මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත්තේ, දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවී රාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයකු වූ ‘සුදා’ නමැත්තාගෙන් ලැබුණ තොරතුරු මතය.
‘සුදා‘ විසින් ලබා දුන් තොරතුරු මත පළමුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කටයුතු කළ සත්‍ය මාස්ටර් හා තවේන්ද්‍රන් නොහොත් මුරලි අත්අඩංගුවට ගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනතුරුව යුද හමුදා බුද්ධි අංශයේ සේවය කර විශ්‍රාම ගෙන සිටි සාජන් මේජර් රම්බණ්ඩා කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විසින් හෙළි කළ තොරතුරු මත මේ වන විට හමුදා බුද්ධි අංශයේ කර්නල්වරුන් දෙදෙනකු හා සෙසු නිලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි රාජ් මහතාගේ ඝාතනයට යොදාගත් අවිය ඝාතකයා අතට පත් වී ඇත්තේ, එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එසේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කර්නල්වරයකු මඟිනි.
එම කර්නල්වරයා විසින් එම ගිනි අවිය නැගෙනහිර හිටපු මහ ඇමැති පිල්ලෙයාන්ට ලබාදී ඇති අතර ඔහුගෙන් චරන් නමැත්තාටත් චරන් විසින් සෙනෙවි නමැති නාවික හමුදා සෙබළාටත් ලබාදී තිබේ. රවිරාජ් ඝාතනය කළේ සෙනෙවි විසිනි. පසුව සෙනෙවිට ආරක්ෂාව ලබාදී තිබුණේ මනම්පේරි නම් පොලිස් කොස්තාපල්වරයෙකි. මේ වන විට ඔහු හා සෙනෙවිද අත්අඩංගුවේ පසුවෙති.
මේ අතර රවි රාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ප්‍රධාන සැකකරු වන ‘චරන්’ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ ආධාර ලබා ගැනීමට තීරණය කර ඇත. මෙම චරන් නැමැත්තා නැගෙනහිර හිටපු මහ ඇමැති පිල්ලෙයාන්ගේ සමීපතම අධාරකරුවකු වන අතර ඔහු මේ වන විට ස්විට්සර්ලන්තයට පළා ගොස් සිටියි.
රවී රාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සිව්දෙනකු අත්අඩංගුවේ පසුවන අතර අත්අඩංගුවේ පසුවන දෙදෙනකු රජයේ සාක්ෂිකරුවන් වීමට එකඟත්වය පළ කර ඇත. එමෙන්ම පසුගිය රජයේ සිටි ඉහළ ආරක්ෂක ප්‍රධානියකුගේ නියෝගය මත, මෙම ඝාතනය සිදු වූ බවට විශ්වාස කළ හැකි තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇතැයි ද පැවසේ