දකුණු ආසියාවේ, ඉපදුණු මිනිසුන්ට හිතන්න පුළුවන්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,622
    102,987
    113
    සංශයවාදයේ භාරතීය කථාව - 1 කොටස

    පෙරදිග, විශේෂයෙන්ම මේ දකුණු ආසියාවේ, ඉපදුණු මිනිසුන්ට හිතන්න පුළුවන්ද? ලංකාවේ ඉන්න බොහෝ දෙනා දන්නේ නැති වුණාට මේක අදවන විට බරපතල දාර්ශනික ප්‍රශ්නයක්. දර්ශනය පිළිබඳ අබමල් රේණුවක්වත් නොදන්නා කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේක මොන විකාර ප්‍රශ්නයක්ද, ඕන මිනිසෙකුට හිතන්න පුළුවන් නේ, ඉතිං දකුණු ආසියාවේ ඉපදුණු මිනිසුන්ට විතරක් හිතන්න බැරි වෙන්නේ කොහොමද කියා. නැහැ, ඒ තරම් ළපටි විදිහට මේ ප්‍රශ්නය තේරුම් ගත යුතු නැහැ. ඒක මෙහෙමයි.

    මිනිසුන් කොහොමත් හිතනවා. කන්න ගියත්, බොන්න ගියත් රෙන්න ගියත් අප හිතල තමයි කටයුතු කරන්නේ. ඒත් ඒ විදිහේ ඕනෑම හිතීමක් ගැන නෙවේ මේ කියන්නේ. මේ කියන්නේ, යම් ගැටලුවක් පිළිබඳව හේතු සාධක පැහැදිලි කරගනිමින් (අප කතාවට කියන්නේ තර්කානුකූලව හිතනවා කියා, ආන්න ඒ විදිහට) හිතන්න පුළුවන්ද කියන කාරණය තමයි මේ අහන්නේ.

    එතකොටත් ඔබ හිතාවි, ඔව් නේ, අපි එහෙම හිතනවා නේ කියා. නැහැ, ඒක එහෙමම නෙවේ. ෂොපන්හෝවර් පෙන්වා දෙන පරිදි මේ විදිහට හිතන පොදු අවබෝධයෙන් එහා ගිය චින්තනයක් (හිතීමක්) තියෙනවා. ඔහුට අනුව (1) සාමාන්‍යයෙන් මිනිසුන් හිතනවා කියා කරන්නේ මෙහෙම දෙයක්. කාලාන්තරයක් තිස්සේ අප ජීවත් වුණු, අපේ ආදිතමයන් ජීවත් වුණු සමාජ සංස්කෘතික පරිසරය තුළ අපගේ ඔළුවලට ඔබල තියෙන අදහස්, මතවාද, විශ්වාස, ඇදහිලි වගේ දේවල් බොහෝමයක් තියෙනවා. ඉතිං අප, දැනුමෙන්, තාක්ෂණයෙන් සහ නව සොයාගැනීම්වලින් ඉදිරියට යද්දී කල්පනා කරනවා ඒ අපට ලැබිල තියෙන අදහස්, මතවාද ආදියට ශක්තිමත් තාර්කික පදනමක් හදලා ඒවා ඉතා බුද්ධිමත් කියල පෙන්වන්න. සමහරුන් ඒවා විද්‍යාව, තාක්ෂණය සහ නව සොයාගැනීම් සමග ගළපමිනුත් කරනවා. ආසියාතික රටවල (ලංකාවද ඇතුළුව) ඉන්න බොහෝ උගතුන් PhD කරනවා කියා කරන්නේ මේක. යම් උගත්කමක් ඇති, “අඩෝ, මේක තමා අපේ චින්තනය” කියා පාරම්බාන උදවියත් බොහෝ විට කරන්නේත් මේක. ඉහත අහපු ප්‍රශ්නයේ “හිතනවා” කියන්නේ මේ තේරුමින් නෙවේ. (2) දාර්ශනිකයාගේ හිතීම මීට වඩා වෙනස්. දාර්ශනිකයෙකු උත්සාහ කරන්නේ නැහැ දැනටමත් ඔළුවට වැටිල තියෙන දේවලට තාර්කික පදනමක්, විද්‍යාත්මක පදනමක් දාන්න. ඔවුන් හිතන්නේ “මගේ ඔළුවට දාලා තියෙන දේවලින් එහෙම නැතිනම් මං මේ ඇත්තයි කියා කරගහගෙන යන දේවලින් කොයිතරම් නම් දෙයක් ඇත්තද, ඒවා ඇත්ත නම් මං ඒ ගැන දැන ගන්නේ කොහොමද, කොයි තරම් දුරට මට තහවුරු කර ගන්න පුළුවන් ද ඒවා නිවැරදි බව.” මෙන්න මේ හිතනවා කියන තේරුමින් තමා අර උඩ ප්‍රශ්නය අහන්නේ දකුණු ආසියාවේ මිනිසුන්ට හිතන්න පුළුවන්ද කියා. (එහෙම බැලුවාම නම් දකුණු ආසියාවේ ඉන්න උදවියට හිතන්න බැහැ තමා කියා කියන පිරිස ලංකාවේත් ඕනෑ තරම් ඉන්නවා. මං මේ ලිපිය ලියන්නේ ඒක එහෙමම ද කියා නැවත හිත්තන කරන ආරාධනයක් වශයෙන්)

    සාමාන්‍යයෙන් සංශයවාදය කියා අදහස් කරන්නේ “සැක කිරීමේ ක්‍රියාවලිය” හෝ එයට බද්ධ වුණු චින්තනධාරාව. මේ විදිහට ගත්තාම ඕනෑම දෙයක් පිළිබඳ ඇති වන සැකයත් එය ප්‍රශ්න කිරීමත් සංශයවාදයක් ලෙස සලකන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කොට මේ පදය භාවිත කිරීමේ වරදක් ඇත්තේ නැහැ. ඒත් දර්ශනයේදී, විශේෂයෙන්ම ඥානමීමාංසාවේදී, මේ පදය භාවිත කරන්නේ දැනුමේ පදනම කුමක්ද, අපට කොයි තරම් දුරකට අප ලබා ගන්නා දැනුම ගැන නිශ්චිත බවක් ඇති කර ගත හැකිද යනාදී ප්‍රශ්න කිරීම් කරන චින්තනධාරාවක් අරබයායි. මෙම ලවලේඛයේදී මං මේ පදය භාවිත කරන්නේ මෙන්න මේ සීමිත තේරුමින් බව කරුණාවෙන් සලකන්න.

    එහෙම සීමිත අර්ථයෙන් ගන්නේ පුළුල් අර්ථයෙන් එය දකුණු ආසියාතික චින්තනයට දාගන්න බැරි නිසා නෙවේ. අජිත කේශම්බිලින්, චාර්වාක/ලෝකායත චින්තකයන් පව්, පින්, විඥානයේ හට ගැනීම, නැවත උත්පත්තිය, මේ ලෝකයේ සිට පරලෝකයට පින් යැවීම වගේ බොහෝ දේවල් සැක කරමින් ඇතැම්විට ඒවා උපහාසයට නඟිමින් කටයුතු කළ ආකාරය එක් උදාහරණයක් පමණයි. මේවා මේ ශ්‍රමණ සම්ප්‍රදායයට හෝ භෞතිකවාදී චින්තකයන්ට පමණක් ආවේණික වූ දේවල් නෙවේ. උදා. කෘෂ්ණ යජුර්වේදයට අයත් තෛත්තිරීය සංහිතාවේ (6.1.1.1) අපට හමුවෙනවා පරලොවක් ඇතිද නැතිද යන්න ගැන සැක පහළ කරන අවස්ථාවක්. යාස්ක නිරුක්තශාස්ත්‍රයේදී (1.15-16) හමුවෙනවා විවාදයක් මන්ත්‍රවල තේරුමක් තියෙනවාද නැද්ද කියන කාරණය අරබයා. (නැකත් බැලීම ගැන ඓතරේය ආරණ්‍යකයේදී ප්‍රශ්න කළ තැනක් මතකයි. දැන් මට මූලාශ්‍රය මතකෙට එන්නේ නැහැ.) මෙවා බොහෝමයක් බුද්ධකාලයේ හෝ ඊට තරමක් පෙර සිදුවුණු දේවල්. ඉතිං මේ හැමදේම ගැනම ලියන්නේ නැතිව, සාමාන්‍යයෙන් සංශයවාදය කියා පිළිගන්නා දැනුම ප්‍රශ්න කිරීමේ භාරතීය දාර්ශනික ඉතිහාසය ගැන විතරයි මං අද මේ ලියන්නේ.

    එහෙම බැලුවාම ඒ ඉතිහාසය අපට පටන් ගන්න වෙන්නේ ඍග්වේදයේ නාසදීය සූක්තයෙන් (10.129). මැතැනදී ඇත්තටම ප්‍රශ්නය මතු කරන්නේ මැවීම පිළිබඳව මිනිසාට ඇති විය හැකි දැනුම ගැන. ඉතාම සරලව කතාව මේකයි. මේ විශ්වය දෙවිකෙනෙකු මැව්වා නම් එහෙම මැව්වා කියන්න මිනිසාට ඥානයක් ලැබෙන්නේ කොහොමද? මේ සමස්ත විශ්වයේම පළමු ජීවියා මැවෙන කොට විශ්වය මැවිල ඉවරයි. මේ නිසා ඒ පළමු තැනැත්තා දන්නේ නැහැ කවුන් හරි විශ්වය මැව්වාද එහෙම නැතිනම් වෙන විදිහකට හැදුණාද කියන්න.

    අතිනුත් කෑල්ලක් දාලා කියනවා නම්, මැවීම පිළිබඳව යම් දැනුමක් කටවහරින් හෝ අරන් එන්න නම් මුලින්ම ඒක අත්විඳපු කෙනෙකු ඉන්න ඕනේ. එහෙම කෙනෙකු ඉන්න විදිහක් නැහැ. හිටියා නම් එයා මේ සමස්තය මැවීමට පෙර බිහි වුණු කෙනෙකු වෙන්න ඕනේ. එහෙම දෙයක් වෙන්නත් බැහැ මොකද විශ්වයේ කිසිවක් හට ගෙන නැතිනම් ඒ පළමු තැනැත්තාට බිහි වෙන්න අවශ්‍ය කාලය හෝ අවකාශය සෑදී නැහැ. ඉතිං මේ නිසා, අනිවාර්යයෙන්ම පළමු ජීවියාගේ බිහි වීම විශ්වයේ බිහිවීමට පසුව සිදුවෙන්න ඕනේ, හැබැයි එහෙම වුණොත් ඒ තැනැත්තාට කිසිම ආකාරයක විදිහක් නැහැ විශ්වයේ ආරම්භය ගැන දැන ගන්න. මේ සූක්තයේ හමුවෙන තවත් වැදගත් කරුණක් නම් ඍද්ධිමත් කෙනෙකුට ඇතැම්විට ඒ බව දැන ගන්න පුළුවන් වෙයි කියා පවසා අනතුරුව කියනවා සමහරවිට ඒ දන්නේනේත් නැතිව ඇති කියා (යදි වා න වේද).

    මං මේ කතා කරන ඍග්වේද සටහන සාමාන්‍ය පිළිගැනීමට අනුව බුදුහාමුදුරුවන් ඉපදෙන්න වසර සීයකට හෝ දෙසීයකට පෙර සිදුවූවක්. ඉතිං භාරතීය දර්ශනය පටන් ගන්නේ මෙහෙම චින්තනයක් සමග. අපේ සමහරුන් හිතන විදිහේ ළපටි විදිහට නෙවේ.

    ඉතිං මේ විදිහට පටන් ගත්තු භාරතීය සංශයවාදයේ කතාව බුද්ධකාලය වන විට නිකම්ම අතුරුදහන් වෙලා ගියේ නැහැ. පාලි බුදුසමය තුළ බ්‍රහ්මජාල සහ සාමඤ්ඤඵල යන සූත්‍රවල අමරාවික්ඛෙප (අමරාවික්ෂේප?) ලෙසත් ජෛන ශ්වේතාම්බර සමය තුළ සූත්‍රකෘතාංගයේ (1.12) අඥානික ලෙසත් හඳුන්වන සංශයවාදීන් පිරිස අපට හමුවන්නේ මෙතැනදී.

    අවාසනාවට අපට මෙම චින්තකයන්ගේ මුල් කෘති අදවන විට දකින්න ලැබෙන්නේ නැහැ. අපට දකින්න ලැබෙන්නේ බෞද්ධ සහ ජෛන කෘතිවල එන සටහන් පමණයි. මෙම අමරාවික්ෂේප සහ අඥානික ලෙස හඳුන්වන්නේ එකම පිරිසක් බවයි බොහෝ දෙනාගේ පිළිගැනීම. බුද්ධකාලයේ සිටි බවට අදහස් කරන සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත නම් වූ චින්තකයා මෙම මතයේ ආරම්භකයා නැතහොත් ප්‍රවර්තකයා ලෙස දැක්වෙනවා. සැරියුත් මහරහතුන්වහන්සේගේ මුල් කාලීන ගුරුවරයා වූ සඤ්ජය පරිව්‍රාජකයා මොහුම ද කියා කියන්න තරම් ප්‍රමාණවත් සාධක නැහැ. ඒත් පොදු පිළිගැනීම තියෙන්නේ එහෙම. බෞද්ධ සහ ජෛන ග්‍රන්ථවල දැක්වෙන විදිහට මෙම සඤ්ජය නම් තැනැත්තා බුද්ධකාලයේදීම මිය ගොස් ඔහුගේ චින්තන සම්ප්‍රදායයත් ඒ සමග අවසන් වෙනවා. ඒත් වර්තමානයේ ඇතැම් උගතුන් වෙනත් මතයකුත් දරනවා. ඒ තමයි සඤ්ජයගේ අනුගාමිකයන් සුප්පියවරුන් ලෙස තවත් සියවස් කීපයක්ම ජීවත් වී තිබෙනවා කියා පිළිගැනීම. අශෝක අධිරාජයා මෙම සුප්පියවරුන්ට ආරාමයක් පවා සකස් කර දී තිබෙනවා.

    පාලි සූත්‍රවල දැක්වෙන තොරතුරුවලට අනුව බැලුවත් සූත්‍රකෘතාංගටීකාව ලියූ ශීලංකපාදයන්ට අනුව බැලුවත් මෙම චින්තකයන් දැරූ මතය වන්නේ හොඳ, නරක වැනි සදාචාරාත්මක ඇගයුම්වලට අනුබලය දෙන නිශ්චිත පදනමක් අපට දැන ගන්න බැහැ යන්නයි. ඒ අනුව ඔවුන් කරන්නේ ඒකාන්ත වශයෙන් පළකරන කිසිම පාරභෞතික අදහසක් පිළිගන්නනේ නැතිව ඉන්නවා. උදා. ලෙස පරලොවක් තියෙනවා ද නැද්ද කියා ඒකාන්ත වශයෙන් දැන ගන්න ක්‍රමයක් නැත්තං ඒක තියෙනවා කීමත් නැහැ කියා කීමත් දෙකම වැරදියි. ඉතිං ඔවුන් කළේ මේ විදිහට ඒකාන්ත අදහස්වලට නොයා සිටීම.

    අවාසනාවකට අපට මීට වඩා යමක් ඔවුන් ගැන කියන්න බැහැ. හැබැයි අපට අනුමාන කළ හැකි දෙයක් තියෙනවා. ඒ තමයි ඔවුන් කිසිදු ඥානයක්/දැනුමක් නැහැ, සියලු ආකාරයේ දැනුම්වලට කිසිම පදනමක් නැහැ වගේ අන්තවාදී සංශයවාදයක සිට නැහැ. ඇතැම් විට ඔවුන්ගේ දේශනා තුළ පින්, පව්, නැවත ඉපදීම, අපාය, දිව්‍යලෝකය වගේ සංකල්ප නැතිව එදිනෙදා ජීවිතයේ අප මුහුණ දෙන යථාර්ථය තේරුම් ගෙන ජීවත් විය යුතු ආකාරයක් කියා දුන්නා විය හැකියි. “සුප්පිය” කියන පදය යොදන්නේ යහපත් මිතුරන්ව ආමන්ත්‍රණය කරන්න. ඒ අනුව ඔවුන් සමාජයට හිතවත් පිරිසක් ලෙස ජීවත් වූ බව අපට කල්පනා කරන්න පුළුවන්.

    භාරතීය දර්ශනය සාමාන්‍යයෙන් පවත්වාගෙන ආවේ ගුරුකුල හැටියට. චාර්වාක නැතිනම් ලෝකායත සම්ප්‍රදායයත් එබඳු ආජීවික ගුරුකුලයක් ලෙස 12 සියවස දක්වාම තුබුණු බවට හිතන්න කරුණු තියෙනවා. ඒත් කවමදාකවත් සංශයවාදය ගුරුකුලයක් ලෙස එක දිගට පවත්වාගෙන ඇවිත් නැහැ. සුප්පියවරුන් ගැන වුණත් අශෝක කාලයෙන් පසුව අපට දැන ගන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා, සංශයවාදය පසුකලෙක භාරතීය දර්ශනය තුළ ඉස්මතු වන්නේ අනෙකුත් සම්ප්‍රදාය ඇතුළේ අතුරු ශාඛාවක් විදිහට. මේ විදිහට භාරතීය සංශයවාදය බිහි කළ ප්‍රමුඛතම දාර්ශනිකයන් තුන්දෙනා බිහි වන්නේ බෞද්ධ, ලෝකායත සහ අද්වෛත වේදාන්ත කියන දර්ශන සම්ප්‍රදායන් තුන ඇතුළේ. මං ඒ ගැන ලියන්නම් දෙවන ලිපියෙන්.

    බර්ට්‍රම් ජී. ලියනගේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,622
    102,987
    113
    සංශයවාදයේ භාරතීය කථාව - 2 කොටස

    බටහිර සංශයවාදය පිළිබඳ කතාව අප ග්‍රීසිය දක්වා අරගෙන ගියහොත් එහිදී අපට ප්‍රධාන ශාඛා දෙකක් හමු වෙනවා. එකක් පිරෝනීය සංශයවාදය, අනෙක ඇකඩමීය සංශයවාදය. මෙතැනදී මේ ඇකඩමීය කියා කියන්නේ ශාස්ත්‍රාලයීය කියන තේරුමින් නෙවේ. ප්ලේටෝගේ “ඇකඩමිය තුළ බිහි වූ” කියන තේරුමින්. මේ දෙකේ වෙනස මේකයි. පිරෝනීය සංශයවාදය ක්‍රියාත්මක වන්නේ නිශ්චිත දැනුමක් තියෙන්න බැහැ කියන අදහස තුළ පිහිටා. ඒ අනුව ඔවුන් එබඳු නිශ්චිත දැනුමක් තියෙන බව කියැවෙන හැම දෙයක්ම ප්‍රශ්න කරනවා. අවසානයේදී දැනුමේ පදනම මේකයි කියා පෙන්වා දෙන්න හදන හැම දෙයකම අනිශ්චිත බව පෙන්වා දෙමින් තමුන්ගේ අදහස තහවුරු කරනවා. භාරතීය දර්ශනයට අනුව මේක විතණ්ඩවාදී ක්‍රමයක්.

    ඇකඩමීය සංශයවාදය ආරම්භ වන්නේ දැනුමට නිශ්චිත පදනමක් තියෙන්න පුළුවන් නම් ඒක මොකද්ද කියා හොයා බලනවා කියනවා අදහසින්. හැබැයි මෙතැනදීත් අවසානයේදී වෙන්නේ මේ නිශ්චිත පදනම සනාථ කර පෙන්වන්න බැහැ වගේ තැනකින් සාකච්ඡාව අවසන් වීම. බැලූබැල්මටම සිදුවන්නේ එකම දේ වුණාට ඔවුන් ඒ සඳහා ප්‍රවිශ්ට වෙන්නේ වෙනස් මානයන්ගෙන්. පසුකාලීනව මතු වන කාටිසීය සංශයවාදයත් මෙම ඇකඩමීය සංශයවාදයේම දිගුවක් තමා. රෙනෙ ඩේකාට්ගේ සැක කිරීම පිළිබඳව ඔබ දන්නවා ඇතැයි හිතනවා. නැතත් මේ ඒක ලියන්න වෙලාව නෙවේ.

    භාරතීය සංශයවාදය ඉහළට ඔසවා තැබූ නාගාර්ජුන හාමුදුරුවන්, ජයරාශිභට්ටයන් සහ ශ්‍රීහර්ෂපාදයන්ගේ දර්ශනය ගැන කතා කරද්දී 20 සියවසේ උගතුන් සියලු දෙනා උත්සාහ කළේ ඔවුන්ව මේ පිරෝනීය හෝ ඇකඩමීය කියන කඳවුරු දෙකින්න එකකට තල්ලු කර දාන්න. දැනුත් ඉඳල හිටල එහෙම උත්සාහ කරන කෙනෙකු දෙදෙනෙකු නැතිවා නොවේ. ඒත් මගේ කල්පනවා නම් ඒක ඔවුන්ගේ දර්ශනය වරදවා තේරුම් ගැනීමක්. අනෙක් අතට බටහිර රාමුවකට වැටෙනවා නම් විතරයි ඒක දර්ශනය වෙන්නේ නැත්තම් ඒක ආගමික ඇදහිල්ලක් වගේ හිතා ඉන්න යටත්විජිත මානසිකත්වය මං මෙතැනදී පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.

    නාගාර්ජුන, ජයරාශි සහ ශ්‍රීහර්ෂ කියන්නේ සම්ප්‍රදාය තුනකින් පැවැත එන අය. මේ නිසා මේ තුන්දෙනාටම පොදු එක ලක්ෂණයක් පෙන්වන්න කියා කීම වැරදි ප්‍රශ්නයක්. ඒත් මේ තුන්දෙනාවම සංශයවාදීන් ලෙස හඳුන්වන්න බලපාන පොදු හේතුවක් තියෙනවා. ඒ තමයි මේ තුන්දෙනාම ඥානය (මේ කියන්නේ cognitive episode කියන තේරුමින්) ලබා ගැනීම (ප්‍රමාණ) සහ එය දැනුමක් (ප්‍රමා/ප්‍රමාණ්‍ය - knowledge) බවට පත් කර ගැනීම කියන කරුණුවලට අදාළ විග්‍රහයන් නිවැරදිද කියා ප්‍රශ්න කිරීමත් ඒවා ප්‍රතික්ෂේප කිරීමත් සිදුකරනවා කියන හේතුව.

    නාගාර්ජුන හාමුදුරුවන්ගේ මූලමධ්‍යමකකාරිකාව ගැන දැනට සිංහලයෙන් ලියැවී තිබෙන පරිවර්තන සියල්ලම පාහේ විවිධ අඩුපාඩු සහිත ඒවා. ඒ නමුත් ඒ පරිවර්තන හරහා ලාංකේය පාඨකයා අදාළ කෘතිය ගැනත් එහි අන්තර්ගතය ගැනත් යම් පමණකට ඉගෙන ගෙන තියෙන බව මං විශ්වාස කරනවා. ඒත් නාගාර්ජුන නම් වූ සංශයවාදීයා මතුවන්නේ මෙම කෘතියෙන් නෙවේ. උන්වහන්සේගේ සංශය චින්තනය මතුවන්නේ “විග්‍රහව්‍යාවර්තනී” සහ “වෛදල්‍යප්‍රකරණ” කියන කෘති දෙකින්. ඉතිං මං මේ ලියන්නේ මේ කෘති දෙකට අනුව.

    නාගාර්ජුන හාමුදුරුවන්ගේ ප්‍රධානම තර්කය බිහි වෙන්නේ ප්‍රමාණ සහ එහි ඵලය එකිනෙකාගෙන් වෙන්ව තනිව පවතින්නේ කෙසේද කියන කාරණයත් සමග. ප්‍රමාණ කියන්නේ “නිවැරදි ඥානය ලබා ගැනීමේ මාර්ගය” නැතිනම් “ක්‍රමය.” ප්‍රමා කියන්නේ ඒ ඔස්සේ ලබා ගත් “නිවැරදි ඥානය.” යම් ඥානමාර්ගයක් නිවැරදි ඥානමාර්ගයක් බව අප දැන ගන්නේ කොහොමද නිවැරදි ඥානය නම් වූ ඵලය බිහි වෙන්නට පෙර? නිවැරදි ඥානය ලබා ගත්තාට පසුව අතීතයට බලපාන පරිදි කල්පනා කොට අපට හිතන්න පුළුවන් ‘මං මේ ලබා තිබෙන්නේ නිවැරදි ඥානයක්’ මේ නිසා මේ ඥානය ලබා ගැනීමට උපකාර වුණු මාර්ගයත් නිවැරදි ඥාන මාර්ගයක් කියා. ඒක එහෙම නම් ඒ මාර්ගය අත්විඳින මොහොතේ අප දන්නේ නැහැ ඒක නිවැරදි ඥානමාර්ගයක් බව. ඉතිං අප දන්නේ නැතිනම් මාර්ගය නිවැරදි ඥාන මාර්ගයක් බව එයින් ලැබෙන ඵලය නිවැරදි ඥානයක් බව අප දැන ගන්නේ කොහොමද? ඉතිං අප කියනවා නම් ඥානයේ නිවැරදි බව තහවුරු කරගන්න අපට වෙනත් ඥානයක් අවශ්‍ය වෙනවා කියා, එතකොට එ් (දෙවන) ඥානය නිවැරදි බව අප දැන ගන්නේ කොහොමද? මේ විදිහට කෙළවරක් නැතිව ගියැහැකියි.

    මේ තර්කයම මතු කරන වෙනත් ක්‍රමත් තියෙනවා. උදා. ලෙස, ඥානමාර්ගයට මාර්ගයක් කියන්නේ ඵලය නිශ්පාදනය කරන නිසා නම්, ඵලය නිශ්පාදනය කිරීමට පෙර ඒක මාර්ගයක් ලෙස නම් කරන්නේ කොහොමද? ඒක ‘මාර්ගය’ කියා නම් කරන්න බැරි නම් එයින් ඵලය බිහි වුණා කියා කීමේ ඇති තේරුම කුමක්ද?

    උන්වහන්සේ ඥානය පිළිබඳ මේ මතු කරන කාරණය මෙතැනින් පටන් ගෙන තවත් ඉදරියට යනවා. ඒත් සැකය හෙවත් සංශය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගන්න මේ ප්‍රමාණවත් බව මං විශ්වාස කරනවා. මෙහිදී කෙනෙකුට හිතෙන්න පුළුවන් නාගාර්ජුන හාමුදුරුවන්ගේ මේ චින්තන ක්‍රමය පිරෝනීය සංශයම තමා කියා. මොකද උන්වහන්සේගේ කාලයේදීමත් ප්‍රතිවාදීන් උත්සාහ කළා “ඔබ P අසත්‍යයි කියනවා නම් P-අසත්‍යයි යන්න සත්‍යයයි” කියා පිළිගත යුතුයි වගේ තැනකට නාගාර්ජුන හාමුදුරුවන්ව හසු කරන්න. ඒත් උන්වහන්සේ තමුන්වහන්සේ තුළ එවැනි ‘ප්‍රවාදයක්’ නැතැ’යි කියමින් ඒ බව ප්‍රතික්ෂේප කළා. මේවා බොහෝ කොටම පිරෝනීය සංශයවාදයට සහ මුල් ලිපියේ කතා කළ සඤ්ජයගේ චින්තනයට අනුව යන මතවාද.

    එහෙත් නාගාර්ජුන හාමුදුරුවන්ගේ සංශය එතැනට යන්නේ නැහැ. ව්‍යවහාරික ලෝකයක් තුළ අප එදිනෙදා ජීවිතයේදී හොඳ, නරක, හරි, වැරදි, සත්‍යය අසත්‍යය ආදිය තේරුම් ගන්න බවත් ඒ අනුව ජීවත් වන බවත් උන්වහන්සේ පිළිගන්නවා. මෙතැනදී උන්වහන්සේ දරන්නේ මෙහෙම අදහසක්. මට ඉදිරියෙන් සිටින මේ P ඉන්නවාද, එහෙම ඉන්න බව මට නිශ්චිතව දැන ගන්න පුළුවන්ද වගේ ප්‍රශ්නවලට ඒකාන්ත පිළිතුරු දෙන්න බැරි වුණාට එහෙම කෙනෙකු ඉන්න බව මට උපකල්පනය කරන්න පුළුවන් මොකද මං ඒ බව ඍජුව අත්විඳින නිසා. මෙන්න මේ “උපකල්පනය” මත පදනම්ව මට ඒ තැනැත්තා සමග කතා කරන්නත් ගනුදෙනු කරන්නත් පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් නොපෙන්වා හංගා දැමූ (සංවෘති) සත්‍යය කියන්නේ එහෙම දෙයක්. තවත් විදිහකින් කියනවා නම් මේක බොරුවක් බව අප දන්නවා, ඒ දැනගෙන ඒක ඇතුළේ අපට පවතින්න පුළුවන් විදිහේ කතාන්දරයක් ගොඩ නඟා ගන්නවා. ඒ අනුව ලෝකයේ සියලු දෙනාට සංවෘති ජීවිතයක් ගැන කතා කරන්නත්, සංවෘතිය මත පදනම් වූ ඥානයක් ගැන කතා කරන්නත් බාධාවක් නැහැ.

    මේ නිසා අප තේරුම් ගන්න ඕනේ භාරතීය දර්ශනය තුළ බිහි වුණ සංශයවාදය බිහිවන්නේ ග්‍රීක දර්ශනය පාදක කරගෙන ම නෙවේ. එය භාරතීය චින්තනයේම ප්‍රතිඵලයක්. එහෙම ග්‍රීක බලපෑමක් ලැබුණා නම් නාගාර්ජුනයන්ගේ කාලය වන විට අපට සාධක හමුවෙන්න ඕනේ.

    ජයරාශිභට්ටයන් සහ ශ්‍රීහර්ෂපාදයන් ඇත්තටම කරන්නේ මේ නාගාර්ජුන හාමුදුරුවන්ගේ සංශයවාදයම වෙනත් මානයන් දෙකකට ගෙන යාම. එතැනදී ජයරාශි පඬිතුමා මාධ්‍යමික චින්තන ක්‍රමයට සෑහෙන්න සමීප වන අතර ශ්‍රීහර්ෂ පඬිතුමා සමීප වන්නේ යෝගාචාර විඥානවාදී ක්‍රමයට. ඇත්තටම අද්වෛත වේදාන්ත කියන්නේ විඥානවාදයක් තමා. ඉතිං ඒ දෙදෙනා ගැනත් ඔවුන් නාගාර්ජුනීය චින්තනයෙන් වෙනස් වන සැටිත් ඊළඟ කොටසින් කියන්නම්.

    බර්ට්‍රම් ජී. ලියනගේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,622
    102,987
    113
    සංශයවාදයේ භාරතීය කථාව - 3 කොටස

    ඔබ මේ ලවලේඛය කියවන්න පටන් ගන්නේ මුලින් ලියූ ලිපි දෙකම කියවීමෙන් අනතුරුව නම් මං අමුතුවෙන් ජයරාශිභට්ටයන් සහ ශ්‍රීහර්ෂපාදයන් ගැන මතක් කරන්න අවශ්‍ය නැහැ කියා හිතනවා.

    ජයරාශිභට්ට පඬිතුමා දකුණු ඉන්දියාවේ ඉපදුණු කෙනෙක්. බොහෝ විට කේරළ හෝ මලයාලම්. ඒ ගැන හරියට කියන්න තරම් සාධක නැහැ. ඔහු ජීවත් වුණේ 9 වන සියවසේ. ඔහු ගැන සහ ඔහුගේ චින්තනය ගැන අපට බොහෝමයක් තොරතුරු හමු වන්නේ ජෛන කෘති හරහා. විශේෂයෙන්ම දිගම්බර ජෛනයන්ගේ (මං වඩාත්ම ප්‍රිය කරන තාර්කික දාර්ශනිකයා වන) අකලංක පඬිතුමාගේ “අෂ්ටශටී” කෘතියට ටීකා ලියූ විද්‍යානන්ද පාත්‍රකේසරීස්වාමී අපට ජයරාශි ගැන කියා දෙන පළමු තැනැත්තා.

    ජයරාශි පඬිතුමාව අප හඳුනාගන්නේ චාර්වාකයන්ගේ පසුකාලීන අනුගාමිකයෙකු හැටියට, නො-එසේනම් ලෝකායත දර්ශනයේ ප්‍රවීණයෙකු හැටියට. ඒත් ඒක ගැන විවිධ මත තියෙනවා. ඒකට හේතුව ඔහු ඉදිරිපත් කරන සංශයවාදය චාර්වාකයන්ගේ භෞතිකවාදයට වඩා තරමක් දරුණු වීම. චාර්වාක ගැන අකලංක සූරී, හරිශ්චන්ද්‍ර සූරී, මාධව ආචාර්ය ආදී ආචාර්යවරුන් කියන හැටියට ඔහු ප්‍රත්‍යක්ෂය පමණක් ඥානය ලබා ගැනීමේ විශ්වසනීය ඥානමාර්ගය ලෙස පිළිගත්තු අයෙක්. ඒ අනුව, චාර්වාක පඬිතුමාට යම් ඥානමය පදනමක් තිබුණා. ඒත් ජයරාශි පඬිතුමා එබඳු පදනමක්වත් පිළිගන්න සූදානම් නැහැ. සාමාන්‍යයෙන් භාරතීය දර්ශනය තුළ ‘ප්‍රත්‍යක්ෂය’ අවතක්සේරු කළ දාර්ශනියන් කීප දෙනෙකු ඉන්නවා. කුමාරිලභට්ට, ප්‍රභාකරභට්ට කියන ප්‍රසිද්ධ මීමාංසකයන් හැරුණු කොට මේ ජයරාශිත් ඒ කීප දෙනා අතර කෙනෙක්.

    වාසනාවකට වගේ අපට ජයරාශිභට්ටයන් ලියූ කෘතිය මුල් සංස්කෘතයෙන් හමු වී තිබෙනවා. කීපවතාවක් බටහිර භාෂාවලට පරිවර්තනය වෙලත් තියෙනවා. මේ නිසා එතුමා ගැන එයා මෙයා කියූ කතා නැතිව කෙළින්ම කරුණු හදාරන්න පුළුවන්. ඔහු ලියූ කෘතිය “තත්ත්වොපප්ලවසිංහ” (=යථාර්ථය බොඳ කරන සිංහයා).

    තත්ත්වෝපප්ලවසිංහයේදී ඔහු අනුගමනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. හිතන්න කිසියම් පුද්ගලයෙකු P කියන නිශ්චිත ප්‍රකාශය කරනවා. මේ ප්‍රකාශය සත්‍යය වීමට නම් එය ඇතුළේ තියෙන අනෙකුත් උපකොටස් (උපධි, ගුණ, ලක්ෂණ ලෙස භාරතීය දාර්ශනිකයන් හඳුන්වන predicate) සත්‍යය වෙන්න ඕනේ. ඒ නිසා, ඔහු කරන්නේ මේ එක උපකොටසක් අරගෙන ඒක සත්‍යය වෙන්න පුළුවන් අවස්ථා මොනවාද කියා විශ්ලේෂණය කරනවා. ඒ එක අවස්ථාවකවත් එ්ක සත්‍යය වෙන්න බැරි නම්, P සත්‍යයයි කියා කියන්න බැහැ. මේ තමයි පළමු ක්‍රමය.

    උදා. හැටියට, න්‍යායසූත්‍රයේ 1.1.4 දැක්වෙනවා “ඉන්ද්‍රිය සහ අර්ථය (එනම් බාහිර වස්තුව) එකහ මුණ ගැහුණාම උපදින ඥානය (1) භාෂාමය අවබෝධයට පෙරාතුව ඇති වේ නම් (අව්‍යපදේශ්‍ය), (2) බාහිර වස්තුවට වඩා වෙනස් නොවේ නම් (අව්‍යභිචාර), (3) නිශ්චිත නම් (ව්‍යවසායාත්මක) එය ප්‍රත්‍යක්ෂය වේ කියා.

    ජයරාශි මෙතැනදී අරගන්නවා, “බාහිර වස්තුවට වඩා වෙනස් නොවේ” කියා අප දැන ගන්නේ කොහොමද කියන කාරණය. උදා. ලෙස අප මිරිඟු දිය දකින විට අප දන්නේ නැහැ ඒ “වතුරු” නෙවේ කියා. ඉතිං හැම තිස්සේම අපට සිදු වෙනවා නම් දෙවන හෝ තුන්වන ඥාන පරීක්ෂාවකට යන්න එතකොට මෙතැන ඇති වන ඥානය ප්‍රත්‍යක්ෂය ලෙස පිළිගැනීමේ ඇති තේරුම මොකද්ද? අනෙක් අතට මේ විදිහට දෙවනුවට ලබන ඥාන පරීක්ෂා නිවැරදි බව අප දැන ගන්නේ කොහොමද?

    ජයරාශි පඬිතුමා අනුගමනය කරන දෙවන ක්‍රමය තමයි, යම් අදහසක් පිළිගැනීම නිසා අනපේක්ෂිත ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන්නට සිදුවන බව පෙන්වීම. දැන් හිතන්න සාමාන්‍ය අදහස් (universal or ideas) ඇත්තටම තියෙනවා කියා පිළිගන්න බව. නෛයායිකයන් එහෙම පිළිගත්තා. එතකොට ජයරාශි ප්‍රශ්න කරනවා, මේ සාමාන්‍ය, විශේෂිත (particular) වූ දෙයින් වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනස් නම්, කොහොමද සාමාන්‍ය යන්න විශේෂිත වූ දෙයක ගුණයක් බවට පත්වෙන්නේ? මොකද ගුණයක් කියන්නේ යම් දෙයක් මත රැඳෙන දෙයක්. සාමාන්‍ය කියන්නේ සියල්ලටම පොදු දෙයක්. උදා. වශයෙන් මා ඉදිරියේ ඇති ගසට මං “ගස” කියා කියන්නේ ලෝකයේ සියලු ගස්වලට පොදු වූ “ගස්-ස්වරූපය” කියා ලෝකයේ තියෙනවා, ඒ ස්වරූපය මේ ගහටත් තියෙනවා, ඒ හින්දයි කියා කියනවා නම්, ඒ ගස්-ස්වරූපය සහ මේ ගහ එකක් වෙන්න ඕනේ. එහෙම වුණොත් සාමාන්‍ය ගස්-ස්වරූපය කියා යමක් තියෙන්න බැහැ, මොකද ලෝකේ තියෙන අනෙක් ගස් මේ ගහ වගේ නෙවේ. එහෙම නෙවේ නම් ගස්-ස්වරූපය මේ ගහේ ගුණාංගයක් කියන කතාවේ තේරුමක් නැහැ. ගස්-ස්වරූපයෙන් එක කොටසක් විතරක් මේ ගහට අදාළයි අනෙක් ඒවා අදාළ නැහැ කියනවා නම් මං ඉදිරියේ ඇති ගහ පූර්ණ ගහක් නෙවේ. ඔය විදිහට දිගින් දිගට ප්‍රශ්න කරගෙන ගිහිං අන්තිමේදී මුල් අදහස පදනම් විරහිත කතාවක් කියා සනාථ කරනවා.

    ජයරාශි පඬිතුමා සහ නාගාර්ජුන හාමුදුරුවන් අතර විශාල සමානකම් තියෙනවා. ඒක මේ ලවලේඛය ඇතුළේ පෙනෙන්නේ නැහැ මොකද මං දිගින් දිගට ඒ චින්තන සම්ප්‍රදායන් විස්තර කර නැති නිසා. මං මෙතැන මේ නිකං ළඟින් ගෑවිගෙන ගියා වගේ කතාවක් ලියන්නේ. ඒත් පැහැදිලිව දැක්විය යුතු එක් වැදගත් සමානකමක් නම් දෙදෙනාම යම් විවාදයක් කිරීමේදී තමුන්ගේ මතය කියා අදහසක් ප්‍රකාශ කර සිටින්න සූදානම් නැහැ.

    ශ්‍රීහර්ෂ කියන්නේ වර්තමාන උත්තරප්‍රදේශ් කියන ප්‍රාන්තයේ අතීතයේ කාන්‍යකුබ්ජ (වර්තමානයේ කන්නෞජ්) ලෙස හඳුන්වන ප්‍රදේශයේ ශ්‍රීහීර කියන බමුණු පඬිතුමාටත් මාමල්ලදේවී කියන බමුණු කාන්තාවටත් ඉපදුණු දරුවා. ඔහු ඉපදෙන්නේ 11 සියවසේ අගභාගයේදී, ජනප්‍රිය වන්නේ 12 සියවසේ මුල භාගයේදී.

    ශ්‍රීහීර පඬිතුමා සේවය කළේ කාන්‍යකුබ්ජයේ රජතුමාගේ මාලිගාවේ උපදේසකයෙකු විදිහට. නෛයායික චින්තනයේ මහපඬිරුවනක් වන උදයන ආචාර්ය කියන්නේ බෞද්ධ, මීමාංසා, වේදාන්ත ආදී සියලු දර්ශනවලට හතර අතේ බැට දීපු චරිතයක්. ඉතිං වතාවක් මේ උදයන පඬිතුමා කාන්‍යකුබ්ජ රජමාලිගාවේදී ශ්‍රීහීරයන්ට අභියෝග කොට පසුව ඔහුව ප්‍රසිද්ධියේ වාද කොට පරාජය කරනවා. තමුන් සේවය කරන මාලිගාවේ තමුන්ට ඉමහත් ගරුබුහුමන් දැක්වූ පිරිස ඉදිරියේ තමුන්ව පරාජය කිරීම නිසා ශ්‍රීහීර පසුව හොඳටම සිත්තැවුලට පත්ව අසනීප වෙනවා. ඒ අසනීපයෙන්ම ඔහු මියැදෙනවා. මරණාසන්න මොහොතේ තම පුතු ශ්‍රීහර්ෂට ඔහු කියන්නේ කොහොම හරි උදයනව පරාජය කරන්න කියායි. ඒත් ශ්‍රිහර්ෂ වැඩිවියට පැමිණ සියලු විෂයයන් හදාරා උදයන ගැන හොයද්දී ඔහු ඒ වන විටත් මිය ගොස්. මේ නිසා, ශ්‍රීහර්ෂ කරන්නේ, උදයන ලියූ කෘති පාදක කරගෙන සමස්ත න්‍යායදර්ශනයම කුඩුපට්ටම් වෙන්න පොතක් ලියනවා.

    වාසනාවකට මේ පොතත් අද වන විට මුල් සංස්කෘතයෙන් හමුවී තියෙනවා. කීපවතාවක් බටහිර භාෂාවලට පරිවර්තනය වෙලත් තියෙනවා. ඒ විතරකුත් නෙවේ, ශ්‍රීහර්ෂගේ මේ කෘතිය ගැනම PhD කළ අයත් ඉන්නවා. පොතේ නම “ඛණ්ඩනඛණ්ඩඛාද්‍ය” (මේ පොතේ නමට යටි අරුතක් තියෙනවා. මතුපිටින් එයින් කියැවෙන්නේ “ඛණ්ඩනය කිරීමේ රස කැවිල්ල” යන්නයි. ඒත් වචනාර්ථය ඇතුළේ කියැවෙනවා, “තොපේ ඛණ්ඩනය කිරීම මං කුඩු කරල කනවා” වගේ පනිවිඩයක්. ඔහු මෙහෙම කියන්නේ උදයන පඬිතුමාට.)

    ශ්‍රීහර්ෂ පඬිතුමාට තියෙන්නේ බොහොම සරල ක්‍රමයක්. කවුරුන් හෝ යම් දෙයක් ඇත, නැත ආදී වශයෙන් කීවාම, එතුමා අහනවා, “කෝ මට ඔය කියන පදය (හෝ යෙදුම) නිර්වචනය කර පෙන්වන්න.” එතනැනි එහාට කරන්නේ අර නිර්වචනය අල්ලාගෙන අනෙකාට (මෙතැනදී නම් න්‍යාය දාර්ශනිකයාට) අම්බානට නෙලනවා.

    යම් පදයක් නිර්වචනය කරන්න නම් නිර්වචනය නොකළ පද කීපයක් බාරගෙන ඉන්න වෙනවා කියන කාරණය බර්ට්‍රන්ඩ් රසල්ට පෙර භාසර්වඥ, ශ්‍රීහර්ෂ සහ පසුව පැමිණි ගංගේෂ උපාධ්‍යායනුත් පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. මෙතැනදී ශ්‍රීහර්ෂ කරන්නේ එහෙම දෙයක් නෙවේ. නිර්වචනයක අවශ්‍යතාව පිළිබඳව නෛයායිකයන් අතර විග්‍රහයක් තියෙනවා. ඔහු පහර දෙන්නේ ආන්න ඒ කාරණයට.

    උදා. ලෙස වාචස්පතිමිශ්‍ර පඬිතුමා කියනවා නිර්වචනයකින් කරන්නේ යම් පදයකට අයත් සාමාජිකයන්ගේ විස්තාරණය නිරූපණය කිරීම කියා. ඒ කියන්නේ “ගහ” කියන වචනයට නිර්වචනයක් දෙනවා නම් එම නිර්වචනය, ගහ යනුවෙන් අදහස් කරන සියලු වස්තූන්ට අදාළ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙම කරන්න පුළුවන් ක්‍රමයකුත් ඔහු යොජනා කරනවා. ඒ අනුව එම සියලු වස්තූන්ට ආවේණික ගුණාංගය හොයාගෙන එම ගුණාංගයට අනුව මුල් පදය විග්‍රහ කරන්න ඕනේ. සියලු ගස්වලට ඇති පොදු ගුණාංගය Q නම් අපට කියන්න පුළුවන් Q ඇත්තේ යමකද එය ගහකි, කියා. මෙතැනදී අප සලකා බලන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා. (1) ගස් නොවන කිසිම දෙයක Q තියෙන්න බැහැ. (2) Q නැති සමහර දේවල් ගස් වෙන්නත් බැහැ. ශ්‍රීහර්ෂ කරන එක දෙයක් නම් කවුරුන් හෝ නිර්වචනයක් ඉදිරිපත් කළාම ඒ නිර්වචනයට අදාළ මේ කරුණු දෙකින් එකක් හෝ උල්ලංඝනය වන හැටි පෙන්වා දෙනවා.

    උදයන ආචාර්යයන් නිර්වචනයේ ප්‍රයෝජනය ලෙස දකින්නේ වෙනම දෙයක්. ඔහුට අනුව යම් පදයක් නිර්වචනය කරනවා කියන්නේ ඒ පදය භාවිත කරන, සහ කරන්න පුළුවන් පරාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම. ශ්‍රීහර්ෂ වැඩිපුරම අවධානය යොමු කරන්නේ මේ කොටසට. ඔහු පෙන්වා දෙන්නේ කිසිම නිර්වචනයකින් යම පදයක පූර්ණ භාවිත පරාසය පෙන්වා දෙන්න බැරි බවයි.

    ශ්‍රීහර්ෂයනුත් ජයරාශියන් සහ නාගාර්ජුනයන් මෙන් ඥානය, ඥානමාර්ග සහ එහි ස්වභාවය ගැන දිගින් දිගට ප්‍රශ්න කළ ඒවා ප්‍රතික්ෂේප කළ අයෙක්. ඒත් ශ්‍රීහර්ෂයන් අර දෙදෙනාටම වඩා වෙනස් වෙනවා ඔහුගේ අද්වෛත වේදාන්ත චින්තනය නිසා. ඒ මෙහෙමයි.

    ඔහු අනුගමනය කරන තාර්කික ක්‍රමය නිසා සංශයවාදියෙකු ලෙස නම් කළත් ඥානයට නිශ්චිත පදනමක් නැහැ වගේ තැනක ඔහු නැහැ. ඔහු පිළිගන්න පරිදි අපේ විඥානයේ පැවැත්ම තමා අපට නිශ්චය කළ හැකි එකම පැවැත්ම. මේක තරමක් කාටිසියානු චින්තනය වගේ. මට හිතක් තියෙන බව මං දන්නවා. හීනෙන්ද අවදියෙන්ද වගේ දේවල් එතැනට අදාළ නැහැ. මේ නිසා, විඥානයේ පැවැත්ම පාදක කරගෙන ලෝකය සහ අනෙකුත් දේ පිළිබඳ දැනුම ගොඩ නඟා ගන්නවා මිස විඥානයේ පැවැත්ම අමතක කර ඥානය ගොඩනැඟීමක් ගැන අපට කතා කරන්න බැරි බව තමයි ඔහු පෙන්වා දුන්නේ. ඒ අනුව එය ‘මට ප්‍රවාදයක් නැහැ’ වගේ තැනකින් ගොඩනැඟුණු සංශයවාදයක් නෙවේ.

    14 සියවසේදී ගංගේෂ උපාධ්‍යායයන් “තත්ත්වචින්තාමණි” ලියන්නේ ඇත්තටම ශ්‍රීහර්ෂට ඉතා සාධනීය ලෙස පිළිතුරු සපයන්න. ඔහු සංශයවාදියෙකු නොවන නිසා, ඒ ගැන පසුවට කතා කරමු. ඉතිං මේ පොඩි සටහන් කීපය ලියා තැබීමෙන් මං උත්සාහ කරන්නේ දර්ශනය, දර්ශනය කියා බටහිර චින්තනය ගැන විතරක් කතා නොකර දකුණු ආසියාවේ අපේ අතීත චින්තනය ගැන කතා කරන්නත් අපේ උන්ට පොඩි උන්ට යම් ප්‍රේරණයක් දෙන්න. එහෙම කළාම අපේ අයටත් තේරෙනවා දකුණු ආසියාවේ මිනිසුන්ටත් හිතන්න පුළුවන් බව.

    බර්ට්‍රම් ජී. ලියනගේ



     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    නාසදීය සූක්තේ ගැන කිව්ව එක හොඳයි, සැක කිරීම අපේ පැත්තේ බුදු කාලෙටත් කලින් තිබුණ දෙයක් කියලා ඒකෙන් හොඳට පේනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,622
    102,987
    113
    නාසදීය සූක්තේ ගැන කිව්ව එක හොඳයි, සැක කිරීම අපේ පැත්තේ බුදු කාලෙටත් කලින් තිබුණ දෙයක් කියලා ඒකෙන් හොඳට පේනවා.
    අනේ බං මේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,209
    11,570
    113
    ලොකෙ නිර්මලම එකෙත්, සාන්ද්‍රනෙ කරලා එකෙනුත් ස්පිරිට් එක තමයි දකුනු ආසියාවට තියෙන්නෙ.