හොඳ, නරක හා කැත

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    alamogoodbadugly.jpg

    'හොඳ' කියන වචනෙට නිර්වචනයක් දෙන්න පුලුවන්ද? ඔව්, හැබැයි පුද්ගලයන් 50 දෙනෙක් ගෙන් ලබාගත්ත ප්‍රතිචාර 50 යම් තරමින් හරි එකිනෙකට වෙනස් වෙනවා. ඒකියන්නේ 'හොඳ' කියන වචනෙට නිශ්චිත අදහසක් නෑ කියලද? එහෙමත් කියන්න පුළුවන්. කොහොම වුනත් ඒ පුද්ගලයන්ගේ ජාතිය, ආගම, සමාජය, සංස්කෘතිය, උගත්බව, අත්දැකීම්, වයස වගේ කරුණුත් එක්ක 'හොඳ' ට දෙන අදහස එහා මෙහා වෙනවා.
    'හොඳ' වචනය භාවිත වෙන අවස්ථා කිහිපයක් තියනවා.
    "මේ නවකතාව හොඳයි."
    "අර සංගීතය හොඳයි", වගේ අවස්ථාවලදී අපි අදහස් කරන්නේ අපේ කැමැත්ත ප්‍රකාශ කරන්න. ඒක සෞන්දර්යාත්මක ඇගයීමක්.
    "මේ බෙහෙත කැස්සට හොඳයි"
    "සීතලට දුම්බීම හොඳයි", ආදී විදිහට අපි ප්‍රකාශ කරන්නේ කිසියම් උපයෝගිතාවක්.
    "අසරණයන්ට සැලකීම හොඳයි"
    "වැඩිහිටියන්ට ගරු කළ යුතුයි", වගේ අවස්ථාවලදී අපි ආචාරාත්මක කාරණා කියන්නත් මේ වචනෙම යොදාගන්නවා. එහෙමත් නැත්තම් මේ හැම කාරණාවකටම වෙන්නත් පුළුවන්.

    යමක් හොඳයි කියල කියන්න හේතුවෙන ලක්ෂණ ස්වභාවය අනුව විස්තර කරන දාර්ශනිකයින් දෙපිරිසක් ඉන්නවා.
    1) වාස්තවිකවාදීන්
    2) ආත්මීයවාදීන්
    වාස්තවිකවාදීන්ගේ අදහසට අනුව හොඳ ඇතිකිරීමේ ලක්ෂණ බහිරව වාස්තවිකව පවතියි. ඉතා පැරණි වාස්තවිකවාදියෙක් වෙච්ච ප්ලේටෝ කියා සිටියේ හොඳ බව ඒකියන්නේ 'සාධුත්වය' බාහිරව පවතින දෙයක් බවත් ලොව පවතින සියලුම සාධුත්වයේ ආකෘතිය අධිභෞතික වෙන බවත් ගැනයි. මෑතකාලීන වාස්තවික වාදියෙක් වුන ජී. ඊ. මුවර්ට අනුව හොඳ අවිශ්ලේෂණීය යි. හරියට 'මලක් කහ පාටයි' කිව්වා වගේ. 'කහපාට මොකද්ද' කියල ඇහුවොත් කරන්න තියෙන්නේ කහපාට දෙයක් පෙන්වල 'මේ වගේ' කියල කියන එක වගේ හොඳ ත් අර්ථ දක්වන්න ඔහු උත්සහ ගත්තා. කොහොම වුනත් වාස්තවික වාදීන්ට විරුද්ධව විවේචන එල්ල කරනවා. එකක් තමයි, 'හොඳ' වාස්තවික නම් ලෝකයේ හොඳ කියල සම්මත වුන සෑම දේකම එක පොදු ගුණාංගයක් තිබිය යුතුයි, එහෙත් හැම වෙලේම එසේ වන්නේ නැහැ.

    ආත්මීයවාදීන්ට අනුව යමක් හොඳ වීමට ආත්මීය කාරණා බලපායි. ඇරිස්ටෝටල් මෙසේ හොඳ පිලිබඳ ආත්මීය අදහසක් ඉදිරිපත් කළ අයෙක්. ඔහු කීවේ 'සතුටට තුඩු දෙන' දේ හොඳ දේ බවයි. සතුට නම් මානසික තත්වය ඇතිකරවන දේ හොඳ දේ බවයි. මේ නිසා හොඳ යන්න වාස්තවික නොවන බවකි ඔහු කියන්නේ. නමුත් සතුට ඇතිවන සියලුම ක්‍රියා හොඳ දේ ලෙසට හඳුන්වන්න පුලුවන්ද? ඒක එහෙම වෙන්නත් නොවෙන්නත් පුළුවන්.

    මේ ප්‍රධාන මත දෙකටම වෙනස් මතයක් ස්ටීවන්සන්, හෙයාර්, ටුල්මින් වගේ ආචාරත්මක් චින්තකයින් දැරුවා. ඔවුන් කීවේ හොඳ ලක්ෂණයක් විදිහට හඳුන්වන එක වැරදි බව හා එය ක්‍රියාවක් ලෙස සැලකිය යුතු බව. "නුඹ දුවපන්", "මේ පාන් කන්න" වගේ අවස්ථාවල මෙන් හොඳයි යන්නද ක්‍රියාවක් ලෙස ගතයුතු බව ඔවුන් කියා සිටියා. හොඳයි යන්නෙන් වෙන ක්‍රියා කිහිපහයකි. අනුමත කිරීම, වර්ණනා කිරීම, අණ කිරීම, තීරණය කිරීම වැනි කාර්යයන් ඒවා යි. මොවුන්ගේ අදහස අනුව හොඳයි යන්න හුදු චිත්ත වේග ප්‍රකාශ කිරීමක් පමණකි. එහෙත් එය එසේමද?


    මේ විදිහට හොඳ නරක විග්‍රහ කරද්දී හොඳ කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
    1)පරායක්ත හොඳ
    2)ස්වායක්ත හොඳ
    උදාහරණයකින් කිව්වොත්, කිසිවෙක් "හෙම්බිරිස්සාවට විටමින් සී හොඳයි" යැයි කිව්වොත් හෙම්බිරිස්සාව සුව වීම අපේක්ෂා කරයි. එනම් ප්‍රධාන අරමුණ නිරෝගී බවයි. නිරෝගීබව ඇති වන්නේ නැති නම් විටමින් සී හොඳ යැයි කියන්නේ නැත. මේ ආකාරයෙන් හඳුන්වන හොඳ 'පරායක්ත හොඳ' යි. නිරෝගීකම අප හැම විටම අපේක්ෂා කරන්නකි, එය නිෂ්ටාවකි. එය 'ස්වායක්ත හොඳ' ලෙස වේ.

    මේ විදිහට බැලුවහම හොඳ මොකද්ද කියන එක දැනගන්න කරන්න වෙන්නේ මොකද්ද? 'හොඳ' පිළිබඳව ඔබේ අදහස් දැනගන්න කැමතියි.

    ප.ලි. : ඔය උඩින් තියන රූපය The good, the Bad and the Ugly කියන චිත්‍ර පටය වෙනුවෙන් සකස් කළ පෝස්ටරය. වෙලාව තියනව නම් හොයාගෙන බලන්න!
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    ඇරිස්ටෝටල් මෙසේ හොඳ පිලිබඳ ආත්මීය අදහසක් ඉදිරිපත් කළ අයෙක්. ඔහු කීවේ 'සතුටට තුඩු දෙන' දේ හොඳ දේ බවයි. සතුට නම් මානසික තත්වය ඇතිකරවන දේ හොඳ දේ බවයි. මේ නිසා හොඳ යන්න වාස්තවික නොවන බවකි ඔහු කියන්නේ. නමුත් සතුට ඇතිවන සියලුම ක්‍රියා හොඳ දේ ලෙසට හඳුන්වන්න පුලුවන්ද?
    ඒක එහෙම වෙන්නත් පුළුවන්.
    :yes::yes::yes: