සෝවියට් KGB රහස් ඔත්තු සේවයේ වග තුග - 01

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93

    සෝවියට් KGB රහස් ඔත්තු සේවයේ වග තුග


    සෝවියට් දේශය පිළිබඳව කියවෙද්දි බොහෝ දෙනාට නිතරම මතකයට එන ආයතනයක් ලෙස KGB ය සඳහන් කරන්න පුළුවන්. මෙය සෝවියට් දේශයේ රහස් ඔත්තු සේවය ලෙස අප සාමාන්‍යයෙන් අසා තිබෙනවා. KGB ආයතනයේ මූලාරම්භය 1917 තෙක් දිවයන අතර, එයට KGB යන නම ලබා දෙනු ලැබූයේ 1954 දී යි.

    රුසියාවේ බෝල්ශවික් විප්ලවය සිදු වූයේ 1917 නොවැම්බර් 7 වන දා යි. එම අවස්ථාවේ බෝල්ශවික්වරුන්ට එරෙහි විශාල පිරිසක් රටෙහි වුණා. නව බෝල්ශවික් රජය පෙරළා දැමීම සඳහා දේශීයව මෙන්ම විදේශීයව ද විවිධ කණ්ඩායම් පෙළගැසුණා.

    සෝවියට් පාලනය මෙම ප්‍රතිවිප්ලවකාරී කටයුතු මර්ධනය කිරීම සඳහා සංවිධානයක් ස්ථාපිත කළේ 1917 දෙසැම්බර් 20 වන දා යි. මෙහි නම තරමක් දිග එකක් වූ අතර හදිසි අවස්ථා කමිටුව ලෙස කෙටියෙන් හැඳින්වුණා. එය වඩාත්ම ප්‍රකට වූයේ චෙකා යන නමින්.

    ඉතිහාසය තුළ වූ ප්‍රතිසංවිධානයන්

    ආරම්භයේ දී චෙකා නමින් හඳුන්වන ලද සංවිධානය ක්‍රියාත්මක වුණේ සෝවියට් රුසියාවේ යි. 1922 දී එය GPU නමින් නම් කරන ලද අතර එය අභ්‍යන්තර කටයුතු පිළිබඳ මහජන කොමසාරිස් කාර්යාලය හෙවත් NKVD ය යටතේ ක්‍රියාත්මක වුණා. එය ද නිල වශයෙන් ක්‍රියාත්මක වූයේ රුසියාව තුළ යි.

    1923 දී මෙම සංවිධානය OGPU නමින් නම් කරනු ලැබ, ස්වාධීන අධිකාරියක් බවට පත් කරනු ලැබුණා. මෙය සමස්ථ සෝවියට් දේශයටම බල පැවැත්වෙන ලෙස ක්‍රියාත්මක කෙරුණා.

    1934 දී මීළඟ ප්‍රතිසංවිධානය කිරීම සිදු වුණා. එහිදී රුසියානු NKVD ආයතනය අහෝසි කර සමස්ථ සෝවියට් දේශයටම බලපාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ මහජන කොමසාරිස් කාර්යාලය (NKVD) පිහිටුවනු ලැබුවා. එහි අභ්‍යන්තර ආයතනයක් ලෙස GUGB නම් රහස් පොලීසිය පිහිටවන ලද අතර සාමාන්‍ය ව්‍යවහාරයෙදී රහස් පොලිසිය NKVD යන නමින්ම හැඳින්වුණා.

    gsAmZ6FfCoNgfEHk_1.JPEG
    KGB මූලස්ථානය වූ ලුබ්යන්කා ගොඩනැගිල්ල. වීදියෙහි වටරවුමෙහි ඇති ජර්සින්ස්කි ප්‍රතිමාව කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමත් සමග ඉවත් කෙරුණි (Public Domain)

    1943 දී මෙම සංවිධානය NKGB ලෙස නම් කෙරුණා. එහි දිගු නාමයෙහි අර්ථය වුණේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මහජන කොමිසාර් කාර්යයාලය යන්න යි. මෙයම 1946 දී MGB ලෙස නම් කෙරුණා. එහි අර්ථය වුණේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යන්න යි. 1953 දී එය MVD ලෙස ප්‍රතිසංවිධානය කරන ලද අතර 1954 දී KGB යන නම යොදා ගැනුණා. මෙම නමෙහි අර්ථය වුණේ රාජ්‍ය ආරක්ෂක කමිටුව යන්න යි.

    මෙසේ ප්‍රතිසංවිධානය වුණත්, සාමාන්‍ය ව්‍යවහාරයේ දී චෙකා, NKVD, සහ KGB යන නාමයන් වඩා ප්‍රචලිත වුණා. උදාහරණයක් ලෙස, බොහෝ දෙනා මුල් කාලීනව මෙම සංවිධානය චෙකා ලෙසත්, 1954 ට පෙර NKVD ලෙසත් හැඳින්වුවා.

    අප මෙම ලිපි පෙළේ දී ද 1954ට පෙර සමය සඳහා KGB යන නම යොදාගන්නේ නැහැ. නමුත් චෙකා, OGPU, NKVD ආදී සියළු නම්වලින් කියවෙන්නේ ප්‍රධාන සෝවියට් ඔත්තු සේවය හෙවත් පසුව KGB බවට පත් වූ සංවිධානය බව මතක තබා ගැනීම වැදගත් වනවා. මීට අමතරව හමුදා බුද්ධි අංශය වන GRU ආදී අනෙකුත් සංවිධානයන් ද සෝවියට් දේශයේ බුද්ධි කටයුතුවල නිරත වූ බව ද මෙහිදී කිව යුතු වනවා.

    මුල් කාලීන කටයුතු

    චෙකා සංවිධානය ආරම්භයේ පටන්ම ප්‍රබල සංවිධානයක් වුණා. බෝල්ශවික්වාදීන්ට එරෙහි පිරිස් මර්දනය කිරීම සඳහා චෙකා සංවිධානය කටයුතු කළා. මේවා කෙලින්ම බුද්ධි අංශ, එනම් රහස් ඔත්තු සේවා, මෙහෙයුම් ලෙස ගන්නට හැකියාවක් නැහැ.

    නමුත් සෝවියට් බලධාරීන් කුමන්ත්‍රණ පිළිබඳ ද අවධානයෙන් පසුවුණා. විශේෂයෙන්ම විදේශීය ඒජන්තයින් විසින් සිදු කෙරුණ කුමන්ත්‍රණ පිළිබඳ අවධානයෙන් සිටීම චෙකා සංවිධානයට පැවරුණ වගකීමක් වුණා.

    QGW7D7htJdtNPulw_2.jpg


    ෆීලික්ස් ජර්සින්ස්කි (RIA Novosti)


    1918 අගෝස්තු 30 වන දා පෙත්‍රොග්‍රාදයේ චෙකා ප්‍රධානී මොයිසෙයි උරිත්ස්කි ඝාතනය කිරීම සහ ලෙනින් ඝාතන තැතක් සිදු වීමෙන් පසු සෝවියට් බලධාරීන් විරුද්ධවාදීන් මර්දනය කිරීම වේගවත් කළා. මෙහිදී ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කරන ලද්දේ චෙකා සංවිධානය විසිනුයි.

    “විශ්වාසය මෙහෙයුම”

    මුල් කාලීන සෝවියට් ඔත්තු සේවාවන්හි සාර්ථක මෙහෙයුමක් ලෙස “විශ්වාසය මෙහෙයුම” (Operation Trust) හැඳින්වීමට පුළුවන්. මෙහිදී සෝවියට් ඔත්තු සේවය විසින් මධ්‍යම රුසියාවේ රාජාණ්ඩුවාදී එකමුතුව නම් වූ ව්‍යාජ බෝල්ශවික් විරෝධී සංවිධානයක් පිහිටුවනු ලැබුණා. රුසියානු සිවිල් යුද්ධයෙන් බෝල්ශවික් පාර්ශවය ජයග්‍රහණය කරමින් සිටි සමයෙහි 1921 දී මෙම සංවිධානය ස්ථාපිත කෙරුණා. සෝවියට් ඔත්තු සේවය විසින් 1926 දක්වාම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළා. එහි අරමුණ වූයේ බෝල්ශවික් විරෝධීන් නිරාවරණය කරගැනීම සහ රුසියාවෙන් පිටව ගිය බෝල්ශවික් විරෝධීන් අතර රහසිගත කටයුතු මඟින් ඔවුන් ආපසු සෝවියට් රුසියාවට ගෙන්වා ගැනීම යි.

    දැනට විශ්වාස කෙරෙන පරිදි මෙම සංවිධානය පිහිටුවන ලද්දේ සෝවියට් බලධාරීන්ම නොවේ. ඔවුන් පැරණි සුදු හමුදා රහස් සංවිධානයක් අනාවරණය කරගෙන එම සංවිධානය දිගටම පවත්වාගන ගිය බව විශ්වාස කෙරෙනවා. කෙසේ නමුත් මෙම ව්‍යාජ සංවිධානය තරමක් සාර්ථක වුණා. බෝල්ශවික් විරෝධී බොරිස් සවින්කොෆ් සහ බ්‍රිතාන්‍ය ඔත්තුකරුවකු වූ සිඩ්නි රයිලි රුසියාවට ගෙන්වා ගැනීමට මෙම සංවිධානය සමත් වූ බවයි සැලකෙන්නේ. සවින්කොෆ් සිරගත කෙරුණ අතර එහිදී මිය ගියා. ඔහුව මරා දමන ලද බවයි විශ්වාස කෙරෙන්නේ. මේ අතර සිඩ්නි රයිලිව අල්ලාගත් පසු මරා දමනු ලැබුණා.

    විදේශයන්හි දේශපාලන කටයුතු

    රුසියානු බෝල්ශවික් විප්ලවයෙන් පසු ව්ලදිමීර් ලෙනින් විශ්වාස කළේ යුරෝපයේ අනෙක් රටවල ද සමාජවාදී විප්ලවය සිදුවනු ඇති බව යි. 1919 දී ලෝක විප්ලවය මෙහෙයවීම සඳහා තුන්වන ජාත්‍යන්තරය හෙවත් කොමින්ටර්න් සංවිධානය පිහිටුවනු ලැබුණා. රුසියාවේදී විදෙස් විප්ලවවාදීන්ට පුහුණුව ලබාදීම ද සිදු කෙරුණා. ඒ ඒ රටවල විප්ලවය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයන් යවනු ලැබුණා.

    නමුත් මෙම නියෝජිතයන් බොහෝ දෙනාගේ අරමුණ වූයේ අනෙකුත් රටවල් පිළිබඳ ඔත්තු බැලීම නොව එම රටවල විප්ලවකාරී කටයුතු මෙහෙයවීම යි. එහෙයින් මේ බොහෝ දෙනෙක් චෙකා නියෝජිතයන් නොව කොමින්ටර්න් නියෝජිතයන් වුණා. ඔවුන් දේශපාලන ක්‍රියාකාරීන් මිස ඔත්තු කරුවන් වූයේ නැහැ. කෙසේ නමුත් ඔවුන් රහසිගත දේශපාලන කටයුතුවල නිරත වුණා.

    යුරෝපයේ කොමියුනිස්ට් විප්ලව අසාර්ථක වීමෙන් පසු ලෙනින් ආසියාව දෙසට අවධානය යොමු කළා. මෙහිදී විශේෂයෙන්ම ඉන්දියාව වෙත සිය අවධානය යොමු කිරීමට ඔහුට අවශ්‍ය වුණා. ඉන්දියාවේ කොමියුනිස්ට් විප්ලවවාදීන් පිරිසක් සෝවියට් රුසියාවේ දී පුහුණු කරනු ලැබුණ නමුත් ඔවුන් ඉන්දියාව වෙත යැවීමට කළ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

    මේ අතර චීනයේ දේශපාලන තත්ත්වය ද වෙනස් වෙමින් තිබුණා. චීන ජාතිකවාදී ගුවොමින්ඩාං පක්ෂය සිය බලය දකුණුදිග චීනයේ තහවුරු කරගනිමින් සිටි අතර කුඩා කොමියුනිස්ට් පක්ෂයක් ද චීනයේ ක්‍රියාත්මක වෙමින් පැවතුණා. සෝවියට් දේශයේ මීළඟ ඉලක්කය වූයේ චීනය යි. නමුත් 1920 දශකයේදී චීනයේ කෙරුණ කටයුතු අසාර්ථක වුණා.

    මෙම මුල් වසරවල කොමියුනිස්ට් පාලනය යටතට පත් වූ එකම රට වූයේ මොන්ගෝලියාව යි. ඒ හැර අනෙක් සෝවියට් උත්සාහයන් සියල්ලක්ම අසාර්ථක ලෙස නිමා වුණා.


    roar.media
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    යුරෝපයේ කොමියුනිස්ට් විප්ලව අසාර්ථක වීමෙන් පසු ලෙනින් ආසියාව දෙසට අවධානය යොමු කළා. මෙහිදී විශේෂයෙන්ම ඉන්දියාව වෙත සිය අවධානය යොමු කිරීමට ඔහුට අවශ්‍ය වුණා. ඉන්දියාවේ කොමියුනිස්ට් විප්ලවවාදීන් පිරිසක් සෝවියට් රුසියාවේ දී පුහුණු කරනු ලැබුණ නමුත් ඔවුන් ඉන්දියාව වෙත යැවීමට කළ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.
    ඊට පස්සෙ ලංකාවෙ ජෙප්පො වෙන්න ඕනෙ
     

    Similar threads