පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය කටයුතු කරන්නේ නැවත මේ රටේ කිසිදු ආකාරයේ යුද්ධයක් ඇති නොවන අන්දමින්, රට තුළ සාමය සහ සමගිය ගොඩනැගීමට බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ සඳහා පවරා ගත් උතුරේ නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම යළි ජනතාව වෙනුවෙන් නිදහස් කරන බවද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.
ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීම රජයේ වගකීම බවත්, උතුරේ ධීවර වරාය සංවර්ධනය කරමින් එම ධීවර ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙන්ම ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වටා ඇති මහ මුහුද, දූපත් මෙන්ම ගොඩබිමද ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට රජය කැප වී සිටින බවත්, ඊට කිසිදු ආකාරයේ බලපැමක් එල්ල වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා රජය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 298කි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස, උතුරු පළාත් රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
https://lankacnews.com/හිටපු-රජය-වැඩ-කලේ-යුද්දයක/