ඉදිරියටත් රට වෙනුවෙන් කැපවෙනවා
May 21, 2012 05:00 pm
තමන් සමග රැඳී සිටි ජනතාවට තමන්ගේ ප්‍රණාමය පුද කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා පවසයි.
එම ජනතාව වෙනුවෙන් තමාගේ ජීවිතය වුව පුද කිරීමට තමන් සූදානම් බව හෙතෙම කියා සිටියි.
මීට ස්වල්ප මොහොතකට පෙර සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණ රැස්ව සිටි පිරිස් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සාධාරණයක් ඉෂ්ඨ කරනු ඇති බව තමාට විශ්වාස බවද ඔහු කියා සිටියේය.
තමන් වෙනුවෙන් කඳුළු,සුසුම් හෙළූ ජනතාව තමා කිසි කලෙකත් අමතක නොවන බවත්,දේශපාලන වශයෙන් වෛරයට පාත්‍රවීම නිසා තමාට වසර දෙක හමාරක් වැනි කාලයක් ජනතාවගෙන් ඈත්ව සිටීමට සිදුවූ බව ෆොන්සේකා මහතා අවධාරණය කළේය.
එවැනි කාලයක් නොව වසර 10 ක පමණ කාලයක් වුව තමා සිරගත කර සිටියද,එයින් කිසි ලෙසකින් වත් තමාගේ ධෛර්ය සිඳීමක් සිදුනොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
රටට සාමය උදාකර දුන් අයුරින්ම මින් ඉදිරියට මේ රට යුක්තිය සාධාරණත්වය රජයන රටක් ලෙස ගොඩනඟන්නට තමා බලාපොරොත්තු වන බවත්,ඒ සඳහා තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය.
මේ රටේ දුක්විඳින ජනතාව එම දුක්ඛිතභාවයෙන් මුදවා ගැනීමටත්,ආර්ථික අහේණියෙන් රට මුදවා ගැනීමටත් ඉදිරියටත් රට වෙනුවෙන් කැපවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.