මේකට ඔව් හෝ නැහැ කියලා උත්තරයක් දෙන්න පුළුවන්කමක් නැහැ. මට හිතෙන විදියට මම සිංහලෙන් උත්තරයක් ලියන්නම්. (මා මේ කියන්නේ පළමුවන ලෝකයේ රටවල් ගැන මිසක් මැද පෙරදිග හෝ වෙනත් 'දියුණු වෙමින්' පවතින රටවල් ගැන නොවේ)
බොහෝ වෙලාවට පිටරට ජීවිතයේ වැරදි/නරක කියමින්, එහිදී සංක්‍රමණිකයන්ට ලැබෙන්නේ දෙවන පන්තියේ පුරවැසිකමක් වැනි කියමන් කියන බහුතරයක් එසේ කියන්නේ ඔවුනට කිසිදා පිටරටකට සංක්‍රමණය වීමට අවස්තාවක් නොලැබෙන නිසා ඉරිසියාවටයි.
ඒ වාගේම ලංකාවේදී "ජීවිතයක්" තිබුනේ නැති, කොහොම හරි පිටරටකට පැනගත්ත කෙනෙක් ඒ රට ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමත් බහුලව සිද්ද වෙන දෙයක්.
ඇත්ත තත්වය මේ දෙකම මැද හරියේ තියනවා කියලයි මට හිතෙන්නේ.
ඒ වගේම දියුණු රටකට සංක්‍රමණය වෙලා, ඊට පස්සේ ඒ රටේ සමාජයේ සංකර බව සහ අපේ හැදියාවට නොගැලපෙන බව ගැන කං කෙඳිරි ගානවානම්, සුද්දන් තමන්ට වඩා උසස් යැයි හීනමානයෙන් පෙලෙනවානම් එහි නොයන එක හොඳයි. නමුත් මෙයින් අදහස් වෙන්නේ නැහැ අපිත් සුද්දෝ කරන නරක වැඩ සියල්ලම අනුමත කරලා අපිත් ඒ විදියටම කල යුතුයි කියලා.
නීත්‍යානුකුලව වීසා/ස්ථිර පදිංචි/පුරවැසි කම තියනවානම් හෝ ලබාගත හැකිනම්, ජීවත් වීමට ආදායමක් ලැබෙන රැකියාවක් තියනවානම් හෝ ලබා ගැනීමට සුදුසුකම් තියනවානම්, මහන්සි වී වැඩ කිරීමට සුදානම් නම්, දියුණු රටක තියන/ලැබෙන පහසුකම් කොහොමවත්ම ලංකාවට සමාන කරන්න බැහැ.
සුද්දෝ කියන්නෙත් අපි වගේම මිනිස්සු. උන් අතරත් මහත්වරු වගේම නසරානියොත් ඉන්නවා. නමුත් බහුතරයක් හොඳ මිනිස්සු. "රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕනෑ" කියන කියමන ටිකක් හරි පිළිපදින්න අකමැති අයට නම් සංක්‍රමණික ජීවිතය නීරස වෙන්න පුළුවන්.
පාසලේ වැදගත්ම තැනැත්තා සිසුවා මිස ප්‍රින්සිපල් නොවන බවත්, රෝහලේ වැදගත්ම තැනැත්තා රෝගියා මිස දොස්තර නොවන බවත්, පෝලිමක් තියෙන්නේ සමාජ තත්වය, දුප්පත් පොහොසත් භේදය හෝ හිතවත්කම් මත හොරෙන් පනින්න නොව තමන් පැමිණි අනුපිලිවෙල රැකීමට බවත්, උදේ 8.00 කියන්නේ 8.15/8.30 නොවන බවත් හවස 5.00 කියන්නේ 4.30/4.45 නොවන බවත්, රජයේ කාර්යාල කටයුත්තක් කිරීම යනු, එය ඉටු කල හැකි ආකාරයක් සොයනවා විනා ඉටු නොකර සිටීමට හේතු ඉදිරිපත් කිරීම නොවන බවත් මෙවැනි දියුණු රටවල ජනතාවගෙන් 99.9% ක්ම දන්නවා. නමුත් මේ හැදියාව නොදන්නා නසරානියෙකුත් (නැහැදිච්ච සුද්දෙක්, චීන්නු, ඉන්දියානුවෝ, ඒ විතරක් නොවේ, අපේ අයත්) බොහොම කලාතුරකින් දකින්න පුළුවන්. ඒ නිසා කොතරම් දියුණු රටක උනත් නොහොබිනා/ අනීතික/සමාජ විරෝධී දේවල් ""කලාතුරකින්"" සිදුවෙන්න පුළුවන්.
තමන්ගේ උගත්කමෙන්, මහන්සියෙන්, නීත්‍යානුකුලව උපයා ගත් දෙයින් අනිකුත් සියලුම පුරවැසියන් හා සමානව හිත සැනසීමෙන් ජීවිතයක් ගත කිරීමේ අවස්තාව ලැබෙන්නේ ""දියුණු රටකට සංක්‍රමණය උනොත් පමණයි"". ලංකාවේ ඒ තත්ත්වය ලැබීමට නම් දේශපාලුවෙක්, දේශාපාලුවෙකුට රෙදි නැතිව කඩේ යන කෙනෙක්, හෝ නීතියට ඉහලින් සිටිය හැකි තරමට ධනවතෙකු විය යුතුයි. උගත්කම ලංකාවට අදාළ නැහැ.
අවසානයට කියන්න තියෙන්නේ මම ලංකාව හෙලා දකින කළු සුද්දෙක් නොවන බවත්, ඒ උනාට ලංකාව කියන්නේ උගත්කමක්, සමාජ හැදියාවක් ඇති නීතිගරුක පුද්ගලයන්ට ජීවත් වීමට සුදුසු, ඔවුන්ගේ දූ දරුවන්ට දීප්තිමත් අනාගතක් ලබා දිය හැකි රටක් නොවන බවත්ය. මේක තනිකරම මගේ අදහස මිසක් මේ කරුණු ගැන ගැන ප්‍රති විරෝධී අදහස් දරන්නවුන් ගැන මගේ අමනාපයක් නැහැ.