මහා ක්‍රිකට් විරු තිලංග සුමතිපාල ගේ ආශීර්වාදය යටතේ ක්‍රීඩා ඇමති ලෙස ෆයිසර් ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ ලෝක ඉතිහාසයට එක්කර ඇත. දිගින් දිගටම බංගලියන්ගෙන් බැට කමින් හිඳ ලපටි ඇෆ්ගන්ලාට ද අන්ත පීචමකට ලක්ව ක්‍රිකට් වාර්තා පොත මුල පටන් ම සංශෝධනය කර තිබේ. ක්‍රීඩා ඇමති, යාවජීව ක්‍රිකට් සභාපති සහ විධායක නිලධාරීන් ලොවම මවිත කරන යටි මඩි වාර්තා තබද්දී පුහුණුකරු හතුරා අහිංසක ක්‍රීඩකයින්ට වලපල්ල දක්වා යන පුහුණුවක් දී තිබේ. එයට මිලියන ගණනින් බැඳි පියලි හිමි ය.
පසුගිය දා පැවති ආසියා ක්‍රිකට් කිරුළ සමයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රථම වටයෙන්ම හොම්බෙන් ගියේ ලපටි ඇෆ්ගන්ලා ගේ ප්‍රහාරයට ලක්වෙමින් වුවත් තිලංග ෆයිසර්ලාට වගක් නැත. ඉන්පසු ඔවුන් මඩ පලස් මතින් ලංකාවට හැරී ඒමට නියමිත නමුදු වඩාත් ළපටි හොංකොං කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරඟ කළ යුතුම ය යන බලවත් ඉල්ලීම මත ශ්‍රී ලංකා කණ්ඩායමට ඩුබායි හි තවදුරටත් රැඳී සිටීමට සිදුව ඇත. මේ නිසා ලෝකයේ තමන් පරාජය නොවී සිටින එකම කණ්ඩායම වන හොංකොං සමග ක්‍රීඩා කර පරාජය වීමෙන් ශ්‍රී ලංකාවට තවත් අනගි වාර්තාවකට ද හිමිකම් කිවහැකි වනු ඇත. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැනටමත් ඉතියෝපියාව, සෝමාලියාව, කොංගෝව, මොංගෝලියාව යන ප්‍රබල රටවල්වලින් ද ආරාධනා ලැබෙමින් පවතින බවද ආරංචි ලැබී තිබේ.
කිසිදු දිනක කදුරු බෝල හැර ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාවක නොයෙදීම ම නිසා ක්‍රිකට් ජගතෙක් වී ඇති තිලංග පසුගිය වකවානුවේ පන්දුවේ හැඩය පවා නොදන්නා ෆයිසර් ලා පවා පුහුණුව දී ඉහළටම ගෙන ඇත. දැන් ෆයිසර්ලා ත් ක්‍රිකට් චක්‍රවර්තිලා ය. නමුත් තවමත් අංක එකේ චක්‍රවර්ති තිලංග ය.
බුකී පවත්වාගෙන යන අතරම බෞද්ධ සම්මේලනයක් පවත්වාගෙන යාමේ විශේෂ හැකියාව ඇති තිලිනා සුමතිපාල, ජගත් සමග තිලංග ලා ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයේ අන්තයට ම ගිලා බැස්ස ද අභිමානය ගැන උපදෙස් දීමට ගජ රුසියන් වී ම තරම් අභාග්‍යයක් තවත් නොමැත.
මෙරට ක්‍රිකට් ලෝලීන් ද මෙරට ක්‍රිකට් ඉහළට ඔසවා තැබීමට උපදෙස් දෙමින් සිටී. ඔවුන් පවසනුයේ ආසියානු ක්‍රිකට් කිරුල බිම දැමූ පුහුණුකරු හතුරු වෙනුවට ආසියානු නෙට්බෝල් කිරුළ ඔසවා ගත් තිලකා ජිනදාස ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්කරන ලෙස ය. බලධාරීන් දිව විකාගෙන උත්සාහ කල ද අවාසනාවන්ත මැතිව් ගෙන් ක්‍රිකට්වලට ලැබෙන පරියක් නැත. එබැවින් තිලංග කණ්ඩායම් නායකයා කර වතුර ඇදීමට ෆයිසර් යොදා ගන්නා ලෙස පවසමු. දැනටමත් කණ්ඩායම මෙහෙයවන්නේ තිලංග නිසාත් ඔහුට කනවැල අල්ලන්නේ ෆයිසර් නිසා ත් මොවුන්ට පිරිනමන නව තණතුරු අලුත් දෙයක් නොවනු ඇත.
‘ක්‍රිකට්’ ක්‍රීඩාවක් බව අපි සියල්ලෝම දනිමු. නමුත් මෙය ඉල්ලමක් කරගත් අයට නම් මෙය වෙනම ම ක්‍රීඩාවක් බව ද දනිමු. මහින්ද තමන් යුද්ධය දිනූ බව පවසමින් ‘මේ රට මට ම යි මගේ පවුලට යි’ කියමින් හැසුරුන ආකාරයට ලෝක කුසලානය දිනුවේ තමන් බව පවසමින් අර්ජුන කළේ ද එයම ය. ඒ වන විට ක්‍රිකට් අරටු බවට පත්ව සිටි මහානාම, ගුරුසිංහ ලා පළවා හැර කනාටු ප්‍රමෝද්‍යලා තුරුළු කරන් ක්‍රිකට් අයිතිය උදුරා ගන්නට උත්සාහ කළ අර්ජුන කළේ ක්‍රිකට් රණතුංගකරණය කිරීම ය. රට මහින්දකරණය කරන්ට ගියා වගේ ය.
දැන් ක්‍රිකට් ගොඩ ගැනීමට ෆයිසර් ලා ගහන කනාපල්ලම ඵල රහිත ය. ශූන්‍ය ය. අජූත ය. මන්ද මුලින්ම කළ යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් බුකීකරණයෙන් ගලවා ගැනීම ගැන හාංකවිසියක් නැතිවීම ය. එක පතේ කමින් දෙකක් එකට කළ නොහැක. ෆයිසර්ලා ට තිලංගලා සමග ගසා කන ගමන් ක්‍රීඩකයන් සමග ජයග්‍රහණ ද ලද නොහැක. හරියට යහපාලන දෙබාන වගේ ය. එකෙක් අදින්නේ ගොඩට ය. අනෙකා අදින්නේ මඩට ය. ඒත් මඩ තැවරෙන්නේ අහිංසක අපේ ය. අපේ රටේ ය.
ගානි වාසුහේවා
---------------------------