ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහා ම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමඟ කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබෙන බවයි ඔහු පවසා ඇත්තේ. එම නිසා පොහොර හිඟය හෝ වෙන යම් හේතුවක් පාදක කර ගනිමින් යල කන්නයේ වගාව අත නො හරින ලෙස ජනාධිපතිවරයා සියලු ම ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.
“පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබී ය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබා දිය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.
යල කන්නයේ වගාව සඳහා යොදා නො ගත් කුඹුරු හඳුනා ගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබා දිය හැකි ය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ” යැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වන බව පවසා ඇති ජනාධිපතිවරයා එම ඉඩම් හඳුනා ගෙන තරුණ වගාකරුවන්ට ලබා දීමට තීරණය කළ බව කියනවා. පොහොර අවශ්‍යතාව ඉලක්ක කර ගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදා ගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබූ බව කියනවා.

