිතේ එන අපහසුතාවයන්ට යටනොවී ඉදීම ම තමයි ධර්මය පුරුදු කරනවා කියල කියන්නෙ. වෙන අත්භූත දෙයක් නෙවෙයි. හිතේ යම් අපහසුතාවයක් එනකොට ඒකට යටවෙලා, පීඩා විඳිමින් ඉන්නව නම් එතකොට ධර්මය පුරුදු කිරීමක් නෑ.

    හිතට යම් අපහසුවක් ආවොත් ඒකට යට නොවී, ඒක බැහැර කරගන්ට උනන්ඳූ වෙනව නම් ඒක තමයි ධර්මය පුරුදු කරනවා කියල කියන්න.

    එතකොට ඒ විදිහට කටයුතු කරන්ට නම් අපිට විශ්වාසයක් තියෙන්ට ඕනෑ ''හිතේ හටගත්ත ඒ අපහසුව හටගත්ත එකක්. ඒක වෙනස් වෙලා නැති වෙලා යන එකක්"" කියල. අන්න එතකොට එයා ඒක අයින් කරගන්ට, නැති කරගන්ට උත්සාහ කරනවා. උත්සාහ කරද්දීත් එයාට ඒ අපහසුව දුරුකරගන්ට බැරි නම්, (මේක වෙනස් වෙලා යනවා කියන විශ්වාසයෙන්) එයා පාඩුවෙ ඉන්නව. ඇයි...? එයා දන්නව, මේක හටගත්ත දෙයක්, ඒක කලක් යනකොට නැතිවෙලා යනව කියලා.

    අන්න ඒ වගේ වැටහීමක් තියෙනව නම් එයා ධර්මය ගැන වැටහීමක් තියෙන කෙනෙක්. නමුත් හිතේ යම් අපහසුවක් අපුවාම ඒකට යටවෙලා තමන්ට හානි කරගන්නව නම්, එයාට ධර්මය ගැන පොඩි හෝ වැටහීමක් තියෙනව කියල යමෙකුට කියන්න බෑ. ඒ නිසා අන්න ඒ වගේ ධර්මය ගැන වැටහීමක් උපදව ගන්ට.

    එතකොට පේනව නේද තව කෙනෙකුට මේක කරල දෙන්ට පුළුවන් දෙයක් නෙවෙයි කියල. තව කෙනෙකුට මඟ පෙන්වීමක් පමණයි කළ හැක්කේ කියල දැන් තේරෙනවද? ඇයි..? තමාගේ හිත තමාමයි සකස් කරගත යුත්තේ. හිත සකස් කරගැනීමේදී, යම් යම් අවස්ථාවලදි අකුසල් ඇවිඳින් හිතේ පීඩා ස්වභාවයන් ඇතිවෙන්ට පුළුවන්. අන්න එතකොට අපි අකුසලයට යට නොවී ඒක බැහැර කරගන්ට වෑයම් කරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ.

    බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුළ තියෙන්නෙ වීරියවන්තයින් ගොඩ නගන විදිහක්. වීරියවන්තයින්වයි ධර්මයෙන් ගොඩ නගන්නෙ. අඬන අය නෙවෙයි. මේ ධර්මය තුළ අපිට කියා දෙන්නෙ අඬන ස්වභාවයෙන් නිදහස් වීම ගැනයි. හැංගිලා ජීවත්වන ස්වභාවයක්ද? නෑ. පිරිසක් එක්ක සුව පහසුවෙන් ඉන්න විදිහක් අපිට කියා දෙන්නෙ.

    ඒ නිසා අපි මේ ධර්මයේ තියෙන මහා ලාභය තේරුම් ගන්ට ඕනැ. තේරුම් අරගෙන ඒ ධර්මයේ ඇති මහා යහපත ඇතිකර ගන්න මහන්සි වෙන්ට ඕනැ. මේ ධර්මයේ තියෙන මහා ලාභය තමයි අපිට සුවපහසු ජීවිතයක් උපදව ගන්න පුළුවන් කම.

    සාමාන්‍යය මනුෂ්‍යයා සුවපහසුව සඳහා කනව, බොනව හැමදේම කරනව. අපි සාමාන්‍යය මනුෂ්‍යා කරන දේට වඩා වැඩි යමක් කරන්ට උත්සාහ කරනව. මොකක්ද ඒ? හිත සුව පහසුවට පත්කර ගැනීමට ධර්මය පුරුදු කරනවා. එහෙම කරන්ට පුළුවන් කම තියෙන්නේ හිතේ එන අපහසුවට යටනොවී, ඉන්ට උත්සාහ කිරීමෙන්. ඒ හිතේ එන අපහසුවට යටනොවී ඉන්ට පුළුවන් කම තියෙන්නේ "ඒ අපහසුව අනිත්‍යය එකක්, නැතිවෙලා යන දෙයක්, හටගත්ත දෙයක්, හට ගත්ත දේ නැතිවෙලා යනවා" කියන අදහස තියන කෙනාටයි. ඒක නේද ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය කියල කියන්නෙ.

    ධර්මය දන්නවා කියල කියන්නෙ ඒක නේද? එහෙම නැත්නම් මේ පුංචි අපහසුවක් ආපුවාම, කලන්තෙ Þන එකයි අපහසුව නැතිවුනායින් පස්සෙ ආඩම්බරෙන් ඉන්න එකයි නෙවෙයි, ධර්මයේ ඉන්නවා කියල කියන්නෙ. පුංචි අපහසුවක් ආපුවාම කලන්තෙ දානව. අපහසුව ගිය ගමන් ආඩම්බරෙන් ඉන්නව. ඔය දෙක ධර්මයෙන් ගොඩාක් ඈත.
    පුංචි තියා ලොකු අපහසුවක් ආවත් ඒ අපහසුවට යටනොවී ඉන්නව නම්, ඒක නැතිවෙලා යන එකක් කියන වැටහීමෙන් යුක්තව, ඒක නැතිකර ගැනීම පි‚ස කටයුතු කරනවා නම්, උපක්‍රමයෙන් යුක්තව කටයුතු කරනවා නම් එතනයි ධර්මය දන්නා බව තියෙන්නෙ. අන්න ඒ වගේ තමන්ගේ හිත, පීඩාවෙන් ගලවා ගන්න මහන්සිවෙන කෙනා අකුසලයක් ඇවිඳින් හිත පීඩා නොකරන වෙලාවල් තියෙනවනෙ, එතකොට ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නවා, දැන් මෙහෙම හිටියට මේ හිත අකුසලයක් ආපු ගමන් යටවෙනව. මේ හිතේ අකුසල් තියෙනව කියල, එයට තමන් ගැන අවංක වැටහීමක් තියෙනව. එයා ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නවා, මේ හිත පොඩ්ඩ ඇත්නම් මාව පීඩාවට පත්කරන එකක්. මේ හිතේ රාගය ඇවිඳින් මාව පීඩාවට පත්වෙනවා. මේක ද්වේෂය ඇවිත් මාව පීඩාවට පත්වෙනවා. මේ හිතේ මෝහය ඇවිඳින් මාව පීඩාවට පත්වෙනවා.
    මේ හිත කෙලෙස් සහිත එකක් කියලා. මේ හිත පිරිසිඳූ කරගත යුතු එකක් කියල එයා කල්පනා කරනව. එතකොට එයාගෙ ආඩම්බරය ගෙවිල යනව. එතකොට එයාට ආඩම්බර වෙන්න දෙයක් නෑ. ඒ නිසා තමන්ගෙ හිතේ ස්වභාවය තේරුම් ගන්න. තේරුම් අරගෙන හිතේ එන අපහසුකම් බැහැර කරගැනීම පිණිස ධර්මයට අනුව කල්පනා කරන්න.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි!

    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම පිං මචං නූල දාපු උඹට.. මම බුක් මාක් එකක් දාගත්තා.. නිවාඩු පාඩුවෙ කියවන්න ඕන හිමින්.

    රෙප් දෙන්න බෑ කියනවා..