
චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා කණ්ඩායම් දොළහක් තරග වදින අතර එහි සුදුසුකම් ලැබීමේ තරගවලින් පරජයට පත්වූ ශ්‍රී ලංකාවේ ඌව නෙක්ස්ට් කණ්ඩායම යළි සිය රට බලා පැමිණියා. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයන් ලෙස චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ඌව නෙක්ස්ට් කණ්ඩායම යෝක්ෂයර් කණ්ඩායම සමග තරගයෙන් පරාජයට පත් වී අනෙක් තරගය වර්ෂාව නිසා ජය පරාජයෙන් තොරවද අවසන් aවී ශ්‍රී ලංකාවට පැමිණියා. ඌව කෙන්ස්ට් කණ්ඩායම තිළිණ කන්ඩම්බි විසින් මෙහෙයවනු ලැබුවා. ඌව නෙක්ස්ට් කණ්ඩායමට එසේ ආපසු එන්නට සිදු වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන එම තරගාවලියේ ප්රමුඛ භූමිකාවක් නිරූපණය කරනවා. ඒ දිල්ලි ඩෙයාර් ඩේවිල්ස් කණ්ඩායමේ නායකයා ලෙස. දිල්ලි ඩෙයාර් ඩේවිල්ස් කණ්ඩායමේ නායකයා වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා උදා කර ගත්තේ ශ්‍රී ලංකාව 2012 පන්දුවාර 20-20 ලෝක කුසලාන අනුශූරයන් වන්නටත් පෙරයි.
මහේල මෙන්ම තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනකු චැම්පියන්ස් ලීග් තරගාවලියේදී මෙවර තරග වදිනවා. ඒ අතරින් මාලිංග ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙක්. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස මාලිංග ක්‍රියාත්මක වෙනවා.
චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය 09 වැනිදා ආරම්භ වුණා. ඒ සුදුසුකම් ලැබීමේ තරග අදියරයෙන්. ප්‍රධාන කණ්ඩායම් අතර තරග ඇරඹුණේ ඊටත් දවස් හතරකට පස්සේ. ඒ කියන්නේ පසුගිය 13 වැනිදා. එදින පටන් ආරම්භ වුණු එම තරගාවලිය ලබන 28 වැනිදා දක්වා පැවැත්වෙනවා. අවසන් පූර්ව තරග 25 වැනිදා සහ 26 වැනිදා පැවැත්වෙනවා. චැම්පියන්ස් ලීග් තරගාවලිය අවසන් වන 28 වැනිදාට පසු දින දෙකකට පසුව තමයි නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඇරඹෙන්නේ.
තවත් තරගාවලියක් අත පොවන මානයේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනකු චැම්පියන්ස් ලීග් තරගාවලියේ තරග කරනවා. එම තරගාවලියටම සහභාගි වන ක්‍රීඩකයෙක් ලෙස ඔස්ටේ්රලියා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් හඳුන්වන්න පුළුවන්. එහිදී සිඩ්නි සික්සර්ස් කණ්ඩායම නියෝජනය කරන වොට්සන් වහා සිය රට බලා කැඳවීමට ඕස්ටේ්රලියා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව දැනුම්දීම පසුගිය සඳුදා වොට්සන් වෙත දන්වා තිබුණා. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔස්ටේ්රලියා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ලබන නොවැම්බර් 09 වැනිදා සිට ආරම්භ වෙන දකුණු අප්‍රිකා තරගාවලියට වොට්සන්ව සූදානම් කිරීමයි. ඒ සඳහා වොට්සන්ට අවශ්‍ය වන විවේකයත් ලබාදීම මෙම කැඳවීමේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
පසුගිය වසරේ ඕස්ටේ්රලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය අතරතුරදී වොට්සන් කලවයේ ආබාධයකට මුහුණ දුන් අතර එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ විවේකයක් නොමැති වීමයි. එම ආබාධය හේතුවෙන් අනතුරුව ඉන්දියාව සහ නවසීලන්තය සමග තම මව්බිමේදී සහභාගි වූ තරගාවලියේදී වොට්සන්ට එකම තරගයකට හෝ සහභාගිවීමේ අවස්ථාව අහිමි වුණා. එමෙන්ම මෙම වසරේ එක්සත් අරාබි එමීර්හිදී පාකිස්තානය සමග පැවැති තරගාවලියද වොට්සන්ට අහිමි වුණා.
දකුණු අප්‍රිකාව සමග තරගාවලිය නොවැම්බර් 09 වැනිදා ආරම්භ වීමට නියමිත වන අතර චැම්පියන්ස් ලීග් තරගාවලිය අවසානය දක්වාම ක්‍රීඩා කිරීමේ අවස්ථාව වොට්සන් සතුව පැවැතියත්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රතු පන්දුවට හුරුවීමද මෙම හදිසි කැඳවීමේ තවත් අරමුණක් වී තිබෙනවා.
සේවය රටට අවශ්‍ය අවස්ථාවේදී ඕස්ටේ්රලියානුවන් එවැන්නක් අනුගමනය කළද ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊටත් වඩා හාත්පසින්ම වෙනස් වීමේ විශේෂත්වයක් වෙනවා.
2011 වසරේ පැවැති අයි. පී. එල්. තරගාවලිය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරග සංචාරය එකම වකවානුවක යෙදී තිබුණු අතර එහිදී රටට ප්‍රමුඛතාව ලබා දෙමින් පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දන්වා යවනු ලැබුවා. ඒත් එයට පෙරළා ප්‍රතිචාර දුන් වේග පන්දු යවන ලසිත් මාලිංග සිය ටෙස්ට් තරග දිවියේ සමුගැනීම ප්‍රකාශයට පත් කිරීම කැපී පෙනුණා.
අදාළ සමු ගැනීමේදී මාලිංග සඳහන් කර සිටියේ, කෙටි කාලීන තරග සඳහා වැඩි නැඹුරුතාවක් දැක්වීම වෙනුවෙන් තමා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි.
මාලිංග එසේ සඳහන් කර සිටියද මීට සතියකට පෙර අවසන් වූ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී මාලිංග විසින් යවන ලද පන්දුවාර 4 තුළදී ලකුණු 54 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී කොදෙව් පිතිකරුවන් සමත්වීම විශේෂත්වයක් වුණා. ඒ වගේම මාලිංග අවසන් වරට සහභාගි වුණු එක්දින සහ පන්දුවාර විස්සයි - 20 බහුතරයක් තරගවලදී පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වීමද කැපී පෙනෙන්නක් වුණා.
ටී. එම්. ඩිල්ෂාන් ශ්‍රී ලංකා නායකත්වයට පත්වීමෙන් පසු සහභාගි වන ලද පළමු තරග සංචාරය වූ අදාළ තරග සංචාරයේදී කණ්ඩායමේ පිටත්වීමද කොටස් 4 කට සිදුවුණු අතර එහිදී නියමිත දිනට තරගාවලියට පිටව ගියේ අයි. පී. එල්. තරගාවලිය නියෝජනය නොකළ ක්‍රීඩකයන් පමණක් වුණා. එම තත්ත්වය මත පළමු පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට තරම් වූ ක්‍රීඩකයන් කණ්ඩායම සතු නොවූ බැවින් එවකට ප්‍රාන්ත තරගාවලිය නියෝජනය කිරීම සඳහා එංගලන්තයට ගොස් සිටි මහරූෆ්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිද්ධවීම කනගාටුදායක සිදුවීමක් වුණා.
ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ පවතිද්දී තම ප්‍රධාන සගයා වන ෂේන් වොට්සන්ව කැඳවීම සම්බන්ධව අදහස් දක්වා ඇති ඕස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක්, විවේකය මඳ කම මත වොට්සන්ගේ සේවය අවසන් තරගාවලිවලදී තමන්ට අහිමිව ගිය බවත් එම තත්ත්වයම මෙවර තරගාවලියේදී තමන්ට අත්කර ගැනීමට කිසිදු උවමනාවක් නැති බවත් සඳහන් කර තිබුණා.
ශ්‍රී ලංකා සහ ඕස්ටේ්රලියා ක්‍රිකට් ආයතනයේ මෙන්ම ශ්‍රී ලංකා සහ ඕස්ටේ්රලියා ක්‍රීඩකයන් අතර වෙනසද එයයි. කෙසේ වෙතත් වොට්සන්ට ඉදිරි තරගාවලියේදී එක වරම රතු පන්දුවට හුරු වීමට තිබුණත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නවසීලන්තය හමුවේ පළමුව ආරම්භ වෙන්නේ සීමිත පන්දුවාර තරග නිසා රතු පන්දුවට හුරු වීමේ නිර්ණායකය අදාළ වන්නේ නැහැ. ඒත් විවේකය මදිකම නම් වොට්සන්ටත් වඩා මහේලට සහ මාලිංගට බලපානු ඇත. මන්ද මේ ක්‍රීඩකයන් දෙදෙනාම එක දිගට බොහෝ තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති නිසා.
කුෂාන් සුබසිංහ
IPL එකේ වැටෙන back to back yorker රට වෙනුවෙන් ගහන මැච් වලදී වැටෙන්නේ නැත්තේ ඇයි?
Last edited:



