බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂයට බහුතර බලය ද සමඟ විශිෂ්ට ජයක් හිමිවීමත් සමඟ, පරාජය බාර ගනිමින්, පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලීමට කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් පියවර ගත්තේය.
කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 326 ක් දිනාගත යුතු නමුත්, කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 398 ක් වීම විශේෂත්වයකි.
පරාජය බාර ගනිමින්, කම්කරු පක්ෂ නායක කීර් ස්ටාර්මර්ට සුබ පතමින්, ‘මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය ධුරය අහිමි වන කොන්සවර්ටිව් පක්ෂ නායක රිෂී සුනාක් පැවැසුවේය. ‘කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවුණා. මා ස්ටාමර්ට කතා කළා සුබ පැතුවා. මැතිවරණ පරාජය මා බාර ගන්නවා. මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පැහැදිලි කළේය.
බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව, පරාජය බාර ගැනීමෙන් පසු, රිෂී සුනාක්, තෙවැනි චාල්ස් රජු හමුවට ගොස් ඒ බව දැනුම් දෙනු ඇත. මැතිවරණය ජයග්‍රහණය කළ කීර් ස්ටාර්මර්, තමන්ට නව රජයක් පිහිටුවීමට හැකි බව ඉන්පසු චාල්ස් රජු හමුවී දැනුම් දීමට නියමිතය.
