“ජාතික සමගිය තුළින් සමාජ ඒකාබද්ධතාව” යන්න තේමා කර ගනිමින් 2014 සරුංගල් උත්සවය අද දිවයිනේ වෙරළ තීර 7කදී පැවැත්විණ.
ගාලු මුවදොර පිටියේ පැවැති ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මෙම සරුංගල් උත්සවය සංවිධානය කළ අතර, ඊට දායකත්වය දැක්වූයේ නිව්ස් ෆස්ට්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සංවිධාන එකමුතුව සහ කයිට්ස් ශ්‍රී ලංකා සංවිධානයයි.
අද පස්වරුවේ ගාලු මුවදොර පිටියට පැමිණි ජනාධිපතිවරයා එම උත්සවයට එක් වෙමින් සරුංගලයක් ගුවනට යැවු අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද ඊට සහභාගි විය.
අනතුරුව එහි පැමිණ සිටි පිරිස සරුංගල් උත්සවයට සහභාගි වුණේ ජාතික එකමුතුව ප්‍රදර්ශනය කරමින් ය.
මෙම උත්සවයේ තවත් අංගයක් වුයේ විවිධ සංස්කෘතීන් නියෝජනය වන පරිදි ආහාරපාන සකස් කර එම ස්ථානයේදී භුක්ති විඳින්නට ඉඩ සලසා දීමයි.
ජනාධිපතිවරයා ද ඊට එක් විය.
සමාජ ඒකාබද්ධතාව, විවිධත්වය තුළ එකමුතු බව, යන පණිවුඩ ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් විවිධ සංස්කෘතීන් නියෝජනය වන ලෙස එහිදී සංස්කෘතික උළෙලක් ද පැවැත්විය.
ගාලු මුවදොර පිටියේ පැවැති උත්සව භූමියේ භාෂා කුටියක්ද සකස් කර තිබු අතර,එහි අරමුණ වුයේ සෑම භාෂාවක් පිළිබඳවම දැනුවත් භාවයක් ලබා දීමයි.
මෙම ප්‍රධාන උත්සවයට සමගාමීව හම්බන්තොට, ගාල්ල, මුලතිව්, පේදුරුතුඩුව සහ මඩකලපුව කල්ලඩි වෙරළ තීරවලදී ද සරුංගල් උත්සව පැවැත්වූහ.
-News First