අද එතැන් සිට
12
දවස් දෙක තුනක් හීන් සීරුවෙ ගෙවිලා ගියා. මං ගෙයින් එළියටවත් බැස්සෙ නෑ. මට ආපු හැම කෝල් එකකටම ආන්සර් කෙරුවෙ දෙයියා. ඒ හැම එකකටම උත්තරේ මම ගෙදර නෑ කියන එක. දෙයියා උනත් මගෙන් මොකුත් ඇහුවෙ නෑ. මොනව වුණත් මහ විශාල දෙයක් සිද්ද වෙලා කියලා දෙයියා දැනන් හිටියා.
"බේබි මහත්තයෝ.."
මං ඔලුව උස්සලා බැලුවා. දෙයියා මගේ කාමරේ ඉස්සරහා ඉන්නවා. ඒ මූණ මහා අසරණකමකින් පෙගිලා ගිහින් තිබුණා. පහුගිය දවස් ටිකේ දෙයියට සැලකුව, නුරු වැඩියි කියලා මට හිතුණා. දෙයියා හෙමින් සීරුවෙ මං ළගට ආවා.
"ඔය විදියට කල්පනා කරන්න එපා බේබි මහත්තයෝ.. මට බලන් ඉන්න බෑ.. මොකක් හරි දෙයක් තියෙනවා නම් කියන්න මං බේරලා දෙන්නම්. ඉස්සර වගේ හිනාවෙලා ඉන්නකෝ බේබි මහත්තයෝ.."
"ලොකු ප්රශ්ණයක් නම් තියෙනවා තමයි. ඒත් දෙයියට මෙතනදි මුකුත්ම කරන්න බෑ.. දැනට කරන්න තියෙන දේ තමයි සල්ල නැතුව පැත්තකට වෙලා ඉන්න එක."
"මට තේරෙන්නෑ බේබි මහත්තයෝ. සංජානි බේබි මේ දවස් ටිකේම ෆෝන් කරලා මහත්තයා ගැන ඇහුවා.... ඔ.. ඔය බලන්න අදත් රිංග්ස් යනවා.."
ටෙලිෆෝන් එකේ සද්දෙ මට ඇහුණා. මං කාමරෙන් එළියට ඇවිත් කොරිඩෝ එකෙ තිබ්බ ෆෝන් එක ඉස්සුවා. සංජානිට මේ හැමදේම කියල ඉවරයක් කරලා දාන්න ඕන කියන තීරණයකට මං ඇවිල්ලා තිබුණා. ඒත් ෆෝන් එක එහා පැත්තෙ හිටියෙ භවන්ත.
"අනගි.... ඔයා ඇයි අපේ ගෙදර එන්නෙ නැත්තේ.."
භවන්ත එකපාරටම ඇහුවා. ඒත් ඒ ප්රශ්නෙට දෙන්න තරම් හොද උත්තරයක් මට හදාගන්න බැරි වුණා. මං මුකුත් කිව්වෙ නෑ.
"අනගි... ඔයා දැන්මම අපේ ගෙදර එන්න ඕන.."
"ඇයි.... භවන්ත..?"
"ඔයාට ඒ ඩිංගට ඒකත් අමතක වෙලා.. ඇයි මනුස්සයෝ අපි එදා යන්න ගිය ගමන යන්නැද්ද..?"
භවන්ත එහෙම කිව්වාමයි මට ඒක මතක් වුණේ. මිනිහගෙ ගර්ළ් ෆ්රෙන්ඩ් මට ඉන්ට්රොඩියුස් කරන්නනේ එදා ගියේ. ඒත් සිද්ධ වුණේ වෙන දෙයක් නේ. දැන් කරන්න දෙයක් නෑ.. භවන්ත ළගට යන්නම වෙනවා. කමක් නෑ.... භවන්තත් ගෙදර ඉන්න හන්දා අවුලක් වෙන එකක් නෑ කියලා හිත හිතාම මං ඇදුමක් දාගත්තා. භවන්ත ළගට යනවා කියලා දෙයියටත් කියලා මං ගෙදරින් පිටවුණා. වීරයා වගේ ආවට, භවන්තලගෙ ගෙට ඇතුල් වෙනකොටම මගේ පපුව ගැහෙන සද්දෙ වැඩිවුණා. භවන්තත් පේන්න හිටියෙ නෑ. ටිකකින් මගේ ඉස්සරහට භවන්තගෙ අම්මයි, සංජානියි ආවා. සංජානිගෙ අහිංසක මූණෙ පිපිලා තියෙන බලාපොරොත්තු කන්ද දැක්කහම මගේ හිත වෙව්ලලා ගියා.
මේ අහිංසක කෙල්ල ඉන්නවා ඇත්තේ මං ගැන කොයි තරම් බලාපොරොත්තු කන්දරාවක් හිතේ තියාගෙනද කියලත් මට තේරුණා. ඒත් ඒ එක්කම මට භවන්ත මතක් වුණා. හැමදෙයක්ම ඒ විදියට සිද්ධවෙලා ගියාඉන් පස්සෙ මට කරන්න දෙයක් තිබුණෙ නෑ. දන්න කියන හැම විදියටම කල්පනා කරලා බැලුවත් මොනවද කරන්න ඕන කියලා මට හරි හමන් උත්තරයක් ලැබුණෙ නෑ..
"භවන්ත කෝ ආන්ටි....?"
භවන්න පේන්න නැතුව හිටපු හින්දා මං ඇහුවා. සංජානි තාමත් මං දිහා බලාගෙනයි හිටියේ. මහා ලොකු දුකක් හිතට දැනෙද්දි මං අනිත් පැත්ත බලා ගත්තා.
"පොඩි වැඩකට මේ ළගට ගියා පුතා.. එන්න... ඇතුළෙන් වාඩිවෙමු. මං බොන්න මොනව හරි හදන් එන්නම්..."
එහෙම කියලා ආන්ටි ගේ ඇතුළට යන්න හැදුවා. සංජානිගෙ මූණෙ පුංචි හිනාවක් පිපුණා. ඒ මාවයි, සංජානිවයි මෙහෙම තනියෙන් ඉන්දෙද්දි ආන්ටි ගේ ඇතුළට යන හින්දා වෙන්නැති කියලා මට හිතුනා. ඒත් ඊට කලින් මං ඉස්සර වුණා.
"එපා ආන්ටි.. දැන් නම් මොකුත් බොන්න බෑ. භවන්ත එනකන් මං ඉස්සරහට වෙලා ඉන්නම්.. ආන්ටි වැඩ ටික කරගන්න.. භවන්ත ඉක්මනට ඒවි නේ.."
සංජානිගෙ මූණෙ පිපිල තිබ්බ පුංචි හිනාව බලාගෙනම ඉද්දි පරවෙලා ගියා. ඒ මූණ මහා දුකකින් වැහිලා යද්දි තවත් එයා දිහා බලන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ. ඒ වෙලාවෙ ආන්ටිත් ගේ ඇතුළට ගිහින්. මට ඔහොම කරන්න එපා රත්තරන් කියන පනිවිඩේ සංජානිගෙ මූණ පුරාම ලියැවිලා තිබුණා. කරන්න දෙයක් නැතිකමට මං බිම බලාගෙන ආපහු හැරෙන්නයි හැදුවේ. ඒත් ඊට කලින් ඇස්දෙකේ කදුළු පුරවගෙන, අඩාගෙනම සංජානි ගේ ඇතුලට දුවගෙන ගියා. මගේ හිත පුරාම දැනුණේ මොකක්දෝ හිස් බවක්. කියාගන්න බැරි වේදනාවක් මගේ හිත මිරිකලා දාද්දි මං ඉස්සරහට ආවා. සංජානිට මේ හැම දෙයක්ම තේරුම් කරලා දෙන්න ඕනෙ මොන විදියටද කියලා මං ගේට් එක ළගට වෙලා හිත හිත ඉන්දියි භවන්ත ආවේ. මාව දැක්ක ගමන් ඒ මූණෙ ලොකු හිනාවකින් පිරිලා ගියා. සංජානිත් එක්ක එකතුවෙලා ඔය හිනාව නැති කරලා දාන්න මට බෑ භවන්ත.. මගේ අතින් කවදාවත් ඒ දේ වෙන්නෙ නෑ. මං හිතාගත්තා...








machan We are w8n 4 u!!

