ළමා පරපුර සහ තොරතුරු තාක්ෂණ දරිද්‍රතාවය
අන්තර්ජාලය, තොරතුරු තාක්ෂණය වර්තමාන රැකියා වෙළෙඳපොලේ මෙන්ම, අධ්‍යාපනයේ ද ප්‍රධාන කොටසක් බවට පත් ව ඇත. අන්තර්ජාලය ගැන නොදන්නා බොහෝ දෙනෙක් අන්තර්ජාලය දෙස බලන්නේ මහා විනාශකාරී, දරුවන් නරක් කරන යමක් ලෙසටය. ඇත්තටම අන්තර්ජාලය නිසා දරුවන් නරක් වෙනවාද? නැත්නම් අන්තර්ජාලයට ඇති ප්‍රවේශය සම්බන්ධයෙන් බරපතල දුප්පත්කමක් අපේ රටේ දරුවන් අතර පවතිනවාද?
ලංකාවේ දරුවන්ගෙන් 7.4%කට කිසිදු තොරතුරු තාක්ෂණ මෙවලමකට ප්‍රවේශයක් නැත. තවත් ළමයි 39.8%ක් තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතා කළත්, අන්තර්ජාලයට ප්‍රවේශ වන්නේ නැත.එනම් ළමයි 47.2%කට අන්තර්ජාලයට කිසිදු ප්‍රවේශයක් නැත.
එසේම අන්තර්ජාලය භාවිතා කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ගැහැණු ළමයින්ට දී ඇති නිදහස අතිශයින් අඩු අතර, ඔවුනට ඔවුන් ගැහැණු ළමුන් නිසා වෙනස්කම් කිරීම පැහැදිලිව පෙනේ. අන්තර්ජාල ප්‍රවේශයක් නැති අය ප්‍රතිශතය, ගැහැණු ළමුන් අතර 66.9%ක් ද, පිරිමි ළමුන් අතර 32.4%ක් ද වේ. පිරිමි ළමයි 5%කට කිසිදු තොරතුරු තාක්ෂණ මෙවලමකට ප්‍රවේශයක් නැති අවස්ථාවක ගැහැණු ළමයි 10.5%කට එලෙස ප්‍රවේශය නැත.
ඒ අතරම ගැහැණු ළමයෙකුට පරිගණකයක් තිබුනත්, එයින් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට ඉඩ නොලැබීමට ඇති ඉඩකඩ පිරිමි ළමයකුට වඩා දෙගුණයක් වැඩිය.
එසේම නාගරික ළමයෙකුට වඩා, දෙගුණයක් ග්‍රාමීය ළමයෙකුට ද, එවැනි හය ගුණයක් වතු ආශ්‍රිත ළමයෙකුට ද කිසිදු තොරතුරු තාක්ෂණ මෙවලමක් භාවිතා කරන්නට ලැබෙන්නේ නැත.
තොරතුරු තාක්ෂණ මෙවලම්වලට කිසිසේත්ම ප්‍රවේශ නොවන දරුවෝ ප්‍රමාණය සම්පූර්ණ දරුවන්ගෙන් 7.4%ක් පමණි. එයින් 79%කට පරිගණකයක් නැත, 66%කට ජංගම දුරකථනයක් නැත. දරුවෝ 29%ක් පරිගණකයක් භාවිතා කිරීම තමන්ට සුදුසු නැති බවත්, තවත් 42.5%ක් ජංගම දුරකතනයක් භාවිතා කිරීම තමන්ට සුදුසු නැති බවත් සිතති. ඇත්තටම මෙය දරුවන්ගේ මතයක් ද, එසේත් නැත්නම් ගුරුවරුන්ගේ සහ වැඩිහිටියන්ගේ මතයක් ද යන්නත් සොයා බැලීම වටී. එසේම මෙය තොරතුරු තාක්ෂණ දරිද්‍රතාවයක් බව ගැහැණු ළමුන්ට වඩා දෙගුණයක් පිරිමි ළමුන්ට ප්‍රවේශය තිබීමෙන්, ග්‍රාමීය ළමුන්ට වඩා දෙගුණයක් ද, වතු ප්‍රජාවේ ළමුන්ට වඩා 6 ගුණයක් ද නාගරික ළමුන්ට ප්‍රවේශය තිබීමෙන් පෙනේ.
කෙසේ වුවත් සම්පූර්ණ පාසැල් ළමයි ජනගහණයෙන් 50%කට අධික පිරිසක් අන්තර්ජාලය පාවිච්චි කරති. මේ අතර ළමුන් අතර ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාව වන්නේ ෆේස්බුක්ය. 61%ක් එය භාවිතා කරති. ළමුන් අතර සමාජ මාධ්‍ය භාවිතාව පොදුවේ 80%කට අධිකය. මොවුන් අතරින් 1/4ක් තමන්ගේ privacy settings ගැන දැන සිටියේ නැත. ඒ අතර අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කිරීම ගැන නිසි දැනුමක් ලබා දීමට තොරතුරු තාක්ෂණ ගුරුවරුන් අසමත් වී ඇත. ළමුන් මෙපමණ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන බව ගුරුවරු, හෝ දෙමාපියන් දන්නේ නැත.
ළමුන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කිරීමෙන් වාරණය කරනු හෝ ඒ ගැන අනියත බියක් ඇති කර ගනු වෙනුවට, ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් විෂය නිර්දේශය තුළින් ලබා දීමටත්, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කර, ඒ අයගේ ද සහයෝගය සහිතව නිසි මගපෙන්වීමක් ලබා දීමටත් කාලය පැමිණෙමින් තිබෙන බව අපට පෙනේ.
source http://thewoman.lk/archives/6177