ජ්‍යෙෂ්ඨයෝ හයදෙනෙක් ගෙදර යවයි...?
තුන්කොන් ක්‍රිකට් තරගාවලිය-බංගලාදේශය
ජ්‍යෙෂ්ඨයෝ හයදෙනෙක් ගෙදර යවයි...?
චමිල කරවිට
ශ්‍රී ලංකා-ඉන්දියා-බංගලාදේශ කණ්‌ඩායම් අතර ලබන ජනවාරි මස 04 වැනිදා ආරම්භ වන තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්‌ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 6 දෙනකු විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව "දිවයින"ට වාර්තා වෙයි.
මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, දිල්හාර ප්‍රනාන්දු, ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස්‌ව මෙසේ විවේක ගැන්වීමට තීරණය කර තිබෙන ක්‍රීඩකයන් වන අතර ඒ වෙනුවට යොවුන් ක්‍රීඩකයන් කීප දෙනකු කණ්‌ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව බලාපොරොත්තු වන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ පිළිබඳව "දිවයින"ට අදහස් දක්‌වා සිටි තේරීම් කමිටු නිලධාරියකු, දීර්ඝ ලෙස තරගවල නියෑලීම මත මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වෙහෙසට පත්වී සිටින බැවින් මොවුන්ව විවේක ගැන්වීමට තීරණය කළ බවත් යොවුන් ක්‍රීඩකයන් මේ දිනවල දක්‍ෂතා දක්‌වමින් සිටින බැවින් මේ අවස්‌ථාව ඔවුන්ගේ දක්‍ෂතා මැන බැලීමට හොඳ අවස්‌ථාවක් වන බවත් පවසා සිටියේය.
අවසන් එක්‌දින ඉනිම 59 දී එක් ශතකයක් පමණක් වාර්තා කර සිටින හිටපු නායක මහේල ජයවර්ධන ආබාධයක් හේතුවෙන් ඊයේ තරගයේදී විවේක ගන්වනු ලැබුණු අතර සෙසු ක්‍රීඩකයන් අතරින් මුත්තයියා මුරලිදරන් හා දිල්හාර ප්‍රනාන්දු ඇඟිලිවල ආබාධ මත පසුගිය ඉන්දීය තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාවට පැමිණියහ. මොවුන්ට අමතරව, තිළාන් තුෂාර, ධම්මික ප්‍රසාද්, ඇංජලෝ මැතිව්ස් සහ චානක වෙලගෙදර ඉන්දීය සංචාරය අතරතුරදී අබාධවලට ලක්‌වුණු ක්‍රීඩකයන් වූහ.
ආබාධයට ලක්‌වීම මත සිව්වැනි එක්‌දින තරගයට ක්‍රීඩා නොකළ චානක වෙලගෙදර ඉක්‌මන් සුවය ලබමින් ඊයේ තරගයට ක්‍රීඩා කිරීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම තිළාන් තුෂාරද දැන් සියයට සියයක්‌ම සුවය ලබා සිටියි.
නවකයකු ලෙස කණ්‌ඩායමට ඇතුලු වී ස්‌ථාවරය සකසාගෙන සිටින ඇන්ජලෝ මැතිව්ස්‌ටද අදාළ තුන්කොන් තරගාවලිය අහිමිවනු ඇත. ඉන්දීය එක්‌දින තරගාවලියේදී ආබාධයකට ලක්‌වීම මත මැතිව්ස්‌ට සති හයක පමණ කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් නියමිත වී තිබේ.
ඊයේ පැවැති තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී ඩිල්ෂාන්ගේ වැලමිට ප්‍රදේශයේ පන්දුවක් වැදීමෙන් ඔහු සුලු ආබාධිත තත්ත්වයකට පත්වූ අතර ඒ පිළිබඳව කිසිවක් ඊයේ සවස් වනතුරුත් අනාවරණය කර ගැනීමට නොහැකි විය.
ලබන 04 වැනිදායින් ආරම්භ වන මෙම තුන්කොන් තරගාවලිය ලබන 14 වැනිදා දක්‌වා බංගලාදේශයේදී පැවැත්වෙන අතර එහිදී තිසර පෙරේරා, මාලිංග බණ්‌ඩාර, සුරාඡ් රන්දීව් සහ සුරංග ලක්‌මාල් යන ක්‍රීඩකයන්ට නැවතත් කණ්‌ඩායමට පැමිණිමට අවස්‌ථාව උදාවන අතර, නවක ක්‍රීඩකයන් ලෙසින් ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල්ටද කණ්‌ඩායමට එක්‌වීමට බොහෝ විට ඉඩ ලැබෙනු ඇති බවට එම ආරංචි මාර්ගවල වැඩිදුරටත් සඳහන් වේ.
(Courtesy: Divaina 28 December 2009)