Kalekata passe dakapu hodama Interview eka -Sangeeth Wijesuriya

Hapuwa~

Member
Nov 26, 2012
27
2
0
හොඳ සමාජයක් හැර වෙන ලාභයක් කලාකරුවාගේ බලාපොරොත්තුව නෙවෙයි.

wayo.jpg


‛වායෝ’ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විඡේසූරිය

සාකච්ඡා කළේ – මනෝරි කලුගම්පිටිය


‛අපි කවුරුද’ හරහා ඔබ කියන්න හදන්නේ කුමක්ද?

‛අපි කවුරුද’ කියන්නේ වෙනම දර්ශනයක්. 75% ක් විතර අය මේකෙ තේරුම අරගෙන තියෙන්නේ මතුපිටින් බලලයි. මිනිස්සු CALL කර කර කියන්නේ “ආ පළවෙනි සිංදුවෙන්ම ඔයගොල්ලෝ කවුරුද, වායෝ කියන්නේ කවුරුද කියලා හොයලා බලපල්ලා කියන එක කියලා තියෙනවා” කියන සංකල්පයයි. හැබැයි ඇත්තම සංකල්පයයි, මිනිස්සු වටහාගෙන තියෙන එකයි අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා.

කියන්න බලන්න ඇත්තම සංකල්පය….
‛සී සී කඩ විසිරුණු සිතුවිලි – දිය බුබුළේ නළියන පෙණ කැටි වාගේ’, ඒ කියන්නේ සිතුවිලි කොයි මොහොතකවත් එකම විදිහට තියෙන්නෙ නැහැ. ඒක දිය බුබුළේ නළියන පෙණ කැටි වගේ ඇති වෙනවා, නැති වෙනවා. ‛හුදෙකලාවේ තනි වී සිටියම – සිහින ආකරේක වැටුණා වගේ නිමක් නෑ, මොහොතින් මොහොත ගෙවෙනා කාලය ලැබෙනවා කාටත් එක විදියට’ කාලය සාපේක්ෂයි. ඒක කාටත් දැනෙන්නේ එක විදිහට.
‛ගිනියම් ඉර – සඳ සිසිලස
අතරේ හොයනව හොයනව
මේ අපි කවුරුද?’
සියලු වෙනස්කම්, සිදුවීම් මැද අපිම, අපි කවුද කියලා හොයනවා, හඳුනා ගන්නට උත්සාහ කරනවා.


‛අපි කවුරුද’ කාගෙ නිර්මාණයක්ද?
සිංදුව ලිව්වෙ සේනක බටගොඩ.

සංකල්පය කාගෙද?
මගේ හිතේ තිබුණේ ගැඹුරු සංකල්පයක්. මම ඒ අදහස සේනකට කිව්වා. නමුත් මේ වචන මම නෙවෙයි කිව්වේ. ඒ නිසා සම්පූර්ණ ගෞරවය ඔහුට දෙන්න ඕන.

ඇයි ඔයාට මේ වගේ අදහසක් ඇති වුණේ?
මේ යන රටාව, සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියලා මට හිතුණා. ඉස්සරහට මම ලියන්න හිතාගෙන ඉන්නවා ‛ගහක් කතා කරයි’ කියලා සිංදුවක්. ඒ වගේම රණවිරුවෙකුට සිංදුවක් කියනවා.
‛රණ විරුවාණනේ
මම ඔබට ගෙයක් හැදුවා
ඔබට උපහාර පිණිස
ඉතිං ඒ ඇතිද
රණවිරුවාණනේ මම ජනප්‍රිය වුණා
ඔබට උපහාර පිණිස.’


අපි රණවිරුවන් වෙනුවෙන් කියලා සිංදු හදන්නේ රණවිරුවාට තියෙන ගෞරවයෙන්ද, ජාතියට තියෙන ආදරයෙන්ද එහෙම නැත්නම් අපි ජනප්‍රිය වෙන්නද? එල්.ටී.ටී.ඊ. කියන්නෙත් රණවිරුවෙක්නේ. ජාතිය වෙනුවෙන් සටන් කළාට ත්‍රස්තවාදී කියන ගණයට දාලයි අපි එයාලා ගැන කතා කරන්නේ. වෙනම කෝණයකින් බැලුවහම වෙන අදහසක් තියෙන්නේ. ඒ නිසා මේ යන ක්‍රමයෙන් මිදිලා වෙන මානයකින් බලන්න තමයි මම උත්සාහ කරන්නේ. වෙනසක් කරන්න මම හැම තිස්සේම උත්සාහ කරනවා. නමුත් වෙනස් කිරීමට යනකොට එක්කෝ හිත දූෂණය වෙනවා. නැත්නම් රටාව තවදුරටත් ඒ විදිහටම තියෙනවා. ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. මොකද බහුතරයකගේ මනස ඒ වෙනසට ලෑස්ති නැතිකම නිසා. ඒත් දැන් මට හිතෙනවා මේ තියෙන සමාජ රටාව, සිස්ටම් එක මිනිස්සුන්ට එපා වෙලා වගේ පේන නිසා මේ වගේ ප්‍රවේශයකින් වෙන පැත්තක් ගැන කතා කරන්න පහසුයි කියලා.

ඔබ සනිධප කණ්ඩායමෙන් ඉවත් වෙලාද ‛වායෝ’ හැදුවේ?
සනිධප කණ්ඩායමත් මගේ. මම තමයි ඒක හැදුවේ. මට වුවමනාව තිබුණේ ඒකෙන් ඉවත් වෙලාම ‛වායෝ’ වැඩ පටන් ගන්න. නමුත් ඕනෑම තැනක නායකයා, නැත්නම් එතැන වගකීම අරන් කටයුතු කරපු පුද්ගලයා එකපාරටම නැති වෙනකොට ගැටලු මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තවදුරටත් මගේ පරිපාලනය සනිධපට අවශ්‍යයි කියලා ඔවුන් කිව්වා. ඒ අනුව තව ටික කාලයක් එතැන පරිපාලන කටයුතු කරලා ඔවුන්ට ඒ කටයුතු ස්වාධීනව කරගන්න හැකි වුණාම ඒ කටයුතුවලින් ඉවත් වෙනවා, සිංදු කියන්න යන්නේ නැහැ.

ප්‍රසංග වේදිකාවේ ඉතාම ජනප්‍රිය මොහොතකයි ඔබ එයින් ඉවත් වෙලා තවත් සංගීත කණ්ඩායමක් අලුතින් හදන්න තීරණය කළේ. ඒ නිසා මං දැනගන්න කැමතියි ‛ඔබ කවුරුද’ කියලා.
මම නාම – රූප දෙක එකට එකතු වුණ ජීවයක් සහිත කෙනෙක්. දෙයක් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් හඳුනා ගැනීමයි, පොතේ තියෙන දේ කියවලා හඳුනා ගැනීමයි කියන්නේ දෙකක්. සනිධප, වායෝ, සංගීත් කියන මේ හැමදේම හඳුනා ගන්න වෙන්නේ එයට යටත්වයි.

වායෝ බිහිවෙන්නේ සනිධප ජනප්‍රියත්වයෙන් ඉහළම තැනක ඉන්න මොහොතකයි. මොකක්ද එයට හේතුව?
මම දැනට කරගෙන ආවේ ඉලෙක්ට්‍රොනික් ශබ්දවලින් සංගීතය සැපයීමයි. ඒත් මම ඉස්සර ඉඳන්ම කැමති එකෝස්ටික් ශබ්දවලට. නමුත් ලංකාවේ පැළපදියම් වෙලා තියෙන්නේ පපුවට වදින ඉලෙක්ට්‍රොනික් ශබ්ද මාලාවන්. අපි එළියේ ගහන සංගීත ප්‍රසංගවලට බහුතරයක්ම එන්නේ නටන්න බලාගෙන එන රසිකයෝ. බොහෝ වෙලාවට මත්පැන් පානය කරලා මත් වුණ පිරිස් ඉන්න අවස්ථාවලදී ඔවුන්ට ඕන කරන අර පපුවට වදින සංගීතය සපයනකොට සංගීතය සපයන අපිට අපේ ඇතුළාන්තයේ තියෙන අර මුලින් කියපු අපි ආස දේ එළියට දෙන්න බැරුව යනවා. එතනදි අර කියපු විදියේ රසිකයා සනසන්න තමයි අපිට සිදු වෙන්නේ. ඒක නොකර බැහැ. මොකද මේ සමාජයේ පවතින අවශ්‍යතාවන් ටික සපුරාගන්න අපිට සල්ලි ඕන. ඒ සඳහා මම තෝරාගෙන තියෙන මාධ්‍ය මේක. නමුත් ගොඩක් කාලයක ඉඳලා මගේ හිතේ තිබුණ ආශාවක් තමයි මේ ‛වායෝ’ හරහා ඉස්මතු වුණේ.

ඇයි ඒ සඳහා ඔබ මෙතරම් කාලයක් බලාගෙන හිටියේ?
මම හැම වෙලාවකම අලුත් නිර්මාණයක් කරන්න උත්සාහ කරනවා. නමුත් මේක ලොකු තීරණයක්. මේකෙදි මම කඩා වැටෙයිද කියලා ඒ මොහොතේදී මට බයක් තිබුණා. ඒත් ඊට පස්සේ මම අවබෝධ කරගත්තා මේ වෙලාවේ මේක මම කළේ නැත්නම් නැවත මට මේක කරන්න වෙලාවක් නැහැ කියලා. සනිධප කියන්නේ හැමදාම වගේ ප්‍රසංග තියෙන කණ්ඩායමක්, සල්ලි හොඳට උපයනවා. ඒ වගේ ඉතාම සාර්ථක අඩියක ඉන්නකොට මගේ ඇත්තම කැමැත්ත, මම හොඳයි කියලා විශ්වාස කරන දේ නොකර හැරීමට, කල් දැමීමට ඒක හේතුවක් කරගන්න හොඳ නැහැ කියලා මට හිතුණා. මේ හැමදේම, සමහර විට ජනප්‍රියත්වය පවා අත්හළ යුතුයි කියන තැනට මම ආවා. එහෙම ලොකු කැපකිරීමක් නොකර අපට අලුත් දෙයක් බිහිකරන්න බැහැ. එහෙම නොකළොත් සනිධප සහ මම පීක් එකේ මේ විදිහටම තියෙයි. ඒත් මගේ කැමැත්ත හරහා අලුත් දෙයක් බිහි නොවෙන්න පුළුවන්. ඉතිං මගේ මේ තීරණය ගොඩක් අය දැක්කේ අමුතු දෙයක් විදියටයි. මගේ යාළුවෝ මට කියන්න ගත්තා ‛උඹ හදපු බෑන්ඩ් එක මේ, උඹට හොඳට ෂෝස් තියෙනවා, උඹට පිස්සුද, ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බලපන්’ කියලා. එතනදි මගේ උත්තරය වුණේ ‛කිසියම් දෙයක් තව දෙයක් සඳහා දොර විවෘත කරනවා නම් තියෙන දොර වහන්න වෙනවා. නැතුව අඩිය දෙපැත්තක තියාගෙන සාර්ථක දෙයක් කරන්න බැහැ.’ කියලා. ඉතිං මේ පීක් ටයිම් එකද, පීක් නැද්ද, සල්ලි හම්බ වෙනවද, උපරිම හම්බ වෙන තැනද කියන එක නෙවෙයි මං සැලකුවේ. ඒවා ඔක්කොම පැත්තකින් තියලා තීරණයක් ගත යුතු අවස්ථාවේදී ගත්තා.

ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මිනිස්සු වෙනසට බයයි. ඔයා වෙනස්කම්වලට බය නැති හින්දද වායෝ නිර්මාණය කරන්නේ?
මම වෙනස්කම්වලට බය නැහැ. ඒකමයි මම වෙනස්කම් කරද්දී මගේ යාළුවෝ මගෙන් අහන්නේ ‛උඹට පිස්සුද?’ කියලා. කොටින්ම බෑන්ඩ් එකේ අයත් එහෙම ඇහුවා. මං ජීවත් වෙන්නේ සිංදු කියලා නම්, එකෙන් හොඳ ආදායමකුත් ලබමින් ඉඳිද්දී එක පාරටම ඒක නැති කර ගන්නවා කියන එක ගොඩක් දෙනෙකුට හිතාගන්න අමාරුයි. මං හිතන්නේ ගොඩක් අය එහෙම කරන්න බයයි, ලෝභ වෙනවා. මමත් මුලදී මේ තීරණය ගැන ගොඩක් කල්පනා කළා. නමුත් වෙනසක් කළ යුතු වෙලාවේදී වෙනස කළ යුතුයි.

සංදර්ශන වේදිකාවට ගොඩ වුණාම ප්‍රාසාංගික කලාකරුවෙක් විදියට ඔබට ඔබ ඉදිරියේ සිටින රසිකයෝ පේන්නේ කොහොමද?
වේදිකාවට නගිනකොට මට තියෙන්නේ නොවිසුරුණු මනසක්. මගේ සිතුවිලි විසිරෙන්න මං දෙන්නේ නැහැ. මම හිතන්නේ සංගීතයෙන් මේ අයව මට හැකි හොඳම විදිහට සතුටු කරන්නේ, තෘප්තිමත් කරන්නේ කොහොමද කියලයි. නමුත් වේදිකාව මතට ගියාම මම මේ මේ දේ කරනවා කියලා කලින් හිතාගෙන යන්නේ නැහැ. අවස්ථානුකූලවයි PERFORM කරන්නේ. ලංකාවේ සංගීත ප්‍රසංගවලට ඇදී එන සංගීතකාමීන්ව මට පේන්නේ මිශ්‍ර සංස්කෘතික ලක්ෂණවලට කැමති පිරිසක් විදියටයි. සාමාන්‍යයෙන් බොහෝ රටවල රසවිඳීමේ කැමැත්ත අනුව සංගීත වර්ගීකරණයක් තියෙනවා. රසිකයෝ තමන්ගේ රුචි අරුචිකම් අනුව රෙගේ, රොක්, පොප්, ක්ලැසිකල් කියන ඒවා රස විඳීමට තෝරා ගන්නවා. සාමාන්‍යයෙන් රොක් අහන අය රෙගේ අහන්න යන්නේ නැහැ. ක්ලැසිකල් මියුසික් අහන අය රොක් අහන්න යන්නේ නැහැ. වෙන රටවල්වල රොක් ගහන බෑන්ඩ් එකක් ගහන්නෙත් රොක් විතරයි. රොක් අහන අය විතරයි ඒකට යන්නේ. නමුත් අපේ රටේ එහෙම නැහැ. මෙහේ සංගීත ප්‍රසංගයකදී අපිට හමුවෙන්නේ විවිධාකාර රුචි අරුචිකම් තියෙන රසිකයෝ පිරිසක්. අපි එයාල පිනවන්න සිංහල සිංදු කියන්න ඕන, ඉංග්‍රීසි සිංදු කියන්න ඕන, හින්දි සිංදුත් කියන්න ඕන, බයිලා කියන්නත් ඕන. මේ රසිකයෝ මම දකින්නේ අච්චාරු වුණ රසිකයෝ පිරිසක් විදියට. වේදිකාවෙන් ඈතට වෙන්න නටමින් ඉන්න අය සඳහා බයිලා එකක් කියලා, වේදිකාව ඉදිරිපස ඉන්න අම්මලා තාත්තලාට සරිලන ගීතයක් කියන්න හදනකොට කලින් බයිලා එකට විනෝදෙන් නටපු අයට තරහ ගිහිං කෑ ගහන්න පටන් අරගෙන. වෙන රටවල රසිකයෝ වගේ නෙවෙයි ලංකාවේ රසිකයා. ලංකාවේ රසිකයා කියන්නේ ගොඩක් දේවල්වලට ආසා කරන රසිකයෙක්. ලංකාවේ අවුරුද්දකට සැරයක් විතර ගමක හරි නගරයක හරි සංගීත සංදර්ශනයක් තියෙනවා. ඒකට ඒ ගමේ අයයි වටේ පිටේ අයයි ඔක්කොම එනවා. ඉතිං ඒ අයගේ මිශ්‍ර සිතුම් පැතුම් තියෙන්නේ.

වින්දනයේදී මිශ්‍ර සිතුම් පැතුම්, තෝරා ගැනීම්, රුචිකත්වයන් වෙනුවෙන් එකට එකතු වෙන මේ විවිධාකාර රසකාමීන්ම නේද ජාති, ආගම්, කුල සහ භාෂාව වගේ කාරණාවලදී නැවත බෙදී වෙන් වෙන්නේ?
හරියටම හරි, ඒකට හේතුව ආත්මාර්ථකාමීත්වය. සංගීතය, කන බොන දේවල් වගේ කාරණාවලදී මේ අය එකට එකතු වෙනවා. මොකද ඒකෙන් තමන් තමන්ව පිනවා ගන්නවානේ. ආගම, ජාතිය වගේ දේවල්වලදී මේ අය එකිනෙකාට විරුද්ධ වෙනවා. ‛ආ අපි බුද්ධාගමේ, අන්න අරුන් ආගම් ප්‍රචාරය කරනවා’ කියනවා. එතැනදී ඒ ඔක්කොම මාෆියාවල් වෙනවා. එක කොටසක් බෙදෙනකොට ඉතිරි පිරිස ඉබේම බෙදෙනවා. සංගීතය කියන්නේ රසවින්දනාත්මක දෙයක්නේ. මුස්ලිම්, සිංහල ප්‍රශ්න යනකොට ඒවා ඇවිල්ලා මියුසික් වගේ ආතල් ගන්න පුළුවන් ඒවා නෙවෙයිනේ.

(ඒ වන විටත් සීතල වෙමින් පවතින අපේ කෝපි කෝප්ප දෙක බී අවසන් කිරීමට මද වෙලාවකට සංවාදය නතර කළ අතරේ සංගීත් මෙහෙම කිව්වා, ඒකත් සඳහන් කරන එක වැදගත් කියලා මට හිතුණා.)
“සාමාන්‍යයෙන් මං පත්තරවල ඉන්ටර්වීව්ස්වලට යන්නේ නැහැ.”

“ඇයි ඒ?”
“පහුගිය කාලේ ඉන්ටර්වීව්ස් ටිකකට ගියා, නමුත් වැඩියම යන්නෙ නැහැ. මං කොහොම හරි කට් කරනවා.”
“ඉන්ටර්වීව්ස් නොදෙන්න හේතුව?”
ඒකට හේතුව, එයාල කියන එක නෙවෙයි දාන්නේ. මම දෙයක් කිව්වාම මගේ චින්තනය ලියන කෙනා ඒ අදහස ගන්නේ එයාගේ චින්තනය හරහා. එයා යම්කිසි ඇසුරු කරපු, ලුහුබැඳපු තැන් එක්ක මික්ස් කරලා එයාගේ වචනවලින් ලස්සන කරලා පළ කරනවා. එතකොට මං කියපු සමහර දේවල්වල අර්ථය වෙනස් වෙලා. සෙට් වෙන්නේ නැහැ.”)

ආයෙත් අපේ කතාබහට …


සංගීත් අද පවතින සමාජය කොහොමද දකින්නේ?
එහෙම අහනකොට මට පැති ගොඩක් ගැන පේනවා. පොදුවේ ගත්තම මේ සමාජයේ විනයගරුකභාවය, ශික්ෂණය කියන දේ නැති වෙමින් යනවා. ඒක ලංකාවේ සමාජයේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම සිදු වෙමින් තියෙන දෙයක්. කිසිවෙකුට ගරු නොකරන ආත්මාර්ථකාමීත්වය, තරගකාරීත්වය වර්ධනය වෙමින් තියෙන සමාජයක් මේ. හැම සමාජයකම කුඩා දරුවාට උගන්වන්නේ අනෙකාට ගරු කරමින් වැඩෙන හැටි නෙවෙයි, අනෙකා කපමින් ඉදිරියට යන හැටියි. සංගීත ක්ෂේත්‍රය ගත්තත් එතනත් එහෙමයි. සිංදුවක් හදාගෙන, විෂුවල් කරගෙන, වියදම් කරගෙන චැනල් ගානේ ගිහිල්ලා අනිත් ශිල්පියාට වඩා මගේ එක ජනප්‍රිය කරගන්න ඕන කියලා හරිම තරගයක් තියෙන්නේ. නිර්මාණකරුවා තුළ තිබිය යුතු සාමකාමී මනසක් නෙවෙයි තියෙන්නේ. එතැනින් එහාට ගියාම අරයට වැඩිය මම කොහොමද උඩින් ඉන්නේ, මං කොහොමද කාර් එකක් ගන්නේ වගේ දේවල්. හැබැයි ඕක හොඳයි භෞතික නැත්නම් බාහිර දියුණුවට. නමුත් මම කලින් කියපු ආධ්‍යාත්මික දියුණුව වර්ධනයට ඔය කියපු දේවල් උපකාර කරන්නේ නැහැ. ඒ නිසා සමාජය ධනාත්මක පැත්තට ඇදී යනවාට වඩා ඍණාත්මක පැත්තට ඇදෙනවා කියලයි මගේ දැකීම. පාරට බැස්සත්, වාහනයක ගියත්, අල්ලපු ගෙදර ගත්තත් තත්ත්වය ඒකයි. එහෙම නැති අවස්ථා තියෙනවා, නමුත් බහුතරය ඒ වගේ.

අපි අඩුවක් නැති පරිපූර්ණ සමාජයක ජීවත් වෙන බව විශ්වාස කරන්න කියලා වර්තමාන පාලකයින් අපිට කියනවා. ඒ අතරතුර යමෙක් ඒ පරිපූර්ණත්වය තුළ අඩුවක් පවතිනවා කියලා පෙන්වා දුන්නොත් ඔහු හෝ ඇය, නැත්නම් ඔවුන් කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගහනවා. ඔබ කලාකරුවෙක් විදිහට මේක දකින්නේ කොහොමද?
මම දැකල තියෙන විදිහට හැම ආණ්ඩුවකම කිසිම පරිපූර්ණත්වයක් නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීමේදී විශේෂයි. හැම ආණ්ඩුවක් සම්බන්ධයෙන්ම සන්තෝස වෙන්න ගොඩාක් අමාරු තැන් වැඩියි. රටක ආණ්ඩුවක් ගත්තාම ඒ රටේ ආණ්ඩුව කොයිතරම් දුරට රටේ ජනතාවට ගැලපෙනවාද, හරියනවද, සමාන වෙනවාද, ඒ හරහා රට කොයිතරම් දියුණු වෙනවාද කියන එක මැනගන්න පුළුවන් වෙන්නේ රටක නීති පද්ධතිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙනවානම් විතරයි. විශේෂයෙන්ම මේ වගේ තුන්වෙනි ලෝකයේ රටවල ඒ නීතිය කියන සාධකය ක්‍රියාත්මක වෙනවාට වඩා නොවෙන ප්‍රවණතාව වැඩියි. ඒකට හේතුව දේශපාලන බලය හැම වෙලාවෙම නීතියට වඩා ඉස්මතු වීම, නැත්නම් නීතියට උඩින් පැවතීමයි. ඒක එයින් පහළ තියෙන හැම තලයකටම සම්ප්‍රේෂණය වෙනවා. ඒ නිසාමයි මිනිස්සු අනෙක් කෙනාට රෙස්පෙක්ට් නොකරන්නේ. පොඩි ළමයෙක්ට වුණත් දකින්න තියෙන්නේ ලොකු මිනිස්සුන්ගේ කා කොටා ගැනීම් ඇතුළු විකාර ටිකයි. එතකොට කොහොමත් සමාජයක් සුඛිත මුදිත වෙන්නේ නැහැ. මම කිසිම ආණ්ඩුවකට අයිති නැහැ, මම කිසිම කෙනෙක් පස්සේ යන්නෙත් නැහැ. හැම පක්ෂයකම මගේ මිත්‍රයෝ ඉන්නවා, නමුත් දේශපාලන වශයෙන් මම කිසිම පක්ෂයකට උදව් කරන්න යන්නේ නැහැ.

අද අපිට හමුවෙන ගොඩක් අය ජීවත් වෙන්නේ දේශපාලනය කියලා දෙයක් අපි අවට නැහැ වගේ. පක්ෂ දේශපාලනය කියන රාමුවෙන් එළියට ඇවිත් පුළුල් අර්ථයෙන් දේශපාලනය ගැන කිව්වොත් ගොඩක් දෙනෙක් කැමති තමන් අකැමතිම වචනය ‛දේශපාලනය’ කියල කියන්නයි. තරුණ – තරුණියන්, කලාකරුවන් විතරක් නෙවෙයි සමහර දේශපාලනඥයන් පවා ජීවත් වෙන්නේ තමන් දේශපාලනයෙන් විතැන් වුණ ජීවීන් හැටියටයි. විශේෂයෙන්ම කලාකරුවෝ අතර මේක හොඳින් දකින්න ලැබෙනවා. ඔවුන් තමන්ගේ නිර්මාණ දේශපාලනික නැහැ කියනවා. මං කියනවා කලාව දේශපාලනිකයි කියලා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?
ඔව්, ඒක නිකන් ෆැෂන් එකක් වගේ දැන්. දේශපාලනය කිව්වාම ඡන්දේ ඉල්ලලා ඇමති කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් හරි වෙලා පාර්ලිමේන්තුවට යන එක වෙනම දේශපාලනයක්. කලාවෙත් තියෙනවා යම්කිසි දේශපාලනයක්. ගෙදර පරිපාලනය ගත්තත් එතැනත් තියෙනවා දේශපාලනයක්. කලාවේ තියෙන්න වෙනම දේශපාලනයක්. ඔයා කලාකරුවන් ගැන කිව්වා. යම් ක්‍රියාවකදී සමානවද ප්‍රතිවිරුද්ධවද ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තු නොවන කෙනාට තමයි ඇත්තටම කලාකරුවා කියන්නේ. ජීවත්වීමේ මාර්ගය බවට මේක හදා ගන්නකොටම අපි කලා ශිල්පීන් බවට පත් වෙනවා. එතකොට ඔහු හෝ ඇය කලා ශිල්පියා වෙන තැනම දේශපාලනීකරණයක් තියෙනවා. කලාකරුවෙක් ඉන්නවා නම් මේ රටේ, අන්න එයා දේශපාලනීකරණය වෙලා නැහැ. කලාකරුවා කියන්නේ දිවිහිමියෙන් සමාජයේ යහපත තකා කටයුතු කරන කෙනාට. හරියට යේසුස් වහන්සේ වගේ, හොඳ සමාජයක් හැර වෙන ලාබ ප්‍රයෝජනයක් කලාකරුවාගේ බලාපොරොත්තුව වෙන්නේ නැහැ.

සංගීත ක්ෂේත්‍රයට පැමිණීම සම්බන්ධයෙන් ඉතිහාසය ගැන දැනගන්න කැමතියි.
මගේ ගෙදර පරිසරය සංගීතයට සම්බන්ධයි. ජනප්‍රිය නැති වුණත් මගේ තාත්තා සිංදු කියනවා. සංගීත භාණ්ඩ අපේ ගෙදරම තිබුණා. තාත්තා මියුසික්වලට කැමතියි. මම ඉස්කෝලේ යන කාලෙ ඉඳන්ම මියුසික් ඉගෙන ගත්තා. තාත්තා සිංදු කියනවා අහන්න තාත්තගෙ යාළුවෝ ගෙදරට එනවා. එතකොට මං පොඩියි. මාත් අහගෙන ඉන්නවා. තාත්තා මට ඒ සිංදු පාඩම් කරවනවා. ඊට පස්සේ තාත්තගෙ යාළුවෝ ඉස්සරහා මා ලවා සිංදු කියවනවා. එහෙම තමයි මටත් මියුසික්වලට ආශාව ඇති වුණේ.

ලංකාවට ප්‍රසංග කලාව අවශ්‍යද?
කලා ශිල්පියා සහ රසිකයා කියන දෙන්නගෙම පැත්තෙන් ගත්තොත් ප්‍රසංග කලාව අවශ්‍යයයි. අපේ රටේ මිනිස්සුන්ට විනෝද වෙන්න ගොඩක් දේවල් නැහැ. දේවල් තිබුණත් ඒවා විඳින්න සල්ලි නැහැ. එතකොට අපේ රටේ විනෝද වෙන්නේ ගොඩක් පොහොසත් මිනිස්සු ටික දෙනෙක් විතරයි. වෙන විදිහකට කිව්වොත් බිස්නස්කාරයෝ ටිකක් විතරයි. එතැනදී සාමාන්‍ය මිනිහට විනෝද වෙන්න කියලා දෙයක් නැහැ. විශේෂයෙන්ම සාමුහිකව විනෝද වෙන්න තියෙන අවස්ථා ඉතා විරලයි. තියෙනවා නම් තියෙන්නේ සංගීත ප්‍රසංගයක් බලන එක, නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි බලන එක වගේ දෙයක් විතරයි. රටක චින්තනය සමබරව පවතින්න නම්, ප්‍රසංවාදය කියන එක තියෙන්න නම්, විනෝද වීම කියන දේත් පැවතිය යුතුයි. මිනිහෙක් වෙහෙස මහන්සි වෙලා වැඩ විතරක්ම කරනවා නම් ඒ මිනිහා යම්කිසි මට්ටමකට ක්ෂය වෙනවා. ඒ ක්ෂය වීම නැවත ආරෝපණය වෙන්න නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා මනස එක්තැන් කරන මාර්ගයක් තිබිය යුතුයි. වින්දනාත්මක කලාව ඒ සඳහා හොඳ මාවතක්. මම කියනවා මේකෙන් වැඩක් වෙනවා∎

sangeeth.jpg
 

Hapuwa~

Member
Nov 26, 2012
27
2
0
දෙසැම්බර් 16 වයෝ Play කරනව ගුවන්විදුලියේ (SLBC) :)