දිනය 2013 මාර්තු මාසෙ පලවෙනි සෙනසුරාද. වැහි බීරානියකින් පාලාතම අඳුරු වෙලා. ඒකත් පරිසරයට එක් කරන්නෙ අමුතුම චමත්කාරයක්. මධ්‍යම කඳුකරේ දකුණු කෙලවරේ, හා ගල කියන කඳු මුදුනෙ, පුංචි විවේකයක් ගන්න හිතාගෙන ගල් තලාවක වාඩි වුන මම ලොකු කල්පනාවකට වැටුනෙ නොදැනිම වගේ. පැත්තකින් සමනල වැව, සබරගමුව විශ්වවිද්‍යාලයල, බෙලිහුල් ඔය අපූරුවට තියනව. අනිත් පසින් හරිත වර්ණ කඳුවැටි වලාකුළු අතරෙ හැංගෙන්න හදනව. වෙනත් ලෝකයකට ආව වගේ. හරිත නිම්නයක අතරමන් වෙලා. වෙනද මීටර 100 ක් ඇවිද ගන්න බැරි අපිට කිලෝමීටර ගානක් එක හුස්මට ඇවිදගන්න පුලුවන් දිරියක් හිතට එනව. ස්වභාවධර්මයෙ තියන ලස්සනත් එක්ක මහන්සිය කියල දෙයක් දැනෙන්නෙ නැති ගානයි. අපි ජීවත් වෙන්නෙ කොච්චර ලස්සන ලෝකෙකද? පරිසරය මිනිස්සුන්ගෙ සිතුවිලි හරිම පුදුම විදියට වෙනස් කරනව.
ටික ටික අඳුර ගලාගෙන ඇවිත් ඒ සුන්දර ලෝකෙ අඳුරු අහස්තලේ නැතිවෙලා යන්නයි හදන්නෙ. ඉර එලියත් එක්ක සුන්දර වෙච්ච පරිසරයට ලොබ බැඳන් හිටී නිසා අඳුරු වෙනකොට හිතට දුකක් දැනෙනව. ඒක තේරුම්ගන්න පුලුවන් නම් ඒ දුක දැනෙන්නෙ නෑ. රාත්‍රියටත් මේ හරිත නිම්නෙ තවත් විදියකට ලස්සන වෙයි. රෑ අහසෙ තරු එක්ක එකතු වෙලා තව තව ලස්සන රටා මැවෙයි.
අපේ ජීවිතත් ටිකක් මේ වගේ. මටත් නොදැනිම මගේ හිත අතීතයට ගියා.
කාලයක සිට මමඇයට පෙම් බඳින්නට උනා. ඒ කෙතරම් කාලයක සිටදැයි කීමට මම දන්නෙ නෑ. ඇයද ඒ වග නොදනී. මන්ද මගේ ප්‍රේමය මට පමණක් සීමා වූවක් නිසා. නමුත් කාලය ගත වුනා ඇය කවදාවත් මගේ නොවන බව මට වැටහුන. අදට හරියටම අව්රුද්දකට දවස් දෙකයි අඩු, එදත් අද වගේම සෙනසුරාද දවසක්. කවද හරි අහන්න ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් හිටී එ රහස අහන්න ලැබුන.
ඔබ කියු රහසින්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි
ආපහු උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ ගෙන ඒවි. ඒ දර්ශනය අයෙමත් මේ පරිසරය වර්ණවත් කරාවි. හැමදෙනාම විඳින ඒ දසුනට අපේ සිතුවිලි වෙනස් කරන්න පුලුවන් වෙයිද? ඒ ස්වභාවධර්මයේ හැමෝටම පොදු ධර්මතාව කොහොම වෙනස් කරන්නද? ඒකත් නිතර දකින ඔය නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කරන්න බෑ වගේමයි.
ඔය නෙතු කැල්මෙන්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි
මගේ මේ හිත කියන දේ ඔබ දන්නවනම් ඈත තියන කඳු මුදුනක සිට බලානඉඳල මගේ මේ හිත කියවන්න පුලුවන් නම් ඇයත් තේරුම් ගනීවි....
කඳු පාමුල සිට... දැහැනට සම වැද
මා ගයනා ගී ... ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන
ආල වඩන සද... කිඳුරු ළියේ
කදුපාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද...
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ
මිටියාවත් කදු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වනපෙතේ
ඔබ කී රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ...
ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ