මා අසා ඇති අයුරින් නිරෝෂා විරාජිනිය මෙතරම් හැගීම්බරව ගැයූ තවත් ගීයක් නොමැති තරම්ය. මෙය ඇය විසින් ඇගේ ජීවිතයේ ලද අත්දැකීමක් දෝ මට සිතේ.
මෙය සම්පූර්ණයෙන් කියවූ මා එක් වරම සිතට ආවේ කලාත්මක හැගීමක් නම් නොවේය. එනිසා කලාව නම් මානයෙන් අපගමනය වී, අද වෙනස්ම කෝණයකින් යමක් ලිවීමට සිතුවෙමි.
පිරිමි සහ ගැහැණු බොහෝ වෙනස්ය. ඉන් අදහස් කරන්නේ එක් පාර්ශවයක් හොද හෝ නරක බව නොව එකිනෙකාට සමාන නොවන බවයි. එසේ සමාන නොවීමට හේතුව පරිනාමීය වශයෙන්, ජීව විද්‍යාත්මක වශයෙන් හා ජානමය බහුලව සිදුවන බලපෑම්ය. මේ දෙවර්ගය ගැන කියනවා නම් ඔවුන් සමාන වන්නේ එකම සත්ව වර්ගයකට ඇතුලත් වීමෙන් පමණක්ය යන්න මගේ අදහසයි.
- පිරිමියා නිතරම ගැහැනියටද තමා මෙන් හැසිරීමට නොහැකි මන්දැයි තේරුම් නොගනියි.
- ගැහැනියද ඇගේ මිනිසා ද තමා මෙන්ම හැසිරෙති බලාපොරොත්තු වෙති. සම්බන්දතා බිද වැටෙන්නේ මේ ගැන අවබෝදය නොමැති කමිනි.
ගැහැණිය සහ පිරිමියා වෙනස් වූ ලෝකවල බෙහෙවින් වෙනස් නීති මාලාවකට අනුව ජීවත් වෙයි. ඇත්තෙන්ම සත්‍ය මෙය වුවද එය පිළිගැනීමට බොහෝ දෙනා අකමැතිය. පිලිගන්නවා නම් ඒ පිරිමින් පමණක්ම වේ.
පැරණි අර්ථාන්විත කියමනක් නම් "ආදරය කිරීමය කියන්නේ, පිරිමියා ලිංගික කාර්යයේ යෙදෙන අතර ගැහැණිය කරන දෙයයි" යනුය. සරලව කිවහොත් ගැහැණු ආදරය කරන අතර පිරිමි ලිංගික සතුට ලබති.
මිනිසා යනු අවුරුදු මිලියන ගණනක් තිස්සේ පරිනාමය වෙමින් පොදු ආවේග සහිත දියුණු සත්වයෙකු හෙයින් අපගේ මූලික ආශාවන් හා ආවේග අන් අයටද තේරුම්ගත හැකිවන්නේය. එසේම එසේම මාලුවෙකුගෙන් ආරම්භ කල වත්මන් මිනිසාගේ පරිනාමය විවිදාකාර වෙනස් වීම් මැද දියුණු සත්ව වර්ගයක් සංවර්ධනය වෙමින් වසර මිලියන ගණනක් ගෙවී ගොස් දෙපයින් සිටගෙන සද මතට යාමට තරම් ඥානය ලබා, දේශපාලන වශයෙන්ද නිවැරදි මාවතකට පැමිණ ඇතත්, ජීව විද්‍යාත්මකව ඔහු තාමත් ගල් යුගයේද යන්න විරාජිනිය අසනවා මට ඇසේ...
"දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල...."
වත්මන් සමාජය විශේෂයෙන්ම හිරිමල් යොවුන් වියට පය තබන යුවතියන් තේරුම් ගත යුත්තේ මෙයයි. විද්‍යාත්මකව පිරිමි මොලය චිත්තවේග තුන් වර්ගයක පිහිටීම හදුනාගෙන ඇත. කාමය, දැඩි ලෙස ආදරය කිරීම, දැඩි හිතවත් බව ඒවාය. එක් එක් චිත්තවේග සතු එයටම විශේෂ වූ මොලයේ රසායනික සංයුතිය ජීව විද්‍යාත්මකව බලූ විට මේ මොලයේ අංග තුන ප්‍රජනනය නම් ජීව ක්‍රියාවලිය ඉටුකිරීම සදහා හැඩ ගැසී ඇත.
මොළයේ චිත්ත වේග අතරින් "කාමය" යනු ශාරීරික වශයෙන් සිත ඇදී යාමය. එහි වාචික සබදතාවක් නැත. විද්‍යාඥයින් සොයාගෙන ඇති ආකාරය අනුව දැඩි ආදරය පවතින අවස්ථාව මොළයට තදින් කා වදින අවස්ථාව හෙයින් එය පිටතට දැමිය නොහැක. ආදරවන්තයා හෝ ආදරවන්තියගේ ධානාත්මක ගුණාංග ගැනම පමණක් මොලය අවධානය යොමු කරන අතර නරක ගති නොසලකා හරියි.
"ඔයා තමයි රත්තරං අයියෙ මේ ලෝකයෙ මගේ වීරය... මගේ පණ, මගේ හැමදේම.. ඒ ගොඩාක් ආදර වන්තියන් වගේ ඒක සරලව බොලදව මම කියන්න දන්නෙ නෑ... ඔයාමයි මට මගේ දකගාරකම, මුරණ්ඩුකම නැති කරල තැන්පත්ව ඉන්න කියල දුන්නෙ... ඉතින් එහෙම ඉන්න පුරුදු වුන මට වෙනකෙක් චෝදනා කලාට කමක් නෑ.. ඒත් ඔයා..........? මගේ ලෝකයේ 1ත් ඔයා 2ත් ඔයා හැමෙකක්ම ඔයා... ඒත් දෙවියනේ ඒක මම පෙන්වන්න දන්නෙ නෑනේ... මගේ හදවත ගලවල අරගෙන ඔයාට දෙන්න පුළුවන්නම්.. හදවතට කෑ ගහල කියන්න පුළුවන්නම් එයා ඔයාට කියාවි මම කොච්චරනම් ආදරේද කියල... එහෙම ආදරේ කරන මට මගේ ලගම ඉදගෙන මෙහෙම දරුණු වෙන්න තරම් නපුරු හිතක් ඔයාට තිබ්බෙ නෑනේ අයියෙ.. ඔයා කොහොමද කොහෙද ඒක හංගගෙන හිටියෙ කියල මට කියන්න..."
දැඩි ලෙස ආදරය කරන අවස්ථාව අනාගත සහකරු/සහකාරිය සමග බන්දනය ඇතිකරගැනීමට මොලය උත්සහ කරන අවස්ථාවකි. එය විශ්වාස කල නොහැකි තරම් වූ ඉතා ප්‍රබල චිත්තවේගයක් වේ. මේවන් අවස්ථා වලදී යම් ප්‍රතික්ෂේප වීමක් සිදුවුවහොත් ගල් යුගයේ සිටි වානරයා ඉදිරියට පැමිණ මිනීමැරීම් පවා සිදුවිය හැක. තදබල ආදරයෙන් සිටින විට නිදහස් වන හෝමෝන නිසා මානසිකව එසවුන ස්වභාවය ඇතිවේ. Dopamine හෝමෝනය නිසා සතුටද සුවයද දැනේ. ෆීනයිල් එතයිලමයින් (Phenylethulamine) මගින් එම චිත්ත ආවේග තවත් ඔසවා තබයි. සෙරටෝනින් (Serotonin) චිත්තවේගය ස්ථාවරව පවත්වා ගැනීමේ හැගීම ඇතිකරයි. නොරෙපිනෆ්රයින් (Norepinephrne) මගින් ඕනෑම දෙයක් අත්කරගත හැක යන හැගීම ජනිත කරවයි. ලිංගික සතුටෙහි ලෝලිත්වය ඇති තැනැත්තා මෙම අධික ආදරය ඇති අවස්ථාවේහි මෙම හෝමෝන රාශියේ මිශ්‍රණයට ලෝල්වීමෙන් ස්ථීරව ඉහල සිටීමට කැමති වේ. නමුත් එම අධික ආදරය අවස්ථාවද තාවකාලිකය. සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ මාස 12, 15, 18 දක්වා පවතී. විරාජිනියත්, වත්මන් සමාජයේ විරහ වීදනාවෙන් මැරී මැරී උපදින අනෙත් තරුණ තරුණියන් ද එය "ආදරය" යැයි අර්ථ දක්වන්නේ වරදීමෙනි. එය සොභාදහමින් ප්‍රජනනය සදහා ගැහැනියක හා මිනිසෙකු සෑහෙන කාලයක් එක්කොට තැබීමට ස්භාවධර්මයා යොදන ලද ජීවවිද්‍යාත්මක උපායකි, උගුලකි. ස්භාවධර්මයට විරාජිනියගේ දුක ඇසීමට අවශ්‍ය නැත. ස්භාවධර්මයට අවශ්‍ය දෙදෙකෙකු එක් කර ප්‍රජනනය සහතික කර ගැනීම පමණකි. විරහවට, කදුලට එහි ඉඩක් නැත.
මෙහි භයානක තත්වය නම් ඔවුනොවුන්ගේ ලිංගික ආවේග හරියටම ගලපෙන්නේයැයි පෙම්වතුන් යුවල සිතීමය. ඔවුන්ගේ නියම ලිංගික ආවේගවල ස්වභාවය හරියටම ඔවුන්ට වැටහෙන්නේ තදින් ආදරයෙන් බැදුන කාලසීමාව අවසන්ව, හිතවත්ව හදවත් යාවූ කාල පරිච්චේදය පැමිණි විටය.
"ඒත් යන්න කලියෙන් මම එකම එක ප්‍රශ්ණයක් අහන්න ඔයා උත්තර දෙනවද අයියෙ...? මට කියන්න හදවතට එකගව ඇත්තම කියනවද....? ඔයා ඔය කියන විදියට මගෙන් ආදරයක් ඔයාට ලැබුනෙම නැද්ද....? ඔයා ඔය කියන විදියට මම ඔයාට ගැලපෙන්නෙම නැද්ද...? මෙච්චර කාලයක් ඔයා මට කලේ බොරු ආදරයක්ද...? ඔච්චරටම මට චෝදනා කරන්නෙ මගෙන් යන්න හදන්නෙ.... දැන්ද ඔයාට මගේ වැරදි පේන්න හදන්නෙ.. රොන් ටික උරල උරල මලත් එක්කම මියැදෙනව මිසක මල ට මියැදෙන්න දීල වෙන මල් හොයාගෙන යන්නෙ ඒ නිසාද කියන්න මට..."
ආදරයෙන් තදින් වෙලී සිටි කාලය අවසන්ව යථාතත්වයට පැමිණි විට දෙදෙනාම හෝ එක් කෙනෙක් වෙන්වීම ප්‍රතික්ෂේප කරන්නට වෙමින් තුන්වෙනි අදියර වන දරුවන් හදා වඩා ගන්නා තුරු සාමුහික බැදීමෙන් සිටීමට අරමුණු කරති. මෙහිදී මට දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය මතකයට පැමිණේ. ඇය ආදරයෙන්ද පරදී විරාජිනිය නොකියූ කතාවක් ද කියයි. එනම් "දූ සිගිත්තියක් ද සෙමින් අගේ දෝතට පැමිණි වගයි."
මේ අවස්ථා තුන (කාමය, දැඩි ලෙස ආදරය කිරීම, දැඩි හිතවත් බව) ඉතා හොදින් තේරුම් ගැනීමෙන්, අවබෝදයෙන් තදින් ආදරයෙන් බැදී සිටින අවස්තාව ගත කිරීමටත්, එහි නියත බැසීමේ තත්වයට (ස්භාවධර්මයට අනුව එය නියතයකි) පත්වූ විට එයට සුදානම් වීමටත් හැකිය. ඒ සදහා ස්භාවධර්මය අපට ලබාදී ඇති බුද්ධිය පාවිච්චි කල යුතුය.
ආදරය යනු ආවේගශීලී වීම යයි මා ඉහත සදහන් කළා ඔබට මතක ඇත. මෙය පිරිමින්ටනම් සියයට සියයක් අදාළ වේ. පිරිමින්ගේ දෙඇස් ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) වලින් බල ගැන්වී ඇති විට පහසුවෙන් ආදරය අරබීමෙන් පසුව කාමයට කැදවා ගෙන යයි. තදින් ආදරයෙන් බැදුන කාලය තුල පිරිමි ටෙස්ටොස්ටෙරෝන් වලින් බලගැන්වී උඩ යට පැති කොහිදැයි කිව නොහැකි තත්වයට පත්වේ. පිරිමි පෙරමොන හමුවේ කාන්තාවද ආවේගවත්ව ඔහු දිරිමත් කිරීමට පෙළබේ. සුරාන්තයෙන් කෙලවර වන ඒ ස්භාවධර්මයේ අපූරු සුවය ලැබූ පසු පිරිමියා මද නින්දකට වැටෙන අතර ගැහැනියගේ මොලයේ චිත්තවේග හා තර්කනය සදහා වූ මධ්‍යස්ථාන හොදින් සම්බන්ද වී ඇති හෙයින් ද අයට ඇය පාලනය කර ගත නොහැකිව සිටින හෙයින්ද ඇය අනාගත සහකරු වශයෙන් ඔහුගේ සුදුසු බව මැන ගනියි.
"එහෙමනම් ඇයි අයියෙ මාව මෙච්චර දුරක් ගෙනාවෙ... නිදිහසේ ඉගිල ගියපු මාව දැන් අත්තටු දෙක බැලදලාපු කිරිල්ලියක් වෙලා... මං මුලාවෙලා... ඒත් මම ඔයාට වෛරකරන්නෙ නෑ... තරහකුත් නෑ..."
බොහෝ සබදතා ගැහැණිය විසින් අවසන් කිරීමටත්, පිරිමියා සිදුවුයේ කුමක්දැයි විශ්මයට පත්වීමටත් හේතුව එය නොවේද? එසේම එම වෙන්වීම මෘදු ආකාරයෙන් කිරීමට මෙන්ම භාරගනීමටද ගැහැණිය දනියි. වෙන්වීමේ ලිපිය අවසන් කරමින් සදාකල් ආදරය කරන බව ලිවීමටද ඇය අමතක නොකරයි.
ප.ලි:
මෙය නම් මා සටහන් කල යුතුමය. ස්භාවධර්මය කුමන කූට උපක්‍රම යෙදුවත්, විද්‍යාව කුමන තර්ක ගෙනාවත්, මිනිසා යනු පෘතුවෙයේ සිටින බුද්ධිමත්ම සත්වයාය. මිනිස් බුද්ධියට කල නොහැක්කක් නොමැත. අද ඔහු විසින් ස්භාවධර්මයද පාලනය කරයි. සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුදධත්වයට පත් තථාගතයානන් වහන්සේ ලොවට පෙන්වා දුන්නේ සිතුවිලි පාලනය තුලින් දුකින් මිදීමේ මාර්ගයයි. එනිසා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය හැගුම් වලට/සිතට පමණක් වහල් නොවී තම බුද්ධිය, ස්වයංතර්කයෙන් මෙහෙයවා කටියුතු කිරීම තුලින් මෙවන් ගීතයක් ඔබේ මුවින් පිට නොවීමට වග බලාගන්නේ නම් මැනවි.
