ෆෝන් එක ගැන අන්තිම කතාව ගියපු හන්දා මං කාමරේට ආපු ගමන්ම එබිලා බැලුවෙ ෆෝන් එකේ ස්ක්රීන් එකට.. අම්මප කවුරුවත් දැක්කට විශ්වාස කරන එකක් නෑ.. මිස්ඩ් කෝල් තිබ්බා හැට නවයක්.. වැඩේ කියන්නෙ ඒ ඔක්කොම නෙත්මිගෙන්.. මොනව උනත් මං හොද වෙලාවට සයිලන්ස් මෝඩ් දාලා ගියේ.. නැත්නම් මේක එලාම් එක වගේ දිගට හරහට වද්දිද්, ගෙදර මිනිස්සුන්ගෙ පෙෂර් එකත් නගිනවා.. නෙත්මිට ගන්නවද නැද්ද, ගන්නවද නැද්ද..? මං දහ අතේ කල්පනා කරලා, අන්තිමේදි විසි අතෙත් කල්පනා කරලා, කාසියක් උඩ දාන්න තීරණේ කලා.. නෝනා වැටුණොත් ගන්නවා.. පොල්ල වැටුණොත් ඒත් ගන්නවා.. කාසිය හරි කෙලින් හිට්ටොත් ඒත් ගන්නවා.. මං නෙත්මිගෙ නම්බර් එක ඩයල් කරා..
"බන්ටි මහත්තයෝ.."
දොර ගාවින් බේබි නැන්දගෙ කටහඩ ඇහෙද්දි මං ෆෝන් එක ඕෆ් කරලා දැම්මා..
"ඇයි බේබි නැන්දෙ කලබලෙන් වගේ..?"
"කලබලයක් නෑ.. මෙන්න මේක මහත්තයට දෙන්න කිව්වා.."
හතරටද, හයටද නමපු සුදු කොළ කෑල්ලක් බේබි නැන්දා මගේ දිහාට දික් කලා.. මේ මොකක්ද බං මේ..?
"කවුද බේබි නැන්දේ..?"
"ඕක කියෝලම බලන්නකෝ.."
මං කෝලේ දිගෑරියා.. හත්තිලව්වයි.. මේක ලියුමක්නේ.. කුරුමිනු අඩු වගේ එහෙට මෙහෙට ගියපු අකුරු අතරෙමං කොලේ පල්ලෙහා බැලුවා.. දෙයියනේ.. මොරීන් අක්කනේ මේක එවලා තියෙන්නේ.. පිස්සුද මන්දා.. මේතතර මූණට මූණ හම්බවෙන්න පුලුවන්කම තියෙද්දි, මොන කෙහෙල්මලකට ලියුම් එවනවද..? ඒත් හුගාක් දුරට ලියමු කියවගෙන යද්දි, මං මං ගැන ලොකු කලකිරීමක් දැනුණා.. මොරීන් අක්කගෙ පැත්තෙන් එයා ගැන මහ පුදුම දුකක් මට දැනුණා..
"බන්ටි මල්ලි.. මේ ලියුම ඔයාගෙ අතට ලැබෙනකොට මං නුවර නෑ.. මං හුගාක් ආසාවෙන්, සංතෝසෙන් ජීවිතේ ගත කරපු ලස්සන මතකයක් හිත ඇතුළෙ තියාගෙන මෙහෙන් පිටවෙලා යනවා.. එහෙම යද්දි 'මං යනවා' කියලා මට කියන්න ඉන්නෙ ඔයා විතරයි.. මගේ හැම දේකදිම, රසිකට වැඩිය මගේ ළග හිටියෙ ඔයා.. වෙලාවක ඔයාට, මාව විහිලුවක් උනත්, මල වදයක් වුණත්, ඔයා මගේ ළග හිටියා.. මට දක්වපු ඒ කරුණාවන්ත කමට හුගාක් පිං.. නොලැබෙන හුගාක් දේවල් වලට ආසා කිරීම, අන්තිමේදි හිතාගන්න බැරි තරමෙ දුකක් කියලා මං දන්නවා.. රසිකට ඒවා ගැළපෙන්නෙ නෑ කියලා අමාරුවෙන් හරි මං දැන් හිතනවා.. ඒක එහෙම වෙන්න ඇති.. ඔයා වගේම රසිකත් හුගක් ලස්සන හින්දා, රසික හිතනවා ඇති මොරීන් වගේ මහත කෙල්ලෙක්ව මොනවට ලංකර ගන්නවද කියලා.. සමහර විට දවසක රසිකට හිතෙයි, ඇගට වඩා හිත ලස්සන නම් ජීවිතේ හුගාක් සුන්දරයි කියලා.. හුගාක් වෙලාවට මං ආයෙ නුවර එන්නෑ මල්ලි.. ඔය ලස්සන මතකය එක්ක මං හැමදාම ජීවිතෙ අරගෙන යනවා.. හැබැයි එක දෙයක් තියෙනවා.. ඒ තමයි, රසික ආයි කවදා හරි මාව දකින දවසට, එයා මෙච්චර කාලයක් දැකපු මොරීන් නෙමෙයි එයා ඉස්සරහ ඉන්නේ.. ඒක ඔයාටත් තේරෙයි මල්ලි.. මං ඒ ගැන වැඩිය ලියන්නෙ නෑ.. මොකද මටත් කියලා හරි එකම එක ප්රාර්ථනාවක් තියෙන්න ඕනනේ.."
"ඉතිං බන්ටි මල්ලි.. මං ඔයාට හොද අක්කා කෙනෙක් උනාද නැද්ද කියලා මං දන්නෑ.. ඒත් අපි හොද යාලුවො වෙලා හිටියනේ.. ඔයාගෙ නම් කොහොමද කියලා මං දන්නෑ.. මගේ නම් හොදම යාලුවා උනේ ඔයානේ.. මං හැමදේම කිව්වෙ ඔයාට.. ඇත්තමයි බන්ටි මල්ලි.. මට, මගෙ දේවල් කියන්න කවුරුවත් හිටියෙ නෑ.. කන්කරච්චලයක් වුණත්, අමාරුවෙන් හරි මගේ දේවල් අහන් හිටියට ඔයාට හුගක් පින්.."
"මේ පුංචි රටේ.. මතු කවදා හෝ කොතැනකදි හේ..
යළි අප හමුවේවි.. යළි අප හමුවේවී.."
"මං මොරීන් අක්කා.."
ඇස් දෙක පලාගෙන කදුළු කැට දෙකක් මතුවෙද්දි මං ලියුම ගුලිකරගත්තා.. දෙයියනේ, මේ හැම දේටම මමයි වැරදි.. මොරීන් අක්කගෙ ඔලුවට මුලින්ම මේ විසබීජ් දැම්මෙ මමනේ..
"ඇ.. ඇයි බන්ටි මහත්තයෝ..?"
"මොරීන් අක්කා ගිහින් බේබි නැන්දේ.."
"ඔ.. ඔව් මං දන්නවා.."
"ඉතිං ඔයා මට නොකිව්වේ..?"
"මං හිතන් හිටියෙ බන්ටි මහත්තයා ඒ ළමයට අකමැතියි කියලනේ.. ඉතිං වදයක් නොවී ගියහම කොයි තරම් හොදද..? කොයි තරම් සහනයක්ද..?"
"අනේ නෑ බේබි නැන්දේ.. මං මොරීන් අක්කට කැමතියි.. එයා හරිම පව්.. ඇත්තටම හරිම පව්.. එයා ඔය යන්න ගියපු එකට මාත් හවුල්.. මට වැඩියක්ම හිතට අමාරු ඒකයි.."
"මට ඕවා තේරෙන්නෑ මහත්තයො.. ඒත් ඔහොම මූණ එල්ලගෙන ඉන්නෙපා.. මං ඒකට ඩිංගක්වත් කැමති නෑ.. මොරීන් ඔය ගියාට ආපහු ඒවි.. මං ඒක සහසුද්දෙන්ම දන්නවා.."
"ඔයා කොහොමද බේබි නැන්දේ එහෙම කියන්නේ..?"
"මොරීන්, රසික මහත්තයට කැමති වුණාට, ලෙංගතුකම් පෑවට, එයා හුගාක් කැමැත්තෙන් හිටියෙ බන්ටි මහත්තයව ආස්සරේ කරන්න.. ඒක මං සහසුද්දෙන්ම දන්නවා.. එහෙව් එකේ.. ඔය ගෑනු ළමිස්සිට, බන්ටි මහත්තයා නොදැක ඉන්න බෑ.. කොයි වෙලාවෙ හරි ඒවි.."
බේබි නැන්දා කියවන් ගියපු දේවල්වල සෑහෙන්න ඇත්තක් තියෙනවා කියලා ආයෙ තර්ක විතර්ක කරන්න ඕන වුණේ නෑ.. ඩිංගක් ආපස්සට කල්පනා කරලා බලපුවාම ඒ හැම දෙයක්ම ඇත්ත.. මොරීන් අක්කා, රසික අයියට ආදරේ කරාට එයා හුගාක් ලංවෙලා ආස්සරේ කරන්න කැමති වුණේ මාව.. ඒකත් හරිම පුදුම දෙයක්.. තමන් ආදරේ කරන්න කැමති දේ පැත්තක තියාලා වෙන දේකට කැමති වෙන එක.. ඒත් එදා මුළු රෑ පුරාම, මොරීන් අක්කා මේ නුවර අතෑරලා දාලා ගියපු එක මගේ හිතට හරියට වද දුන්නා.. තමන් කැමති අය, තමන් ආස කරන දේවල් දාල, ගම අතෑරලා යනවා කියන්නෙ කොයි තරම් විප්පයෝග දුකක්ද කියලා බන්ටිට ආයෙ අමුතුවෙන් කියලා දෙන්න කවුරුවත් ඕන නෑ.. මේ එක දිගට සිද්ධ වෙන හැම දෙයින්ම බන්ටිට ඒක සහසුද්දෙන්ම තේරුම් ගන්න පුළුවන්..
****************************
පහුවෙනිදා, උදේ පාන්දරම, ඇස් දෙක අමාරුවෙන් ඇරලා බලද්දි, මට අමුත්තක් දැනුණා.. නිකං නිකං මේ දවස පට්ට දවාලෙ උදා වුණා වගේ.. ඒ තරම් දාඩිය දාන ගතියක් ආවට වටපිටාව පුරාම තිබ්බේ.. ඒත් ඉතිං එහෙම උනා කියලා බන්ටිට ඇහැ කන පියාගෙන ඉන්න බෑ.. අද කොයි තරම් වැඩ කරන්න තියෙන දවසක්ද අප්පේ..
"උඹ, නෙත්මිට කතා කලේ නැද්ද..?"
චැලියත් අරගෙන වැව රවුටම එද්දි මගදිම චාමික හම්බවුණා.. ඌ අහපු දෙයින් මගේ හිතට මහ මොකක්දෝ වෙලා ගියා.. දෙයියනේ.. මිස්කේාල් අච්චර ගානක් තියෙද්දිත් මට කෙල්ලට කතා කරන්න බැරි උනානේ..
"ෂිහ්.. සිරාවටම අමතක උනා මචං.."
"මං උඹට එක අවවාදයක් දෙන්නම් ලොකු පුතේ.. ඔය නෙත්මිත් එක්ක තියෙන ඇයි හොදැයිය ගැන නිවැරදි තීන්දුවක් ගනිං.. අනිත් ඒවා පස්සෙ බලගනිං.."
"ඒ කිව්වේ..?"
"ඒකිට හිතෙන්න බැරි නෑනේ බන්ටි, ෆෝන් එකක් අරන් දීලා, ඒකට සිම් එකකුත් දාලා දීලා, පැකේජ් එකකුත් අරන් දීලා උඹ කතා නොකර හිටියාම, ඒකිව ගණන් ගත්තෙ නෑ කියලා.."
"එහෙම නෑ චාමික.. ඇත්තටම මං නෙත්මිට කතා කරන්න ගත්තා.. ඒත් බේබි නැන්දා කාමරේට ආවා.. මං ෆෝන් එක ඕෆ් කරලා කබඩ් එක උඩින් ති්බබා.. තාම ඒක එතන ඇති.."
"මට ඔය කුණුහරුප තේරෙන්නෑ ලොකු පුතේ.. පුළුවන් තරම් ඉක්මනට මේ මල ඉලව්වෙන් ඈත් වෙන්න බලපං.. මේවයෙන් ඒ තරම් හොද දෙයක් වෙන්නෑ.."
කතා කර කර ඉදලා චාමික කිව්වෙ මහ අමුතු කතාවක්.. මං මේ හැමදේම කරන්නේ, දේවල් කරේ, යාලුකම වෙනුවෙන්.. ඒ කැපවීම මුංට තේරෙන්නෑ කියලද මට මේ එහෙන් මෙහෙන් කියන්නේ..
"මට හොදක් වුණත්, නරකක් වුණත් කමක් නෑ.. මං මේ දේ කරන්නෙ නිරෝෂි වෙනුවෙන්.."
"හරි.. මං ඔය ගැන ආයෙත් කතා කරන්නෑ.. කෝ ඉතිං ඕක ස්ටාර්ට් කරගනිං.."
එතන ඉදලා ගැටඹෙ පන්සල ළගට එනකල්ම චාමික වචනයක්වත් කතා කලේ නෑ.. මමත් කතා කරන්න කිසිම උත්සාහයක් ගත්තෙ නෑ..
"කෙල්ල එයිද ලොකු පුතේ..?"
චාමික ආයෙත් කතා කෙරුවෙ ගැටඹෙ පන්සල ගාව චැලිය නවත්තලත් ටිකක් වෙලා ගියාට පස්සේ..
"එන නොඑන එක ඒකිගෙ වැඩක්.. මං, මගේ වැඩ කොටස කරා.. හැබැයි එක දෙයක් තියෙනවා.."
"ඒ මොකක්ද..?"
"බින්දුයි, නිරෝෂියි වෙනුවෙන් මං මේ කරන්නේ, අන්තිම උදව්ව.. මීට පස්සෙ මං නැතුව උං දෙන්නා ජීවිතේ අරගෙන යාවි.. බන්ටි, උන් දෙන්නගෙන් ටිකක් ඈත්වෙනවා.. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නෑ.."
"බ.. බන්ටි.. උ.. උඹ මොනවද මේ කියවන්නේ..?"
"මං කියන්නෙ මට දැනෙන දේ.. මං නැතුව මේ ජීවන ගමන අරගෙන යන්න උංට පුළුවන් වෙන්නෝන.. මං හැමදාම උංගෙ ළග ඉන්නෙ නෑනේ චාමික.. අනික.. එහෙම හිටියා කියලා ඒකෙ වගතුවක් වෙන්නෙත් නෑ.. දෙයක් අපි ළග තියෙනකොට ඒකෙ වටිනාකමක් අපට දැනෙන්නෑ.. ඇයි ඉතිං දන්නවනේ කොයි වෙලාවෙත් මේක ළග තියෙනවා කියලා.."
"උඹ ඔය හින්ට් ගහන්නෙ, මං අර ඉස්සෙල්ලා කියපුව හින්දා නේද..? මං එහෙම කිව්වෙ ඇත්තටම උඹ ගැන හිතලා බන්ටි.. ඒකයි.. ආ.. හප්පට සිරි.. මෙන්න නිරෝෂි කඩාගෙන එනවා.."
පන්සල ඉස්සරහ තාර පාරෙ සීරුවට අඩි තිය තියා ආවෙ නිරෝෂි.. මෙයා කොහොම දැනගත්තද දන්නෑ මං අද ශලනිව හම්බවෙනවා කියලා.. කරුමෙට හරි බින්දුවා මෙතෙන්ට ආවොත් මල කෙලි දහ අටයි..
"එයා තාම අපිව දැක්කෙ නෑ චාමික.."
"එහෙනම් බන්ටි, අපි ටිකක් එහාට වෙලා ඉම්මු.."
"මොනවද බං එහාට වෙලා ඉන්නේ.. අපි මෙතනම ඉමු.. නිරෝෂි අපිව දැක්කොත්, අපි කතා කරමු.. මොකෝ අපි එයාට එන්න කිව්වෙ නෑනේ.."
"උඹ කියන එකත් ඇත්ත බන්ටි.. එයා අපිව දකිනකල් ඉන්න ඕන නෑ.. ඉදපං මං කතා කරන්න.."
මං වචනයක්වත් කියන්න කලින්, චාමික මහා සද්දෙට නිරෝෂි කියලා කතා කරා.. උගේ කටහඩ මං හිතන්නෙ පේරාදෙණියටත් ඇහෙන්න ඇති.. යකෝ.. බලන් ගියාම මේකගෙත් තියෙන්නෙ මහ ගාන්ඨාරයක්නේ.. කටහඩේ තිබ්බ සද්දෙටමද කොහෙද නිරෝෂි ඔලුව ඉස්සුවා.. ඒත් ඒ මූණෙ වෙනදා අපි දැක්කම ඇදෙන හිනාව තිබ්බෙ නෑ.. කහ ඉර පැනලා නිරෝෂි අපි දිහාට එනකොට ඒ මුණෙ තිබ්බෙ මහ මුරණ්ඩු ගතියක්.. මොකක්ද අපපේ මේ වෙන්න යන්නේ..?
"බ.. බන්ටි.. නිරෝෂි අද ටිකක් එක විදියක් වගේ.. බින්දුවත් එක්ක ඩිවෝස් වෙලාද දන්නෑ.."
"ඒක තමයි මාත් බැලුවෙ.. මූණෙ එක හිනා කෑල්ලක්වත් නෑ.. හුටා.. අපි දිහා බලන්නෙවත් නැතුව අර පන්සල පැත්තට නේද යන්නේ..?"
"ඒකනේ ලොකු පුතේ.. මේකි ඊයෙ රෑ ඇදෙන්වත් බිමට වැටිලා ඔලුව කොහේ හරි නරක තැනක වැදුනද දන්නෑ.. මෙලෝ වගතුවක් නැති විදියට බලපංකො අපිව පහු කරගෙන ගිය හැටි.. වරෙන් යන්න.. අපි ගිහින් අහමු, අපෙන් වෙච්ච වැරැද්ද මොකක්ද කියලා.."
වැරැද්ද කියලා චාමික කියනකොටයි මට හරි වැරැද්ද තේරුණේ.. අම්මපා.. මෙච්චර වෙලා මගෙ මොළේ කොහෙද තිබුණෙ.. ළග පාතක ඇලක්වත් තිබුණ නම් මට හිතන්න තිබුණා ඒකෙවත් වැටිලා ඇති කියලා..
"ශ..ල..නි.."
මං ටිකක් සද්දෙට කතා කරා.. අපිවත් පහු කරන් පන්සල පැත්තකට යන්න හිටපු කෙල්ල නතර වුණා..
"යකෝ.. මේ නිරෝෂි නෙමේ, ශලනි.."
චාමිකට නිකම්ම කියවුණා.. ඔව් ඉතිං.. මං ශලනි කියලා කතා කරපු හන්දා හොදයි.. නැත්නම් මූ තාමත් නිරෝෂි කිය කිය බෙරිහන් දෙනවා.. දැන් එනවා මෙතන කංකුන්ඩා වගේ රෝල් වෙන්න..
"ඔ.. ඔයා මටද කතා කරේ..?"
ආපහු හැරිලා කෙලින්ම මං ගාවට ආපු කෙල්ල මගේ මූණ ගිලින්න වගේ බැලුවා.. ඒ තරු ඇස්, මගේ ඇස් පලාගෙන ඇතුළට යද්දි, එයා අඩුවක් නැතුවම මාව පරික්ෂා කරනවා කියලා මට දැනුණා..
"ඔව්.. ඔයාට තමා.."
"ඒ කියන්නෙ ඔයා තමයි, ඊයෙ මට ෆෝන් කලේ..?"
"ආ.. ෆෝන් කලේ නම් මම නෙමෙයි.. මෙන්න මේ චාමික.."
ලොකු පුතාගෙ ඇස් දෙක නළලටම ගියා.. උගේ මුළු මූණෙම ලියැවිලා තිබ්බෙ වචන පේළියයි.. 'මොන සහගහන අපරාධයක්ද තෝ මේ කරේ..?' කියනෙක..
"එතකොට කවුද නිරෝෂිගෙ බොයි ෆ්රෙන්ඩ්..? ඒත් මෙයාමද..? එහෙමත් නැත්නම් ඔයාද..?"
"ආ.. නිරෝෂිගෙ බොයි ෆ්රෙන්ඩ් නම් මෙතන නෑ.. ඌට බඩේ අමාරුවක් හැදුනා.. ඔයා එනවා කියලා කිව්වාම.."







balana un inna nisane damme 