


කොරෝනා අපේ ජීවිතවලට කියා දුන් පාඩම් බොහෝය. රෝහලේ ඇඳන් මත ඔක්සිජන් බටයට ජීවිතය දී හුස්ම යදින මිනිසුන් මෙන්ම දවසින් දවස මෘත ශරීරාගාරය ද හුස්ම නතර කළ මිනිසුන්ගෙන් පිරී ඇත. ඉන්දියාවේ දුටු විශාලාව මෙන් ලංකාවේ මිනී ගිනි කඳු නොතිබුණද දිනකට ආදාහනාගාරය වෙත යන මිනිස් ජීවිත ගණන දෙසීය තුන්සීය ඉක්මවා ඇත.
අයගේ ජීවිතවල කොයිතරම් නම් බැඳීම් තියෙන්නට ඇතිද? මොනතරම් නම් පිරිස් බලය යහළු හිතවතුන් ඉන්නට ඇතිද? හීන බලපොරොත්තු එහෙමම වුණත් බිරිඳගේ, අම්මාගේ, තාත්තාගේ, දරුවන්ගේ, නැදෑ හිතවතුන්ගේ මූණ නොබලම යන්න වුණු කී දෙනෙක් නම් මේ පොලිතින් උර ඇතුළේ අවසන් ගමන් ගිහින් ඇතිද? |
රාත්‍රියට සෑම රෝහලකම මිනී පෙට්ටි පෙරහර ආදාහනාගාරයට ඇදෙන්නේ ගොක් කොළ, පාවඩ, තොරණ්, මල්වඩම් පමණක් නොව යහළු හිතමිතුරන්, තම ආදරණීයයන්ගේ මුහුණවත් නොදැකය. ආටෝප නැති සිප වැළඳ ගැනීම් නැති ඇඳිවතින්ම පොලිතින් උරයක යන සිය අවසන් ගමන ජීවිතේ අනිත්‍යය බව කොරෝනා මාරයා සෑම කෙනකුටම මේ මොහොත වනවිට පසක් කර දී හමාරය.
අප මේ කතා කරන මොහොතේ ලංකාවේ කාර්යබහුලම තැන වී ඇත්තේ රෝහලේ කොරෝනා වාට්ටු, මෘත ශරීරාගාරය සහ ආදාහනාගාරයි. දුගී පැලේ දුගියාටත් මහා මන්දිරේ සැපතාටත් මිල මුදල් බලය තාන්න මාන්න කෙතරම් තිබුණත් ඇඳිවතින්ම කොරෝනා ජීවිත අරගෙන යන මොහොත අවිනිශ්චිතය. පොලිතින් උරයක ඇඳිවතින්ම අවසානය සනිටුහන් කරන මේ මෝචරිය ඉදිරියේ දිනකට කී දාහක් නම් අඬනවා වැළපෙනවා ඇතිද? කරාපිටිය මෘත ශරීරාගාරය ඉදිරියේ මා දුටු මෘතදේහ පෙරහර හදවත මොහොතකට නතර කළේය. හරියටම වේලාව සවස පහ පසු වී විනාඩි තිහකි.
“අද කොරෝනා බොඩීස් 25යි. අඩුයි කිව්වට ලොකු අඩුවක් නැහැ. රඟපෑම් තමයි ඔක්කොම. හැබැයි ඉතින් ඔය හැම රජෙකුගේම අවසානය මෙතන තමයි.”
මෝචරියේ සේවකයකු කියාගෙන ගියේය.
දුප්පත් පෝසත් භේදයක් නැත. මේ මෝචරිය ඉදිරියේ මිනිස්සු අඬා වැටෙන හැටි, බිම ඉඳගෙන සමහරු පොළවේ පස් කකා අඬන හැටි මිනිස්සු ජීවිතේ කොයිතරම් අසරණද යන්න ලංකාවේ ඕනම මෝචරියක් ඉදිරියට ගියහොත් ඒ වේදනාව අසරණකම ඔබටත් දැනේවි, හැඟේවි.
සල්ලි ඇති, නැති ජනප්‍රිය, දුප්පත් උගත්, නූගත් ඉහළ පහළ පන්තිවල මිනිස්සු ඉටි කවරයක සීල් වෙලා මෝචරයේ ශීතාගාරයෙන් එළියට එද්දි ජීවත් වෙන්න මිනිස්සු මොන තරම් නැටුම් නැටුවත් අවසානය මේකද කියලා ඔබට හිතේවි. මේ පරිසරයට ළං වෙද්දී හිතට එන හැඟීම අමුතුවෙන් කිවයුතු නැත. මේ පාළු මූසල පරිසරයේ ඇසෙන එකම හඬ විලාපය සහ අඳෝනාව පමණි. මේ මාවතේ සිනහ මුසු මුහුණක් දකින්නවත් නැත.
මෝචරියේ කොරිඩෝවේ ට්‍රොලියක් මත නිශ්ශබ්ද වෙලා අත බැඳගෙන ඉන්න මේ අයගේ ජීවිතවල කොයිතරම් නම් බැඳීම් තියෙන්නට ඇතිද? මොනතරම් නම් පිරිස් බලය යහළු හිතවතුන් ඉන්නට ඇතිද? හීන බලපොරොත්තු එහෙමම වුණත් බිරිඳගේ, අම්මාගේ, තාත්තාගේ, දරුවන්ගේ, නැදෑ හිතවතුන්ගේ මූණ නොබලම යන්න වුණු කී දෙනෙක් නම් මේ පොලිතින් උර ඇතුලේ අවසන් ගමන් ගිහින් ඇතිද?
“මගේ මහත්තයාට මැරෙන්න තරම් ලෙඩක් තිබුණේ නැහැ. තාම මහත්තයට වයස අවුරුදු 39යි. මහත්තයා වැඩ කරපු තැනින් කොරෝනා හැදුනාම හරියට ඇඬුවා. ඇඬුවේ මටයි දරුවටයි අම්මටයි හැදේවි කියලා. අපි පරිස්සම් වුණත් අපිටත් හැදුනා. අදට අපිට සුව වෙලා මාසකට වැඩියි. අම්මා ගොඩක් වයසයි. හුස්ම ගන්න අමාරු වෙලා කරාපිටියට ඇතුල් කරළත් දැඩි සත්කාර ඒකකයේ ඇඳක් නැතුව අම්මාගේ පණ ගියේ රෝද පුටුවෙම. අම්මාගේ මරණේ මහත්තයාට කිව්වේ නැහැ. එතකොට එයා හිටියේ මැෂින් එකේ. දවස් නවයක් මැෂින් එකේ ඉඳලා මහත්තයාට සුව වුණා. අම්මා නැති වුණා කියලා මහත්තයාට කිව්වේ ගෙදර ආවම. අම්මාගේ තුන් මාසේ දානේ හොඳට දෙන්න ඕන කියලත් කිව්වා. ගෙදර ඇවිල්ලා දවස් පහළොවක් විතර යනකොට මහත්තයට කැස්සක් හැදුනා. කැස්සත් එක්කම නැවත හුස්ම ගන්න අපහසුතා ආවා. කරාපිටියට ගෙනාවම කිව්වා හතියට ඇවිල්ලා කියලා. ඊයේ හවසත් මාත් එක්ක හොඳට කතා කළා. තව දවස් දෙකකින් මට ගෙදර එන්න පුළුවන් කියලාත් කිව්වා. රාත්‍රියේ මට රෝහලෙන් කතා කරලා කිව්වා කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් මහත්තයා අන්ත්‍රා වුණා කියලා. අනේ මට විශ්වාස කරන්න බෑ කොරෝනා හොඳ වෙලා ගෙදර ගිය මහත්තයට මොකද වුණේ කියලා.
එකපාරක් මට මහත්තයාගේ මූණ බලන්න දුන්නා. දරුවාට තාම අවුරුදු දෙකයි. ඒ නිසා දරුවාව ගේන්න එපා කිව්වා. අම්මා මැරිලා දවස් 20කින් මහත්තයත් නැති වුණා. මට අඬන්න දැන් කඳුළු නෑ. මේ වගේ වේදනාවක් නම් කිසිම ගෑනියෙකුට විඳින්න ලැබෙන්න එපා. වැඳලා කියන්නම් පරිස්සම් වෙන්න. අනේ මම මේ ඉන්නේ තව එක පාරක් හරි මහත්තයාගේ මූණ බලන්න මිස්...” ඇය හඬා වැටුණි.
“අනේ මහත්තයෝ මට තව එකපාරක් මගේ මහත්තයාගේ මූණ පෙන්වන්න. සල්ලි ඕන නම් මම ඉල්ලන ගානක් දෙන්නම් එකම එක පාරක් මට මූණ බලන්න දෙන්න...” ඇගේ වේදනා විලාපය මුළු මෘත ශරීරාගාරයේම දෝංකාර දුනි. ඇය මා හට මේ මෘත ශරීරාගාරයේදී මුණ ගැසුණු තවත් එක් තරුණියක් පමණි.
කරාපිටිය රෝහලේ මෝචරි සේවකයකු තමා ලත් අනුවේදනීය අත්දැකීම් අපට පැවසුවේ මෙලෙසය.
“රෑ වෙනකොට අපේ මුළු ඇඟම රිදෙනවා මිස්. සමහර කොරෝනා පොසිටිව් වුණ මළසිරුරු ට්‍රොලිවලට දාන්න ඕන අපිමයි. කොරෝනා බොඩීස් අල්ලන්න කවුරුත් එන්නේ නැහැ. මේක හැදෙයි කියලා බයයි. දවසට පොසිටිව් වුණ මරණ විස්සක් විසිපහක් එනවාමයි. එක දවසක් බොඩීස් හතළිහක් ආවා. මම මෙතන කරන්නේ මිනී කපන එක. එදා මිනී විසිපහකට වැඩිය මට කපන්න වුණා. අනිවාර්ෙයන් දවසට කොරෝනා මරණ දහයක් දොළහක් කපන්න වෙනවාමයි. කොවිඩ් නියුමෝනියාවෙන් මැරෙන තරුණ අයගේ බොඩීස් නම් අනිවාර්ෙයන්ම කපනවා.
හැම මිනියක්ම කපන්නේ දෙවියන්ට බුදුන්ට මල් පහන් තියලා වැඳලා. දුප්පත්කමට මිනී කපන රස්සාව කරනවා මිසක් නැත්නම් ආසාවෙන් මේක කරන්නේ නෑ මිස්. මේක මහ කාලකන්නිම රැකියාවක්. මම කොවිඩ් මළසිරුරු කපන නිසා මාස පහකින් මගේ දරුවන්ගේ මූණ දැකලා නැහැ. ගෙදර ගියේම නැහැ. මාව දකිද්දි සමහර ළඟින් ඉන්න යාළුවෝ පස්සට යනවා. යාළු හිතමිතුරෝ නැදෑයෝ පවා මාව ඈත් කළා. ඒ දේවල් මතක් වෙනකොට පපුව පැලෙන්න තරම් දුකක් එනවා. මම දැන් අවුරුදු දාහතරක් තිස්සේ කරන්නේ මෝචරියේ මිනී කපන රස්සාව. රස්සා ජීවිතේ මේ ගෙවන්නේ ඉතා අමිහිරිතම කාල සීමාවක්.
මේ වෙනකොට කොරෝනා පොසිටිව් වෙලා නැතිවුණ පොඩි දරුවෝ හය දෙනෙක් විතර මම කපලා තියෙනවා. කොයි තරම් අවුරුදු ගානක් රස්සාව කරළත් පොඩි දරුවෙක්ව අතට දුන්නම කකුල් පණ නැති වෙනවා. පුදුම කාලකන්නිකමක් හිතට දැනෙනවා.
මීට දවස් හතරකට කලින් ගෙනාවා දරුවෙක් ලැබෙන්න ඉඳපු කොවිඩ් ආසාදිත අම්මා කෙනෙක්ගේ සිරුරක්. අම්මාට අවුරුදු 28යි. දරුවා ලැබිලා තිබුණේ නැහැ. ඒ අම්මාගේ කුසේ හිටියේ හොඳට වැඩිච්ච දරුවෙක්. අතට ගත්තම මට ලෝබ හිතුනා. දරුවව අරගෙන අම්මාගේ කකුල් දෙක ළඟින් තිබ්බා. තරුණ මහත්තයෙක් ආවා සිරුර බාරගන්න. ඒ මහත්තයව මට අවනත කර ගන්නම බැරි වුණා. සිරුර පෙන්නපු ගමන් මාවත් තල්ලු කරගෙන ගිහින් කකුල් දෙක උඩ තියලා තිබුණු දරු පැටියව අරගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. මම කෑ ගැහැව්වා විෂබීජ, ඉඹින්න එපා කියලා. ඒ මහත්තයා අර මලකඳන් දෙක බඳාගෙන අඬපු විදිහට මගේ කකුල් පණ නැති වුණා. මගේ ඇස්වලත් කඳුළු. ලෙඩක් හැදිලා මැරෙනවට වඩා මේ මරණ හරිම වේදනාකාරියි. ගෙදරින් පයින් හොඳට ඇවිදගෙන එන මිනිස්සු අවසානයේ රෙදි බෑග් එකත් එක්ක නතර වෙන්නේ මෝචරියේ.
ඉතින් අර මහත්තයා මගෙන් ඉල්ලීමක් කළා. එතකොට පෙට්ටියට දාලා ඇණ ගහන්න විතරයි තිබුණේ. මඟුල් දවසේ නෝනා ඇඳපු සාරිය අන්දන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඒකත් කරලා දුන්නා. සිරුරට සාරිය අන්දලා දරුවටත් ලස්සන ඇඳුමක් ඇන්දුවා. මම ඇඳුම අන්දනකම්ම ඒ මහත්තයා අඬ අඬා නෝනගේ ඔළුව පිරිමැද්දා. මේවා කොරෝනා පොසිටිව් බොඩීස් නිසා ඇතුළට කාවවත් ගන්නේ නැහැ. ඒත් මට එහෙම කරන්න හිත දුන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මට දවස් දෙකක් නින්ද ගියේ නැහැ. තාමත් නිතරම මට ඒ සිද්ධිය මතක් වෙනවා.
ගොඩක් කොරෝනා මරණ මුලින්ම ආවේ වයසක අය. දැන් ගොඩක් එන්නේ තරුණ අය. සමහර දවසට මිනී කාමරේ මැස්සෝ වගේ පිරෙනවා. පවුල්වල අය මෙතන අඬා වැළපෙන ඒවා තමයි බලා ඉන්න අමාරුම. සමහර අය සිරුර බලලා මෙතනම පපුව අල්ලන් මැරිලා වැටෙනවා හෘදයාබාධවලින්.
මේ මෑතකදී ඒ වාගේ සිදුවීමක් වුණා. කොවිඩ් ආසාදිත නැති වුණ සැමියාගේ මරණේ බලන්න බිරිඳයි දුවයි ආවා. මහත්තයාගේ මරණේ පෙන්නපු ගමන් පපුව අල්ලගෙන ඇදගෙන වැටුණා. හදිසි හෘදයාබාධයකින් ඒ අම්මා නැති වුණා. දුවට අවුරුදු දහයයි. ඒවා දකින්නත් අපි කොයිතරම් පව් කරලා ඇතිද කියලා හිතෙනවා. අවුරුදු දහයේ ඒ දරුවා අම්මාගෙයි තාත්තාගෙයි මරණ දෙක ඉදිරියේ මොන තරම් වේදනාවක් දරා ගන්න ඇතිද? මේවා දැකලම රෑට නින්ද යන්නේ නැහැ. කන්න බඩගින්නක්වත් දැනෙන්නේ නැහැ. ඒ හැමදේම දරාගෙන රස්සාව කරන්නේ දුප්පත්කමට.” ඔහු පැවසීය.
Last edited:
