• Jun 17, 2009
    576
    237
    43
    colombo
    mY83zY6.png

    අලූ‍ත් අවුරුද්දක් උදා වෙන්නේ අලූ‍ත් බලාපොරොත්තු, ප‍්‍රාර්ථනා ගොන්නක් පොදි බැඳගෙන. අලූ‍ත් අවුරුද්දක් කියන්නේ අලූ‍ත්ම දවස් 365 ක් තෑග්ගක් විදියට අපේ ජීවිතවලට පිරිනැමීමක් කියලයි මට හිතෙන්නේ... ඉතින් කොහොමද ? මාතෘකාව දැක්ක ගමන් හිතට ආවේ අවුරුදු පලාපල විස්තරයක් ද කියලා නේද... අවුරුද්ද සුබ අසුබ කරගන්න එකේ ලොකු බරක් තිබෙන්නේ තනිතනිවම තම තමන්ටමයි කියලයි මට හිතෙන්නේ... ඔබේ කැදැල්ලේ පුංචි දරු පැටවුන්ගේ අම්ම හැටියට... සොඳුරු බිරින්දෑ හැටියට... ගෙදර දෝණි හැටියට... රැකියාවේ, වෘත්තියේ, ව්‍යාපාරයේ නිලයේ-තනතුරේ හැටියට ඔබේ සමීපතමයන්ගේ ජිවිතවලට මේ අවුරුද්ද කොහොම එකක්ද කියන වගකීම වැඩිවශයෙන්ම දරන්නේ ඔබයි. මේ අවුරුද්ද ගතවෙලා ඉවර වෙද්දී ඔබත් එක්ක මේ ගමන යන අයගේ ජීවිත කොයිතරම් දුරකින් ඉදිරියට අඩිය තිබ්බද... පසුපසට ගියා ද කියල තීරණ කරන්න ඔබ දක්වන දායකත්වය සුළුපටු එකක් නෙවි...

    මේ අවුරුද්දේ කලින් අවුරුද්දට වඩා තමන්ගැන පොඞ්ඩක් වද වෙමුද ? ඒ කීවේ... හිත පිළිගන්න පස්ස ගැහුවත් ජීව විද්‍යාත්මක සත්‍යතාවය නම් කලින් අවුරුද්දේ ජනවාරි මාසෙට වඩා මේ ජනවාරි මාසේ වෙද්දී අපි අවුරුද්දකින් වයස ගිහින්... ඉතින් කාන්තාවෝ විදියට තමන් ගැන වැඩිපුර මහන්සි වෙන්න පොඩි වෙලාවක් වැඩිපුර වෙන්කරගන්න බලමු. එ්ක නම් ටිකක් අමාරු වැඩක්... කාලය ගතවෙන එක වයස යන එක නවත්වන්න බැහැනේ... ‘‘අපිට වෙලාව වෙන්කරගන්න”‍ කීවම එ්ක ආත්මාර්ථකාමී වැඩක් වගේ හැඟීමක් ඔබේ හිතට ඇතුළු වුණා නම් එ්කේ කිසි වරදක් නැහැ. අපි හැම මොහොතේම වද වෙන්නේ අපිට වඩා අපේ සමීපතමයන් වෙනුවෙන්... එ්ක සාමාන්‍ය ස්වභාවය.

    ගෙදර දොරේ ,දරුවන්ගේ වැඩකටයුතු සියල්ලම වගේ ලෙඩක්, දුකක්, කරදරයක් නැතුව මගේ අත්දෙකෙන් උපරිම හොඳින් කරගන්න පුළුවන් වෙන්න කියන එක අවුරුද්ද ලබද්දීම හැංගි හැංගි එබිකම් කරන පුංචි බයකුත් එක්ක එතිලා ඔබේ හිතට එන ලොකුම බලාපොරොත්තුව. ඔබ දවසක් දෙකක් අසනීප වුණොත් ඔබේ ගෙදර කටයුතු අඩාල වෙන හැටි ඔබ හොඳින්ම දන්නවා... එතකොට ලොකු අසනීපයක් ඇති වුණොත්?... හිතා ගන්නත් බැහැ නේද? දිනපතා වෙලාවට සමබල ආහාර වේලක් ගන්න... දිනපතා විනාඩි 30ක් වත් සුළු ව්‍යායාමයක නිරතවෙන්න... අවුරුද්දකට වතාවක්වත් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙන්න... උසට සරිලන බර පවත්වගන්න මහන්සි ගන්න... පිරිසිදුවට ලස්සනට අඳින්න... කොණ්ඩෙට තෙල් සාත්තුවක් කරගන්න... මුහුණට ෆේෂල් එකක් කරගන්න... වෙලාවක් හොයාගන්න. දරුවන් ලැබූ පසුත් හැඩ සිරුරක් ඇති නිරෝගී ලස්සන බිරිඳක් ඉන්න එක ගැන ඔබට නොකිව්වට ඔබේ සැමියා ආඩම්බර වෙන බවත්... ඉස්කෝලෙට යද්දී පන්තියට යද්දී මට ඉන්නේ ලස්සනට පිළිවෙළට පිරිසිදුවට ඉන්න අම්මෙක් කියල ආඩම්බරෙන් ඔබව ඉස්සර කරගෙන යන්න දරුවෝ ආස බවත් සිහි තබාගන්න.

    වෙලාවට සර්විස් නොකළ... සාත්තුවක් පරෙස්සමක් නැති මැෂින් එකක් ටික කලක් යද්දී නිතර පොඩි පොඩි ලෙඩ දෙන්න ගන්නවා වගේ ඔබේ ශරීරයත් පොඩි පොඩි ලෙඩ දෙන්න පටන් ගන්න කලින් සාත්තුව පටන් ගන්න. ලොකු වියදමක් ඕනේ නැහැ... අනිත් වැඩ කටයුතු එහෙ මෙහෙ කරලා වෙලාවක් හොයාගන්න බලන්න...වෛද්‍ය පරීක්ෂණයකට යන වියදමට වඩා, මැඩපවත්වා ගන්න... බෙහෙතකින් සුව වෙන්න හැකි සුළු රෝගබාධයකට හදිසි බයිපාස් එකක් හදිසි සැත්කමක් කරන්නට සිදුවීම ඔබේ පවුලේ සාමාන්‍ය ජිවිත ගලා යෑම කිහිප ගුණයකින් පහුබස්වන්නට හැකි නිසා ඒ බව අවබෝධ කරගෙන වෛද්‍ය පරීක්ෂණයකට මුදලක් වැය කරන්න ලෝබ හිතන්න එපා. ගෙදර හැමෝගෙම ජීවිතවල ජීවනාලිය ඔබ නම් ඔබ සුවෙන් සිටීම අනිවාර්ය අවශ්‍යතාවයක්. මේ පුංචි උත්සාහය මේ අවුරුද්ද ගෙවිලා ලබන අවුරුද්ද ලබද්දී ඉලක්කම විතරයි වෙනස් උනේ ”‍ඔබ ඒ වගේමයි”‍ කියන තැනට ඔබව පත් කර තිබේවි. පවුලක සතුට උපදවන්නේ අම්මා... සතුටින් ජවයෙන් ප‍්‍රබෝධයෙන් ඉන්න අම්මා ඒ නිවැසි සියලූ‍දෙනාගේ ජිවිත ආලෝකමත් කරමින් ඒ සතුට ජවය ආලෝකය කාන්දු කරවනවා.

    කායික ප‍්‍රබෝධය හා සුවය වගේම මානසික සුවබරතාවයටත් තරමක් මහන්සි වෙන්න. සතුටින් .. ආදරෙන් ඉන්න දවසට වෙනදාට වඩා දෙගුණයක වැඩ රාජකාරි මහන්සියක් නොදැනී කෙරෙන අපුරුව අත්විඳින්න. කාර්යබහුල ජීවිතේ ඇතුළේ ඔබේ ආදරණීයයන්ට වැඩිපුර කාලයක් දෙන්න. ගිය අවුරුද්දට වඩා දුවා දරුවන් වැඩිපුර සිප වැළඳගන්න... හැමදාම පුතාලගේ අප්පච්චි ඔපිස් යද්දී ඉස්සර වගේ බෙල්ලේ එල්ලිලා නළලට හාදුවක් දෙන්න... නිතර අම්ම අප්පච්චි බලන්න යන්න... නංගිගේ අයියා ගේ දරුවෝ එක්ක ගතකරන්න කාලයක් හොයාගන්න... දවසට එක වේලක් හරි ගෙදර හැමෝම එකට කෑම වේලක් ගන්න... නාඳුනන කෙනෙක්ට උදේට හිනා වෙලා ගූඞ් මොර්නින්් කියන්න... බස් එකේදී කාට හරි සීට් එක දෙන්න... ට‍්‍රැෆික් එකේදී තව එක වාහනේකට ඉඩ දෙන්න... ත‍්‍රීවිල් එකෙන් බහිද්දී ත‍්‍රීවිල් මල්ලිගේ මූණ දිහා බලල ස්තුතියි කියන්න... මාසෙකට දවස් දෙක තුනක් බත් එකක් ඔතාගෙන ගිහින් අසරණ කෙනෙකුට දෙන්න... මේ එකක්වත් සතපහක් වැය නොවෙන... කම්මැලිකම නිසා යටපත් වුණු දේවල්... ඒත් මේ දේවල් වලින් ජීවිතේට ලැබෙන නවමු ප‍්‍රසන්න බව... සැහැල්ලූ‍ සතුට මෙතෙකැයි කියන්න බැහැ.

    ආදරය හා සතුටත් වතුර වගෙයි... ගලන්නේ වැඩි තැන සිටයි. තමන් තමන්ට ආදරේ නැති කෙනෙකුට තවත් කෙනෙකුට ආදරේ කරන්නට බැහැ. ඉතින් පවුල පුරා ආදරය, සතුට, ජවය දෝරේ ගලන්නට නම් ඔබ සතුටින්, නිරෝගීව, ජවයෙන් ඉන්න. උදාවූ නව වසර ඔබේ සියලූ‍ යහපත් පැතුම් සඵල කරගන්නට, පවුලේ ජය හා සතුට වෙනුවෙන් වෙහෙසෙන්නට අප‍්‍රමාණ ශක්තියක් ලැබෙන යහපත් ජයග‍්‍රාහී නිරෝගී වසරක් වේවා.


    දීපිකා දිල්රුක්ෂි ගුණසේන විසින් ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    ඔබෙ සිත ඔබව 2018 සිට 2019 දක්වා ගෙන යනමුත් ඇත්තටම හැමදාම පායන්නේද එකම ඉරය.....
    සම්මතය ඔබව මත් කරනවා පමනි...
    කෙසේමුත් ...එම සම්මතය ..නිවනට උපනිස්සය කරගැනිමට සැමට හැකිවෙවා....

    මනෝ පුබ්බංගමා ධම්මා
    මනො සෙට්ඨා මනොමයා......
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ආදරය හා සතුටත් වතුර වගෙයි... ගලන්නේ වැඩි තැන සිටයි. තමන් තමන්ට ආදරේ නැති කෙනෙකුට තවත් කෙනෙකුට ආදරේ කරන්නට බැහැ. ඉතින් පවුල පුරා ආදරය, සතුට, ජවය දෝරේ ගලන්නට නම් ඔබ සතුටින්, නිරෝගීව, ජවයෙන් ඉන්න.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,453
    113
    Piliyandala
    අලුත් බලාපොරොත්තු හිතේ තියාගෙන නව වසරට පිය නගන්න.