මේක දිග හෑල්ලක් වෙයි. කැමති නම් විතරක් කියවන්න.
චීන වාහන කවදා හරි දවසක ලෝකයේ හොඳ වාහන අතරට ඒවි. නමුත් ඒ දිනය එන්නේ කවදාද කියන එක ගැන නම් මම අනාවැකි කියන්නේ නැහැ. මම නම් චීන හෝ කොරියන් වාහනයක් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒක මගේ වයසේ අයට තියන ප්‍රශ්නයක් මිසක් වාහන වල කොලිටි එකේ ප්‍රශ්නයක් නොවෙයි.
60, 70 දශක වල අපේ තාත්තලාගේ පරම්පරාව කාලේ ජපන් වාහන සැලකුවේ බාල වාහන හැටියටයි. ඒ කාලේ බ්‍රිටිෂ්, ජර්මන්, ෆ්‍රෙන්ච්, ඇමරිකන් වාහන තමයි හොඳ වාහන හැටියට සැලකුවේ. 70 දශකයේ අග භාගේ (මම ලයිසන් ගන්න කිට්ටුව) අපේ ගෙදර තිබුන විලීස් ජීප් එක විකුනලා වෙනත් වාහනයක් ගන්න කොට, මට ඕනෑ උනේ 4DR5 එකක් ගන්නයි. නමුත් තාත්තාගේ තේරීම උනේ හපුටු ලෑන්ඩ් රෝවර් එකක්. ඒ තමයි ඒ කාලේ හැටි.
80 දශකය වෙනකොට ජපන් වාහන හොඳයි කියන එක හැමෝම පිළිගත්තත්, හුයන්ඩායි, කියා, වගේ කොරියන් වාහන වලට පිළිගැනීමක් තිබුනේ නැහැ. නමුත් 2000 න් පස්සේ විතර ඒ තත්ත්වයත් වෙනස් වෙලා, හුන්ඩායි වලට එහෙම දැන් සෑහෙන හොඳ පිළිගැනීමක් තියනවා.
මහේන්ද්‍ර ඇන්ඩ් මහේන්ද්‍ර (ඉස්සර ඒ වාහන හැඳින්වුණේ එහෙමයි) වගේ ඒවා දැන් අවුරුදු පනහක් හැටක් හෝ ඊටත් වැඩි කාලයක් (මහේන්ද්‍ර ජීප් 60, 70 දශක වලත් ලංකාවේ තිබුනා) තිස්සේ හැදුවත්, ඉන්දියන් කාරයන්ගේ තියන ගොරහැඩි, රළු, නොසැලකිලිමත් ගතිය නැති කරගන්න තවමත් බැරි වෙලා. ඒවා හැදිලා එනකොට චීනා ලෝකයේ වාහන වෙළඳපොල අල්ලාගෙන ඉවර වෙලා තියෙයි.
ලංකාවේ වාහන පාවිච්චි කරන අය බහුතරයක් වාහන පාවිච්චි කරන්නේ තමන්ගේ ගමන් පහසුව සලසා ගැනීම මුල් කරගෙන නොවෙයි. ඉන්ධන කාර්යක්ෂමතාවය, සමාජ/ආර්ථික තත්ත්වය පෙන්නීම, ආයෝජනයක් හැටියට, එහෙම නැතිනම් ලස්සනට තියාගන්න වගේ නොවැදගත් කරුණු මුල් කරගෙනයි. දියුණු රටවල මිනිස්සු වාහන පාවිච්චි කරන්නේ ආරක්ෂාකාරීව, විශ්වාසදායකව, ගමන් පහසුව/ප්‍රවාහන අවශ්‍යතා සලසා ගැනීමට හෝ වෙනත් විශේෂිත අවශ්‍යතා සඳහා යි. ඒ නිසා තමයි අඩු මිලට තියන චීන, කොරියන් වාහන වලට ඉහල ඉල්ලුමක් තියෙන්නේ . මේ ගැන මගේ අත්දැකීමක් කියන්නම්.
මීට වසර විසිපහකට තිහකට පෙර මා සේවය කල සමාගම අපේ දැනුම වැඩි කිරීමට ගේ දොර/ ඉඩම් මිලදී ගැනීම, වාහන මිලදී ගැනීම, ආයෝජනය කිරීම වැනි ක්ෂේත්‍ර වල උපදේශකයන් ගෙන්වා අපිට දේශන පවත්වනවා. එයින් වාහන මිලදී ගැනීම ගැන කියූ දේවල් තාමත් මතකයි.
ඒ කාලේ කොරියන් වාහන වලට තිබුනේ අද කාලේ චීන වාහන වලට තියන (නො)පිළිගැනීමයි. එක හා සමාන කොරියන්/ජපන්/ජර්මන් වාහන තුනක මිල ගණන් ඩොලර් 15,000/30,000/45,000 ලෙස වුනා. (මේ වාහන මිලදී ගන්නේ ණය ට කියන එකත් කිව යුතුයි.) එයින් කොරියන් වාහනයක් අවුරුදු පහකුත්, ජපන් අවුරුදු 10/ ජර්මන් අවුරුදු 15 කුත් කරදරයකින් තොරව පාවිච්චි කිරීමට හැකියි. වාහන තුනටම වසර 5 ක වොරන්ටියක් ලැබෙනවා. වසර පහකට roadside assistance නොමිලේ ලැබෙනවා. වසර පහකට වරක් ටයර්/බැටරි අළුතෙන් දැමිය යුතුයි. $15,000/30,000/45,000 ලෙස ණය වාරිකය හා පොලිය ගෙවිය යුතුයි. වසර පහක් අවසානයේ කොරියන් වාහනය ඩොලර් 5000 කට විකිණිය හැකියි. වසර 10 අවසානයේ ජපන් වාහනය ඩොලර් 2500 කට විකිණිය හැකියි. වසර 15 අවසානයේ ජර්මන් වාහනය යකඩ බරට ඩොලර් 50 කට (ඒකත් ගෙනිහින් දුන්නොත් විතරයි, ඇවිත් අරං යන්නේ නිකං) විකිණිය හැකියි. මේ අනුව, කොරියන් වාහනයක් 15,000 කට අරං වසර 5 කට වරක් ඒක විකුණා අලුත් එකක් ගැනීම ඉතාම ඥානාන්විත තේරීමයි. පිළිතුර දිග වෙන නිසා මෙහි නොකියූ කරුණු විශාල ගණනක් මේ සඳහා හේතු වෙනවා.මේ නිසා ඉතාම නුවණක්කාර තේරීම වෙන්නේ අඩු කුලේ කොරියන් වාහනයයි. මේ තත්වය වර්තමානයට ආදේශ කලාම, අඩු කුලේ, ලාබ, චීන වාහනයක් හොඳම තේරීම වීම වලක්වන්න බැහැ. දැන් ඕස්ට්‍රේලියාවේ බලන බලන පැත්තේ MG වැහි වැහලා. ඩොලර් 23,000 ඉඳලා තියන MG එකට සමාන හොන්ඩා HRV (ලංකාවේ නම් වෙසල්) එකක් 36,000 වෙනවා. සුබාරුත් ඒ හා සමානයි. ඉතින් හොන්ඩා හෝ සුබාරු දෙකක් ගන්නා මුදලට MG තුනක් ගන්න පුළුවන්.