හතර දෙනෙකුට මාසයක් ජීවත්වීමට 68,000ක් ඕනෑ
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි
මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැය වන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.ඒ අනුව, 4 දෙනකුගෙන් යුත් පවුලක සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 68,056 මුදලක් අවශ්‍ය බව ද එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව විසින් මෙරට නිල දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් 2024 වසර සඳහා සිදුකළ සමීක්ෂණයකදී එය අනාවරණය වී ඇත.
එම සමීක්ෂණයට අනුව කොළඹ ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් 18,350ක මුදලක් වැය වන අතර, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට රුපියල් 16,248ක මුදලක් වැය වනු ඇත.
එය මෙරට දිස්ත්‍රික්ක 25 අතරින් එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා වැය වන අඩු ම මුදල වේ.
2023 වසරේදී සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට රුපියල් 16,524ක අවම මුදලක් වැයවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර, මෙම 2024 වසරේදී එම වියදම රුපියල් 17,014ක් දක්වා රුපියල් 490කින් වැඩි වී ඇත.
මේ අතර, කොළඹ ප්‍රදේශයේ ජීවත්වන එක් පුද්ගලයකු සඳහා වැය වන වියදම ද පෙර වසරට (2023) සාපේක්ෂව මෙම (2024) වසරේදී රුපියල් 17,821 සිට රුපියල් 18,350 දක්වා රුපියල් 529කින් වැඩි වී තිබේ.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව 2019 වසරේදී සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා එක් පුද්ගලයකුට වැය වී ඇත්තේ රුපියල් 6,966ක මුදලකි.
ඒ අනුව වසර 5ක කාලය ඇතුළත එක් පුද්ගලයෙකු සඳහා වැය වන වියදම රුපියල් 6,966 සිට රුපියල් 17,014 ක් දක්වා රුපියල් 10,048ක මුදලකින් වැඩි වී ඇත.
source