පෘථිවියේ සිට ආලෝක වර්ෂ 960 ක් පමණ ඈතින්, 'Perseus' තාරකා රාශියට අයත්ව පිහිටා ඇති 'Perseus' අණුක වළාව (Perseus molecular cloud) තුළ පවතින සුවිශේෂී "පරාවර්තන නිහාරිකාවක්" (Reflection nebula) ලෙස "NGC 1333" හැදින්විය හැකිය. 1855 වසරේදී ජර්මානු ජාතික තාරකා විද්‍යාඥයකු වූ "Eduard Schönfeld" විසින් ප්‍රථමවරට සොයාගනු ලැබූ මෙම නිහාරිකාව නව තාරකාවන් සීඝ්‍ර ලෙස උපැද්දවීම සිදු කරනු ලබන "Active star forming region" එකක් ලෙස ද සලකනු ලබයි. ඇමරිකාවේ නාසා ආයතනයට සහ යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට (European Space Agency - ESA) මෙන්ම කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියට ද (CSA) අයත් "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් පහත දැක්වෙන නවතම අධෝරක්ත කිරණ ඡායාරූපය (Infrared image) මගින් නිරූපණය කෙරෙනුයේ මෙම "NGC 1333" නිහාරිකාවට අයත් ප්‍රදේශයක් තුළ පොකුරු වශයෙන් පිහිටා තිබෙන නව තාරකාවන්ගේ ව්‍යාප්තියයි.
Credit: ESA/Webb, NASA & CSA, A. Scholz, K. Muzic, A. Langeveld, R. Jayawardhana
මෙම ඡායාරූපයේ ඉහළම විභේදනය (Highest resolution) සහිත ඡායාරූපය භාගත කර ගැනීමට මෙම ලිංකුව භාවිතා කරන්න, (විශාලත්වය - මෙගා බයිට් 78)
Fullsize Original (78.6 MB)
මෙම ඡායාරූපය හොදින් නිරීක්ෂණය කිරීමේදී නිහාරිකාවේ තැනින් තැන පවතින තැඹිලි පැහැ ගත් විශාල ප්‍රමාණයේ ප්‍රදේශයන් දැක ගත හැකි අතර මෙම ප්‍රදේශයන් "Herbig-Haro objects" ගනයට අයත් ප්‍රදේශයන් ලෙස හදුනාගෙන තිබේ. "Herbig-Haro objects" ලෙස හදුන්වනු ලබන්නේ අලුත උපන් නව තාරකාවන්, එසේත් නැතහොත් ප්‍රොටෝ තාරකාවන් (Protostars) බිහිවීමේදී නිකුත්වන කම්පන තරංගයන් මගින් හටගන්නා අන්තර්තාරකා සුළං (stellar winds) හේතුවෙන් ඒ අවට වූ වායූන්ගේ සිදුවන කැළබීම් මුල්කොටගෙන එම නව තාරකාවන් වටා නිර්මාණය වන දීප්තිමත් ප්‍රදේශයන් ය. "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි ප්‍රධාන නිරීක්ෂණ මාධ්‍යයය වන අධෝරකත කිරණ ආලෝකයේදී මෙම "Herbig-Haro objects" ගනයට අයත් ප්‍රදේශයන් තුල පවතින වායූන්ගේ පවතින දිලිසුම වඩාත් හොදින් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම ප්‍රදේශයන් මෙලෙස කැපී පෙනෙන ආකාරයෙන් ග්‍රහණය කර ගැනීමට "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂයට හැකියාව ලැබී තිබේ. ඡායාරූපයෙහි දිස්වන මෙම නව තාරකාවන් බෝහෝමයක් ම වටා වායු සහ දූවිලි වලින් සැදුම්ලත්ව නිර්මාණය වූ තැටි ආකාරයේ ව්‍යුහයන් (Protoplanetary disk)නිර්මාණය වී පවතින අතර මෙම ව්‍යුහයන් පසු කලකදී ග්‍රහමය පද්ධතියන් (planetary systems) නිර්මාණය කිරීම ද සිදු කරයි.
මෙහි දිස්වන තාරකා පොකුරෙහි වයස වසර මිලියන 1-3 ත් අතර ගයක් ගනු ලබන අතර නිහාරිකාව තුළ පවතින මුළු තාරකාවන්ගේ ප්‍රමාණය 150 ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. මේ අතර මෙම තාරකාවන් අතරින් තාරකාවන් 15 ක් ම "දුඹුරු වාමන තාරකා" (Brown dwarf star) ගණයට තාරකාවන් ලෙස තාරකා විද්‍යාඥයන් මේ වන විට හදුනාගෙන ඇත. "දුඹුරු වාමන තාරකා" (Brown dwarf star) ලෙස සලකනු ලබන්නේ, තම හරයන් (Core) තුළ පවතින හයිඩ්රජන්, හීලියම් බවට විලයනය කොට ශක්තිය උපදවා ගන්නා "Main sequence star" (අපගේ සූර්යයා ද මේ ගනයට අයත් තාරකාවකි) ගනයට යත් තාරකාවන්ට වඩා ස්කන්ධයෙන් අඩු අගයක් ගනු ලබන, එහෙත් "වායු දැවැන්තයන්" ( Gas giants) ගනයට අයත් විශාලත්වය සහ ස්කන්ධය අතින් වඩා වැඩි අගයක් ගනු ලබන ග්‍රහලෝකවලට වඩා ස්කන්ධය අතින් ඉහළ අගයක් ගනු ලබන අතර මැදි තාරකාවන් විශේෂයකි. "NGC 1333" පරාවර්තන නිහාරිකාවට අයත් කලාපයේ ස්කන්ධය සමස්තයක් වාශයෙන් සූර්ය සක්න්ධ (Solar mass - M☉) 450 ක පමණ අගයක් ගන්නා අතර විෂ්කම්භය අතින් ආලෝක වර්ෂ 15 ක පමණ අගයක් ද ගනු ලබයි.
හබල් අභ්‍යවකාශ දුරේක්ෂය (Hubble space telescope) මගින් දුටු "NGC 1333" පරාවර්තන නිහාරිකාව
චන්ද්‍රා අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් දුටු "NGC 1333" පරාවර්තන නිහාරිකාව
'Perseus' තාරකා රාශිය සහ 'Perseus' අණුක වළාවට අයත් කලාපයේ පිහිටි විවිධ ආකාශ වස්තූන්


