ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ආච්චිගේ සිත පෑරී ඇත. ඉන්දියාවේ සිට පැමිණි නරේන්ද්‍රසිං මෝදි මහතා අත් දෙක වන වනා එනු දැක ඇය යහපාලනය පිළිබඳ කලකිරීමෙන් පසුවේ.ආච්චි පවසන විදියට මෝදිට ඇඳුම් බෑගයක්වත් ගෙන ඒමට උවමනාවක් නැත. මොකද කියනවා නම් වත්මන් ජනපති තුමන් ළඟ මෝදිටත් සෑහෙන්නට ඒ ජාතියේ ඇඳුම් තිබෙන බැවිනි. ඇය විශ්වාස කරන ආකාරයට මෑතකදී ලංකාවට පැමිණි කිසිම රාජ්‍ය නායකයෙක්ට ඇඳුම් බෑගයක් ගෙන ඒමට අවශ්‍ය වූයේ නැත. පසුගිය රජය සමයේ පැමිණි බොහෝ රාජ්‍ය නායකයින්යැයි කියා ගන්න එවුන් බෙඩ්ෂීට් කැබැල්ලකින් සහ කෙවිටකින් විලි වසා ගත් එවුන් වූ අතර රෙදි ඔතා ගෙන , පොරවා ගෙන , පොටවල් දමා ගෙන , ඒ මදිවාට කටුත් ගසා ගෙන සිටින ලංකාවේ ගැහැණුන් දැක ඔවුන් ඔක්කාරය කළ බව ද ඇය පවසන්නීය. නරේන්ද්‍රසිං මෝදි ලෝබ වුණාට රජීව් ගාන්ධි එහෙම නැතැයි පවසන ආච්චි 1987 ජූනි 04 වෙනිදා ගුවනින් පැමිණ පරිප්පු ප්‍රදානය කළ ඔහුව ආදරයෙන් සිහිපත් කරන අතර එයට කළගුණ සැලකීමක් ලෙස ලංකාව එම වසරේම ජුලි 29 වැනිදා ආචාර පෙළපාලියකින් ගාන්ධි මහතා පිළි ගත් බව ද සිහිපත් කරන්නීය. පිරිත් පැන් ඉසින්නට පුවක් මලක් සොයා ගත නොහැකි වූ එක් සෙබලෙක් ගිනි අවුවේම තුවක්කු බඳෙන් රජීව් ගාන්ධි මහතාට ආශිර්වාද කළ අතර එම හේතුව නිසාදෝ මෙවර රාජකාරියේ සිටි සෙබළුන් අවුවේ නොතබා ගස් යට හීල් හෙවණේ සිටුවා තැබීමට කටයුතු කර තිබිණි යැයි ආච්චි පවසන්නීය.අසල්වැසි රාජ්‍යයේ ජනපතිවරයා ආච්චිට කංජිපුරම් සාරියක්වත් නොගෙනාවාට එල කිරි කොල්ලෙක් වන සල්මාන් ඛාන් මේ වසරේ මුල ඇස් කාච 200 ක් ම රැගෙන තකහනියේම ලංකාවට පැමිණි අතර දැන් අපේ ආච්චිගේ ඇස් පෙනීම අතිසය භයානක ලෙස දියුණු වී ඇත. ඒ මදිවාට ෂාරුක් ඛාන් පවා නොදැන ෂාරුක් ඛාන් ද ලංකාවේ වේදිකාවකට ගොඩ වී තිබූ අතර දේශප්‍රේමි ලාංකිකයින් ද ලෝබ නැතිව "ෂාරුක් ඛාන්ට ජය වේවා" යනුවෙන් කෑ ගසා තිබිණ. ඔහොම හිස් අතින් එනවානම් ගුවනින් එන්නට හේතුවක් නැති බවත් ඉන්දියානු ධීවරයින් ලංකාවේ දේශ සීමාවට ඇතුළුවන විදියට මුහුදින්ම එන්නට තිබුණේ යැයි පවසන ආච්චි මෝදිට හොඳවැයින් දෙකක් පවසන්නට ගාළු මුවදොර බලා පිටත් වූවාය. නිතරම රූපවාහිනිය නරඹන නිසා ආච්චිගේ මවුබස වී ඇත්තේ හින්දි සහ කොරියන් බස වන අතර ඇය කියන දෙයක් මෝදිට තේරුණොත් ඉඳලා හමාරය. නරේන්ද්‍රසිං මෝදි සිටින්නේ ගෝල්ෆේස් හෝටලයේ නොවේයැයි මා පැවසුවත් දුර්මුඛ නොවූ ආච්චි කියා සිටියේ මොන බලවතා වුණත් ඔහු සැබෑ ඉන්දියානුවෙක් නම් ශරීර කෘත්‍ය කිරීමට ගාළු මුවදොර වෙරළ තීරයට පැමිණෙනු ඇති බවයි.

    ලංකාව යනු මායාබන්ධකයින්ගේ ලෝකයයි. අඩුවකට ඇත්තේ ආශ්කා පමණකි. එදා අපි රූපවාහිනියෙන් දුටු මායාබන්ධකයින්ගේ ලෝකයේ නව නිර්මාණ තහනම් වන අතර එවැන්නක් දුටුවහොත් සැණකින් විනාශ කර දැමීමටත් තහනම් කිරීමටත් මායා බන්ධකයින් බැඳී සිටිති. "බොරදිය පොකුණේ " තහනම සත් වසරකට පසුව ඉවත් කර සිනමාහල් වලට මුදා හරින ලදි. තහනමට හේතුවන්නේ කාන්තාවක් සහ පිරිමියෙක් බැණ ගන්න අවස්ථාවේදී කුණුහරුප භාවිතා කිරීමයි. අපේ ආච්චි පවසන්නේ එවකට සිටි රැඟුම් පාලක මණ්ඩලයේ ඇත්තන් ගේ පිළිම සාදා දහම් පාසල්වල ප්‍රදර්ශනයට තැබිය යුතු බවයි. මර්වින් සිල්වා මත්‍රීවරයා රූපවාහිනී කැමරා වලට කුණුහරුප කියන රටක , ගීතා කුමාරසිංහ ප්‍රතිවාදීන්ට නපුංසක ලිංගයෙන් බැණවදින රටක , හැන්සාඩ් වාර්තාවෙන් ගලවන තරමට පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන රටක, ගැහැනු - පිරිමි ආරවුල් වලදී සුභාෂිතයෙන් බැණ ගන්නා ආකාරය රැඟුම් පාලක මණ්ඩලයෙන්ම අසා දැන ගත යුතුය. "බොරදිය පොකුණෙන් " නොනවතින ලංකීය සිනමාව වෙළාගන්නා අදෘශ්‍යමාන සෙවණැල්ල ඝාතනයට ලක්වූ රිචඩ් ද සොයිසා ගේ මව වන "මනෝරානි සරවනමුත්තු" චරිතය ඇසුරින් නිලේන්ද්‍ර දේශප්‍රිය කරන්නට යෙදුණු සිනමා නිර්මාණයට ද අකුල් හෙළමින් සිටී. ‘අප‍්‍රසන්න අතීතයක් නැවත ආවර්ජනය කිරීම යෝග්‍ය නොවන" බව පවසමින් බ්‍රිගේඩියර් වරයෙක් ගේ අණින් රූ ගත කිරීම් වලට බාධා පැමිණෙන රටක වර්තමාන ආණ්ඩුවට ද උවමනා වී ඇත්තේ " සිරි පැරකුම් - කුස පබා" ම නැවත නැවත පෙන්නන්නටදැයි ආච්චි විපරීත වී සිටින්නීය. අප්‍රසන්න දේවල් කරන්නට හොඳ නම් , දේශපාලන වේදිකාවල ඒවා වමාරමින් ඡන්දය හිඟා කන්නට හොඳ නම් සිනමාවට නැංවීම පමණක් වරදක් වන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කරන්නීය. ආච්චි ගේ අදහසට අනුව ඔයාකාරයට සිතන්නට ගියා නම් දම්මි ගෙන් විරහ වේදනාව විඳි සුගත් ගේ අප්‍රසන්න අතීතය "ගොළු හදවත" ලෙසින් සිනමාවට නැංවීම ද නුසුදුසු ක්‍රියාවකි. යුද්ධයේ අමිහිරි වේදනාව ,අප්‍රසන්න මරණීය වේදනාව සිහියට ගෙන එන "මාතා" චිත්‍රපටය ද තහනම් කළ යුතුව තිබිණි. නමුත් මේ ආකාරයට හමුදාපතිගේ සිට ග්‍රාමාරක්ෂක දක්වාම තුවක්කු පසෙක ලා රැඟුම්පාලක මණ්ඩලයේ රාජකාරිය කරන්නට යාමෙන් අතිශය විනයසම්පන්න සහ ආදර්ශමත් සිනමාවක් අනාගත දී දැක ගැනීමට හැකිවෙතැයි ආච්චි කැට තබන්නීය. එසේ වූවා නම් දම්මි කිසි දිනක හෝ සුගත්ට ජනේලයකින් වෙරළු දික් කරන්නේ නැත. හොඳින් සෝදා , කැබලි වලට කැපූ වෙරළු පිඟානක දමා වතුර වීදුරුවක් සමග ගෙන එන දම්මි සුගත් ට පසුපස නොහරවා පස්සෙන් පස්සට යනු ඇත.

    මේ අතරවාරයේ සීගිරි කුරුටු ගීත අතරේ අලුතෙන් කුරුටු ගාන්නට ගිය "උදයා" නමැති තරුණියකට වසර දෙකක සිර දඬුවමක් පැනවීමට යහපාලන රජය කටයුතු කර තිබිණි. අපේ ආච්චි පවසන්නේ කවදා කවුදැයි නොදන්නා මිනිසුන් කැටපත් පවුරේ ලියූ දේවල් දිවිහිමියෙන් රැක ගැනීම ජාතියේ වගකීම බවයි. නමුත් මිනිසුන් වෙනුවෙන්ම ලියූ , විනෝදයට නොලියූ මේ මහපොළව මත මිනිසුන් සමග උරිනුර ගැටී සිටි ලසන්ත වික්‍රමතුංග මරා දැමීම , ප්‍රගීත් එක්නැලිගොඩ , ලලිත් - කූගන් අතුරුදන් කිරීම පිළිබඳව ඇති කැක්කුමට වඩා අජීවි කැටපත් පවුරක් ගැන කැක්කුමක් ඇති වීම යහපාලනයේ ලක්ෂණයක්දැයි මට ප්‍රශ්නයක් පැණ නැගිණි. රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයට සෝමරත්න දිසානායක ට වඩා සුදුස්සෙක් සොයා ගත නොහැකි ආණ්ඩුවකින් අතීතයට එක් වුණු ලසන්ත - ප්‍රගීත් ලා පිළිබඳ සාධාරණයක් බලාපොරොත්තු වනවාට වඩා රෑ කඩයකින් අජිනෝමොටෝ නොදැමූ කොත්තුවක් සොයා ගැනීම පහසු බව ආච්චි පවසන්නීය. එබැවින් මින් ඉදිරියට තම තම් ලියන දේවල් මුද්‍රණය කිරීමට වද නොවී කැටපත් පවුරක බැරි නම් වැසිකිළි බිත්තියක හෝ කුරුටු ගා තබන ලෙසත් එවිට මේ ආණ්ඩුව ඒවා දිවිහිමියෙන් ආරක්ෂා කරනු ඇති බවටත් සමස්ත ලේඛක පරපුරෙන්ම ඉල්ලා සිටින්නීය.

    සියල්ල මෙසේ වෙද්දී හිටපු ජනපතිතුමන් මිහින්තලයේදී මාධ්‍යවේදීන් ට පවසා සිටියේ පොලිස්පති කිව යුතු දේ නීතිපති කිවයුතු දේ එක එක්කෙනා කියමින් සිටින බවත් එය යහපාලනය නම් දෙයියන්ගේ පිහිටම බවත්ය. එසේ පැවසූ එතුමා සම අසුනක වාඩි වී හිඳිමින්ම සංඝයා වහන්සේ නමකගෙන් පිරිත් නූලක් බැඳ ගත් අතර සිරිසේන මැතිණිය එලිසෙබෙත් රැජින අදිරිපස හිස නැමූ ආකාරය රස විඳි බොහෝ දෙනෙකුට එම දර්ශනය මගහැරී තිබිණ. ආච්චි පවසන්නේ මහින්ද මැතිඳුන් නොදන සිටියාට පහුගිය ආණ්ඩුවේත් ඔවැනි දේවල් ඉහටත් උඩින් තිබුණු බවයි. නළු නිළියන් ක්‍රීඩා කළ යුතු ක්‍රිකට් තරගයේ ආරම්භක පිතිකරු වූයේ නාම්ල් රාජපක්ෂ බවත් , පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සඳහා අයදුම් කළ කණඩායමට නාමල් සහ අජිත් කබ්රාල් පමණක් නොව අනාර්කලී ද එක් වූ බවත් පවසන ආච්චි පහේ ශිෂ්‍යත්වය අත්හිටුවන බව එස්.බී. පවසද්දී මහින්ද මැතිඳුන් කොහේ සිටියේ දැයි තම විස්මය ප්‍රකාශ කරන්නීය. ඔහුගේ රාජකීය දෛවඥ තෙමේ සිතන ආකරයට රාජපක්ෂවරු දෙවියන් බඳුය. සුමනදාස අබේගුණවර්ධන පවසන්නේ මෙච්චර කාලයක් මහින්ද රාජපක්ශයන් අතේ තිබී ඇත්තේ වශී බෝලයක් නොව අතේ ව්‍යායාමයට ගෙන යන උපකරණයකි. මෙය ඇසූ අපේ අච්චි පවසන්නේ නිතරම අතේ පැල වෙන බොරු කීම නිසා එතුමාට නිතරම අතට ව්‍යායාම ගැනීමට අවශ්‍යවන්නට ඇති බවයි. නමුත් නාමල් රාජපක්ෂ ද එලෙස ව්‍යායාම වල යෙදී ඇතැයි පවසන සුමනදාස බලන්නට පුන්නක්කු බාල්දියක් ද රැගෙන පිටත් වූ ආච්චි පවසන්නේ අච්චර හරක් හොරුන් සිටි ආණ්ඩුවක සුමනදාසව මස් කඩේට විකුණා නොදැමූ රාජපක්ෂවරුන් දෙවිවරුන් බව අනුමත කළාය . සක්වලම තිබෙන ග්‍රහවස්තු පිළිබඳව ඇතැඹුලක් සේ දන්නා සුමනදාස නමැති යක්දෙස්සාට තමන් උසස්පෙළට කළේ විෂයයන් හතරක්ද පහක්ද යන කාරණය ගැනවත් හරි හැටි අවබෝධයක් නොතිබිණි. ඒ කෙසේ නමුත් සාමන්‍ය පෙළ පමණක් සමත්ව ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුලු ආයතන කීපයක ම අධ්‍යක්ෂ ධූර දැරූ බවට රෙදි ඇඳගෙන වහසි බස් දොඩවන සුමනදාස දුටු ආච්චි පවසන්නේ අදින් පසුව සියලුම පාසල් වසා දමා ඒවායේ හරක් පට්ටි දැමිය යුතු බවයි. තමන්ට ඉගෙන ගත යුතුමැයි , හිතුවක්කාර සරසවි සිසුන් තවදුරටත් පවසන්නේ නම් බත්බැල ප්‍රහාරකයින්ගේ සංගමයේ ප්‍රධානී ප්‍රේමලාල් රණගල ලවා ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ට බලහත්කාරයෙන් හෝ ජෝතිෂ්‍ය විද්‍යාව ඉගැන්වියයුතු බව ආච්චි අධ්‍යාපන ඇමතිවරයා වෙත යෝජනා කරන්නීය.