ක්රමයෙන් මින්නේරිය දුම්රියපොළ හන්දිය පසුකළ ත්රිරෝද රිය ඊළඟට මින්නේරිය වැවේ සිට කවුඩුල්ල වැවට ජලය රැගෙන යන ප්රධාන ඇළේ පාලමද පසුකළේය. එතැන් සිට ත්රිරෝද රියේ වේගය වැඩිකිරීමට එහි රියෑදුරු උත්සාහ කරනු ඔවුනට පිටුපසින් ගමන් කළ යතුරු පැදිකරුවකු දුටුවේය. තවත් මීටර් දෙතුන් සීයක් දුරට ඇදී ගිය ත්රීවීලරය මාර්ගයේ ඊළඟට හමුවන මින්නේරිය - කන්තලේ ප්රධාන ඇළ මාර්ගයේ පාලම අසලින් ක්ෂණිකව අතුරුදන් වූ බව පිටුපසින් ආ යතුරු පැදිකරුවාට වැටහිණි. හේ... සැකහැර ඒ බව නැවතත් තහවුරු කර ගත්තේය.
"ඔව්....· අනිවාර්යෙන්ම ත්රීවිල් යන පාලමෙන් වැවට පෙරළෙන්න ඇති"
එම සිතිවිල්ලෙන් තම යතුරු පැදිය නතර කළ ඔහු වහා පාලම අසලට ගොස් පහල ඇති මහා ජලකඳ දෙස බැලුවේය. ගැඹුරු දියයටින් පෙණ ගොබයක් උඩට ඇදී එනු ඔහුගේ නෙත ගැටිණි. හිත හිතා ඉන්නට කාලයක් නැත. තම මුදල් පසුම්බිය, ජංගම දුරකථනය එතැනම බිම දැමූ... හෙතෙම මහා ජල කඳට පැන්නේය.
එතැන් සිට සිදුවූයේ කුමක්ද?... හිඟුරක්ගොඩ බෝපුර පදිංචි අන්තෝනි සෙල්වරූබන්... නම් වූ අපූරු මිනිසාගේ කටහඬින් අපි මෙසේ සටහන් කරමු.
"මගේ ඉස්සරහින් ආව ත්රීවීල් එක ඉස්සරහා තිබුණ පාලම ළඟින් එක පාරටම අතුරුදන් වුණා. මට හිතා ගන්න බැරිවුණා. මම බයික් එක පාලම ළඟ නතර කරලා වැව දිහා බලනකොට වතුරේ ළමයකුගේ වතුර බෝතලයකුයි, බුලත් විටකුයි පාවෙනවා දැක්කා. ඒ එක්කම දිය බුබුළු ගොඩක් උඩට එනවාත් පෙනුනා.
හිත හිතා ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. මම පර්ස් එකයි ෆෝන් එකයි බිමට දාලා වතුරට පැන්නා.
මම වතුර යටට පීනලා බලනකොට ත්රීවීල් එක අස්සේ පිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි පුංචි ළමයෙකුයි දඟලනවා. පිරිමි කෙනා ගෑනු කෙනාව උඩට තල්ලු කරනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. මම ඉක්මනට දරුවා අතට අරගෙන උඩට ගෙනාව. ඒ වෙනකොට පාලම උඩට කට්ටිය ඇවිත් හිටියා. ඒත්... මුලදී දරුවා ගන්න කවුරුත් ආවේ නැහැ. ඒ වෙනකොට අර දරුවගේ අම්මයි, තාත්තයි දෙන්නත් මගේ කකුලේ එල්ලිලා දඟලනවා. කට්ටියත් එක්කම වතුරෙ යට යනවා. උඩ එනවා. මටත් හරි අමාරුයි. අන්තිමට මම පුළුවන් තරම් ධෛර්ය අරගෙන ඇළ අයිනේ සිමෙන්ති ගැට්ටක එල්ලුනා. එතකොට වටේ හිටපු කෙනෙක් දෙන්නෙක් ඇවිත් දරුවා උඩට ගත්තා. පස්සේ අනිත් දෙන්නවත් උඩට ගත්තා.
වතුරෙන් ගොඩට ගත්තු තුන්දෙනාට වටේ පිටේ අය ප්රථමාධාර දීලා හිඟුරක්ගොඩ ඉස්පිරිතාලෙට යෑව්වා. දෙයියන්ගේ පිහිටෙන් අර තුන්දෙනාටම ලොකු අමාරුවක් තිබුණේ නැහැ. මට ඒ වෙලාවේ ඇති වුණේ කියන්න බැරි තරම් සතුටක්.
අන්තෝනි සෙල්වා... ඔහුගේ ත්රාසජනක අත්දැකීම එක හුස්මට දිග හරිමින් සිටියි. ඒ සමඟම ඔහුගේ මුහුණ ක්ෂණයකින් අඳුරු විය. ඊට පස්සේ..
"මම වතුරෙන් ගොඩට ඇවිත් අර තුන්දෙනාම ඉස්පිරිතාලෙට යවලා.. තෙත පිටින්ම බයික් එක ළඟට ගියා. මම වතුරට පනින්න කලින් බයික් එක ළඟ බිම දාලා ගිය පර්ස් එකයි ෆෝන් එකයි ලයිෂන් ඉන්ෂුවරන්ස් එකයි කවුරු හරි උස්සලා. හැම තැනම බැලුවා. ඒත් හොයාගන්න තිබුණේ නැහැ. පස්සේ මම මේ ගැන මින්නේරිය පොලිසියටත් කිව්වා. ඒ අයත් මේ ගැන කණගාටු වුණා.
අද අප සිටින්නේ මෙබඳු විපරීත සමාජයකයි. දෙවිවරුද, පෙරේතයෝද එකම ගෙයි ලැගුම් ගනිමින් සිටින විට මෙබඳු දේ සිදුවිය හැකිය. තම ජීවිතය ගැන මොහොතකටවත් නොසිතූ අන්තෝනි සෙල්වා... තම ගමන ගැනද නොතකා අඩි පහළොවකටත් වැඩි මහා ජල කඳකට පැන ජීවිතය ඉල්ලා යදිමින් සිටි තිදෙනකුගේ ජීවිත බේරා ගොඩට එනවිට.. ඔහුගේ සේසතම කිසියම් පාහරයකු විසින් සොරාගෙන යැමට දිය යුත්තේ කවරනම් දඬුවමක් දැයි අපි නොදනිමු.
අන්තෝනි සෙල්වා යනු අවුරුදු තිස් එකක් වූ විවාහක එක්දරු පියෙකි. ස්ථිර රැකියාවක් නොමැති හෙතෙම කළුගල් වැඩපළක සේවයේ යෙදෙන්නෙකි. ජීවත් වීම සඳහා මහා ලොකු අරගලයක නිරත වන හෙතෙම සැබෑවටම හිත හොඳ මිනිසෙකි.
"මම.... ජීවිතයේ ලොකුම සතුටක් ලබපු දවසක්. මම බේරාගත්තු තුන්දෙනා බොහෝම අහිංසක අය. ඒ අය ඉස්පිරිතාලෙ ඉඳලා ඇවිත් මින්නේරිය පොලිසියේදී මට හම්බ වුණා. පොලිසියේ මහත්වරු කිව්වා මගේ නැතිවෙච්ච බඩු ටික ගන්න අර අයගෙන් කීයක් හරි අරගෙන දෙන්නද කියලා. මම කිව්වා මට කීයක්වත් එපා. ඊට වඩා අර මිනිස්සුන්ගේ ජීවිත වටිනවා කියලා.
අන්තෝනි සෙල්වා සිය කතාව හමාර කරමින් අපගෙන් සමුගත්තේය.
ඔව්.... අන්තෝනි නුඹ.... අපේ කාලයේ වීරයෙකි. එසේම අපූරු සුන්දර මිනිසෙකි. නුඹට දීර්ඝායුෂ ලැබේවා.
හිඟුරක්ගොඩ - අතුල සූරියබණ්ඩාර
දිවයින
Last edited:

ඔය වගේ අවස්ථාවෙන් ප්රයෝජන කාල කන්නි ඉන්න නිසා තමා අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
අන්තෝනි සෙල්වරූබන් ඇත්තටම වටිනා මනුස්සයෙක් මේ වගේ අය තමා අපේ රටට ඕනා 

