Plugs and Sockets ප්‍රමිතිකරණය

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Plugs and Sockets ප්‍රමිතිකරණය

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජන අදහස් විමසීම විදුලි පේනු සහ කෙවෙනි (Plugs and Sockets) ප්‍රමිතිකරණය සදහා යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම

    electricity-type-G-socket-300x298.jpg


    විදුලි පේනු සහ කෙවෙනි සම්බන්ධයෙන් ප්‍රමිතියක් හදුන්වාදීම සහ ප්‍රමිතිගත විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට මාරුවීම සදහා මෙරට විදුලිබල කර්මාන්තය සුදානම් කිරීමේ අරමුණ ඇතිව අනෙකුත් නියාමන ආයතනයන්ගේ ද සහභාගිත්වයෙන් අත්‍යවශ්‍ය රෙගුලාසි සකස්කීරීමට විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
    2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 3 1 (උ) සහ 4 1 (අ) යටතේ සකස් කල විදුලි පේනු සහ කෙවෙනි සදහා ප්‍රමිති හදුන්වාදීම පිළිබද උපදේශන පත්‍රිකාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම වාර්තාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය. එහි මුද්‍රිත පිටපතක් පරිශීලයනය සදහා කොමිෂන් සභා කාර්යාලයේ ද තබා ඇත. විදුලි පේනු සහ කෙවෙනි ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් මෙම උපදේශන පත්‍රිකාවේ දක්වා ඇති යෝජනා පිළිබද මහජන අදහස් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 (ආ) වගන්තිය යටතේ මහජන උපදේශනයක් ද පැවත්වීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.
    ඉහත සදහන් උපදේශන පත්‍රිකාව සදහන් විදුලි පේනු සහ කෙවෙනි වලට අදාල ප්‍රමිතිකරණ යෝජනා සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය. ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමේදී පහත එම උපදේශන පත්‍රිකාවෙහි සදහන් නිශ්චිත ක්ෂේත්‍ර පදනම්කරගෙන ඔබගේ අදහස් ඉදිරිපත් කළ යුතු වේ.
    (i) විදුලි පේනු (Plugs) : ජී වර්ගයේ පේනු හැරුණු කොට වෙනත් වර්ගවල පේනු සහිත විදුලි උපකරණ ආනයනය කිරීම හෝ නිෂ්පාදනය කිරීම 2016 මැයි මස 1වැනි දින සිට තහනම් කිරීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
    (ii) විදුලි කෙවෙනි(Sockets): දැනටමත් සවි කර ඇති ඕනෑම වර්ගයක බිත්ති කෙවෙනි ඒවායේ ප්‍රයෝජනවත් ආයු කාලය අවසන් වන තෙක් තබා ගැනීමට ඉඩදීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
    (iii) ගෘහ විදුලි පරිපථ සදහා රැහැන් ඇදීම: ජී වර්ගයේ සම්මත පේනුවට සහ කෙවෙනියට මාරුවීම නිසා දැනට භාවිතයේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති වෙනස්කිරීම අවශ්‍ය නොවන බවත් පවත්නා රැහැන් පද්ධතිවල ප්‍රයෝජනවත් ආයු කාලය අවසන් වන තෙක් භාවිත කළ හැකි බවටත් කොමිෂන් සභාව යෝජනා කරයි.
    (iv) නව ප්‍රමිතියට මාරුවීම: රැහැන් පද්ධතිය වෙනස් නොකර සවිකර ඇති පැරැණි කෙවෙනියක් වෙනුවට සම්මත ජී වර්ගයේ කෙවෙනියක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකුගේ දැනගැනීම පිණිස සම්මත ජී වර්ගයේ කෙවෙනියෙහි අදාල ආරක්ෂිත අවශ්‍යතා පිළිබද තොරතුරු සදහන් කර තිබිය යුතු බවට කොමිෂන් සභාව යෝජනා කරයි. මෙම විශේෂයෙන් සලකුණු කළ කෙවෙනිය 2017 මැයි මස 1වැනි දින සිට වසර 20ක් අවසාන වන තෙක් මිල දී ගැනීමට තිබෙනු ඇත.
    (v) භාවිතකරන්නන්ට උපදෙස්: කෙවෙනි නිවැරදි ප්‍රමාණයේ රැහැන් වලින් හා විලායකින් හෝ පරිපථ කඩනයකින් සමන්විත වන බවට සහතික කිරීම පිණිස 2017 මැයි මස 1වැනි දින සිට අලෙවි කරන සියලුම ජී වර්ගයේ කෙවෙනිවල ඒ බව සඳහන් උපදෙස් පත්‍රිකාවක් තිබිය යුතු බවට හෝ උපදෙස් පෙට්ටිය මත මුද්‍රණය කළ යුතු බවට කොමිෂන් සභාව යෝජනා කරයි.
    (vi) ඇඩප්ටර: ආරක්ෂාවට තර්ජනයක් වන “බහු-කෙවෙනි”(Multi Socket) ඇඩප්ටර ආනයනය කිරීම 2016 මැයි 1වැනි දින සිටත් ඒවායේ අලෙවිය 2017 මැයි මස 1වැනි දින සිටත් තහනම් කිරීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
    (vii) විතති රැහැන්: දුර්වල සම්බන්ධතා සහිත අනාරක්ෂිත රැහැන් දිගු සහ බහුවිධ කෙවෙනි ආනයනය කිරීම 2016 මැයි 1වැනි දින සිට තහනම් කිරීමටත් 2017 මැයි මස 1වැනි දින සිට ඒවායේ ආලෙවිය තහනම් කිරීමටත් කොමිෂන් සභාව යෝජනා කරයි.
    (viii) කූරු දෙකේ පේනු: 2016 මැයි 1 වැනි දා සිට කූරු දෙකේ පේනු වෙනුවට අනුමත දිවිත්ව පරිවාරක සහිත කූරු තුනකින් යුත් පේනු සහිත උපකරණ පමණක් නිෂ්පාදනය හා ආනයනය කළ යුතු බවට කොමිෂන් සභාව යෝජනා කරයි.
    ඔබගේ අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත 2015 ඔක්තෝබර් මස 21 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු වේ. ලිඛිත ඉදිරිපත් කිරිම් පහත සදහන් ලිපිනය¸ ඊමේල් ලිපිනය හෝ ෆැක්ස් අංකය හරහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.
    ඊමේල්: [email protected]
    ෆැක්ස්: 011-2392641
    ඔබේ අදහස් සජීවිව කොමිෂන් සභා වෙබ් අඩවිය www.pucsl.gov.lk ඔස්සේ ද ඉදිරිපත් කළ හැකිය
    ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික අදහස් දැක්වීමේ අදියර 2015 ඔක්තෝබර් මස 29 වන පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වීමට සැළසුම් කර ඇත. මේ සදහා සහභාගිවී අදහස් දැක්වීමට කැමත්තක් දක්වන අය සිය ලිඛිත අදහස් දැක්වීම් එවන විට ඒ බව සදහන් කර එවිය යුතු වේ.
    වැඩිදුර විස්තර සදහා: ආර් පී තිලකරත්න මහතා අමතන්න 077 2 681 425


    http://www.pucsl.gov.lk/sinhala/wp-...er-Draft-MK-JRL-TS-25-Aug-2015-to-PUCSL-4.pdf