මොනා කිව්වත් කියන දේ වැටහෙන්නේ නැති හින්ද මේ උපුටගත්ත ලිපිය දාල මම මේ ත්‍රෙඩ් එකෙන් සමු ගන්නවා

අපේ ප්‍රචණ්ඩ අවිහිංසාව / Our violent non-violence
අපේ රටේ මිනිසුන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරන ඇතැම් ක්‍රියා විස්මය ජනක ය.
සිංහල බෞද්ධයන් මෙහි ලා වෙන් කොට දක්වන්නේ ඔවුන් අන් ජන කොටස්වලට වඩා විශේෂයෙන් හොඳ හෝ නරක හෝ නිසා නොවේ.
ඔවුන්ගේ නායකයෝ නම් අරුම පුදුම දෙපිටකාට්ටුවෝ ය.
බඩ පැලෙන කල් මස්, මාළු, කරවල, උම්බලකඩ කෙළින ජනතාවකගේ නායකයෝ වන මොවුහු මතුපිටින් බොරු අවිහිංසාවාදයක් ප්‍රදර්ශනය කරති. මේ අවිහිංසාවාදීහු සිය වාදය ප්‍රදර්ශනය කරන්නේ ඉතා ප්‍රචණ්ඩ ලෙස ය.
ෂෝ එකට මස්, මාළු නො කන මොවුහු හොරෙන් ඒවා රස කර, කර ගිලිති. මොවුහු මස්, මාළු කන මිනිසුන්ගේ සිත්හි පශ්චාත්තාපයක් ඇති කර, කෑ දේත් හරියට නො දිරවන තත්වයට පත් කර මිනිසුන් ලෙඩ කරති. ඒ අතර, මස්, මාළු කෑම සාමාන්‍ය දෙයක් ලෙස සලකන වෙනත් සංස්කෘතීන්ට අයත් මිනිස්සු හෙළා දකිමින් තමන් උතුම් බව අවධාරණය කරන්නට මහත් වෙහෙසක් ගනිති. සෙස්සන් එය පිළි නො ගන්නා සඳ ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිති.
පසුගිය දිනවල මුන්නේස්වරමේ ප්‍රචණ්ඩ හින්දු අභිචාරයක් වූ සත්ව බිලි පූජාවකට එරෙහිව කටයුතු කිරීමේ සංදර්ශනයකට දේශපාලකයෝ පවා කඩා පැන්න හ. සතුන් නිදහස් කිරීම සඳහා මැදිහත් වූ ඇමති මර්වින් සිල්වා ඒ ගැන කතා කරමින් සතුන් මරන මිනිසුන්ගේ අත් කපන බවට ශපථ කළෙ ය. කොහොම ද අවිහිංසාව?
සිංහල බෞද්ධයෝ ඇත්තෙන්මත් සතුන්ට අනුකම්පා කරති. විශේෂයෙන් ම හරකුන්ට, අලි ඇතුන්ට ඒ අනුකම්පාව යොමු වේ. මස් කෑමෙහි ලොල් වූවෝ පවා සතුන් මැරීමට අකැමැති ය. රහෙත් මරා දුන්නොත් මස් කන්නට ඔවුහු රුසියෝ ය. හරක් මස් කෑම හෙළා දකින ඔවුන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය.
සිංහල බෞද්ධ ගම් ප්‍රදේශ ආශ්‍රිතව අලි ඇතුන්ට හා වෙනත් වල් සතුන්ට කෑම ඇතුළේ හක්ක පටස් සඟවා කන්නට දී හක්ක පුපුරුවා මරා දමන මිනිස්සු ද සිටිති. අප මේ පිළිබඳ තැබූ සටහනක ප්‍රතිචාර දැක්වූ ඇතැමෙක් කියා තිබුණේ එසේ කරන්නේ ද අන්‍යාගමිකයන් බවයි.
අලි, ඇතුන් ජීවිත කාලයක් පුරා යදමින් බැඳ වධ දීම ගැන සිංහල බෞද්ධයන්ට පාපී හැඟීමක් නැත. එවැනි කාලකන්නි සතුන් මහා වාසනාවන්තයන් යයි ඔවුහු සලකති.
කවුරු කොහොම කීවත්, අහිංසාවාදී දහමක් වන බුදු දහමේ බලපෑම නිසා සිංහලයෝ සතුන් මැරීම පිළිකෙව් කරති. එහෙත්, සතුන්ට ලැබෙන අනුකම්පාවෙන් අංශු මාත්‍රයක්වත් හිමි නො වන ජන කොටසක් සිංහලයන්ට අභිමුඛ වෙති. ඒ දෙමළ බස කතා කරන්නෝ ය.
සිංහල බෞද්ධයෝ මරණීය දණ්ඩනයට ද මහත් ඇල්මක් දක්වති. එය ක්‍රියාත්මක කරන්නැයි නිරතුරු පාලකයන්ගෙන් ඉල්ලා සිටිති. එහෙත්, අළුගෝසු පුරප්පාඩුව පුරවන්නට ඉදිරිපත් නො වෙති.
කොහොමත්, මේ රටේ මිනී මැරීම සුලබ දෙයකි. වැට ඉන්නට, පොල් ගෙඩියට, රුපියලට-දෙකට පවා මනිස්සු මරා ගනිති. නීතියට පිටින් මිනී මැරීම බලවතුන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායකි. පශ්චාත්තාප නො වෙන මිනීමරුවෝ විශාල පිරිසක් සමාජයේ ගරු සම්භාවනාවට ලක් වී ජීවත් වෙති.
මෙය ඇත්තෙන් ම ආශ්චර්ය ජනක දෙබිඩිකමකි.
මෙය ලියන ලේඛකයා ද උපතින් සිංහල බෞද්ධයෙකි. ඔහු සතුන් මරන්නට අකැමැති ය. වෙන කවුරු හෝ මරා දෙන මස් කඩෙන් ගෙනැවිත් උයා රස කර, කර කයි. මෙම සටහන වෙනුවෙන් ඔහුට කිසිදු රාජ්‍ය නො වන සංවිධානයක් හෝ බටහිර බලවේගයක් හෝ මුදල් දෙන්නේ නැත. ඒ නිසා අදහස් දක්වන අය ඔහුගේ පැටිගිරිය හොයන්නට නො වෙහෙසී තමන් ගැන ම හොයනවා නම් මේ සංකීර්ණතාව තේරුම් ගන්නට පුළුවන් ය.
ලෝකයට විහිළුවක් නො වී ජීවත් වීමට මෙම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය.
Code:
උපුටා ගැනීම - http://w3lanka.blogspot.com/2011/09/our-violent-non-violence.html