Rail Hike - ඉදල්ගස්හින්න

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    Rail Hike - ඉදල්ගස්හින්න

    රේල් හයික් - ඉදල්ගස්හින්න
    දුම්රිය සේවය යනු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ආරම්භ කරන ලද ප්‍රධානම සහ ඉතා වැදගත් සංවර්ධන කාර්ය වේ . ශ්‍රී ලංකාවේ වතු වගාව ආරම්භ කර එම ආදායමෙන් සිදු කළ ප්‍රධානම ආයෝජනය වන්නේද මෙම දුම්රිය ප්‍රවාහන පද්ධතිය නිර්මාණය කිරීමයි.මේ සදහා ඔවුන් කොපමණ ලාභයක් ලබන්නට ඇද්ද?.
    ප්‍රාරම්භක අවධියේ දී අපනයන භාණ්ඩ වරාය වෙත ප්‍රවාහනය කිරීමට ප්‍රමුඛව ස්ථානය ලබා දෙමින් මෙම මාර්ගය සිතියම සැලසුම් කළ අතර පසු කාලීනව එය මගී ප්‍රවාහනය දක්වා වර්ධනය විය . බ්‍රිතාන්‍ය ජාතිකයින් අප මාතෘ භූමියෙන් ලාභ ලබාගනිමින් හෝ මෙසේ ඉදිකළ දුම්රිය මාර්ග පද්ධතියෙන් කොටස් කිහිපයක් පසුකාලීනව බලයට පත්වන ශ්‍රී ලංකික දේශපාලන අධිකාරිය විසින් ගලවා ඉවත් කිරීම ජාතියේ අවාසනාවකි.
    ඒ අතරින් ප්‍රමුඛතම දුම්රිය මාර්ගය වන්නේ අවිස්සාවේල්ල රත්නපුර කහවත්ත ඕපනායක දක්වා වැටී තිබූ මාර්ගයයි
    මීට අමතරව අවිස්සාවේල්ල යටියන්තොට දුම්රිය මාර්ගය, නානුඔය උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයයි හඳුනා ගත හැකිය.
    අද වන විට එම ඉඩම් වල විවිධාකාර සංවර්ධන කටයුතු සිදු කර ඇති බැවින් නැවතත් එම ඉඩම් භාවිතා කර කර දුම්රිය මාර්ගයක් තැනීම සිහිනයක් වන මට්ටමට පත් වී හමාරය . නමුත් කොලෝනියල් යුගයේ අවතාර ලෙස හඳුනාගත හැකි ඉපැරණි ගොඩනැගිලි කොටස් මෙම මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඇති අතර ඒවා අද විවිධාකාර රාජ්‍යහෝ පොදු ස්ථාන ලෙස භාවිතා කරනු ලබයි. එලෙස හෝ එම ස්ථාන ආරක්ෂා වී තිබීම පැරණි මතකයන් අලුත් කරවමින් අමුතුම ආකාරයේ සෞන්දර්යක් නිර්මාණය කරනු ලබයි .
    උඩරට දුම්රිය මාර්ගය වැටි ඇති පරිසරය සොබාදහම් දිනිතියගේ චමත්කාර නිමැවුම් ලෙස අපට හඳුනාගත හැකි ඉතා මනස්කාන්ත මං පෙතකි. මෙම මාර්ගයේ පා ගමනින් ගමන් කිරීම ලාංකික සංචාරකයන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් යොමු වන ක්‍රියාදාම සංචරනයකි.
    එලෙස එක්වන ක්‍රියාදාම ගවෙෂණයන් සොයා යන සංචාරකයන්ගේ තෝරා ගැනීම් අනුව ඉතා ජනප්‍රිය මාර්ග කොටස් වන්නේ
    1. ඉදල්ගස්හින්න - ඔහිය - දුම්රිය ස්ථාන දෙකක් අතර ඇති වැඩිම බිං ගෙවල් සහිත කොටස
    2. ඔහිය - පට්ටිපොල - ලංකාවේ දුම්රිය මාර්ගයක ඇති ඉහලම ස්ථානය (summit point) පිහිටි කොටස
    3. නානුඔය - අඹේවෙල - දුම්රිය පොළ දෙකක් අතර ඇති වැඩිම දුර සහිත කොටස
    4. ඇල්ල - දෙමෝදර - ආරුක්කු 9 පාලම, ආරුක්කු 4 පාලම , දෙමෝදර රේල් ගැටය, දෙමෝදර කළු පාලම( රේල් ගැටය සහ කළු පාලම ඇත්තේ දුම්රිය පොලෙන් පසුව ඇති පළමු කිලෝමීටරය තුලයි)
    5. හපුතලේ - ඉදල්ගස් හින්න - තංගමලේ අභය භුමිය හරහා වැටි ඇත.( මෙහි කන්ද නැග අනික් පස බැවුම බලු විට සුප්‍රසිද්ධ adisham bungalow දැක ගත හැකිය.)
    6. ඇල්ල - කිතල්ඇල්ල - මෙහි අතරමග කිතල් ඇල්ල නම් දිය ඇල්ල දර්ශනය වන ස්ථානයක්, පැරණි යකඩ පාලමක් ඇති අතර සුප්‍රසිද්ධ ඇල්ල රොක් වෙත පිවිසීමේ පෙත් මග ලෙස බොහෝ විට විදේශිකයින් සහ සමහර දේශීය සංචාරකයන් මේ කොටස භාවිත කරයි.
    ඉදල්ගස්හින්න යනු මහවැලි ගං මිටියාවත වලවේ ගං මිටියාවත මැදිව කන්දක් මුදුනේ නිර්මාණය කර ඉතා සුන්දර දුම්රිය ස්ථානයකි.ඒ අවට පිහිටුවා ඇති ලයින් කාමර වල වෙසෙන ජනයා සඳහා ඇති ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය දුම්රිය සේවයයි. මෑතකදී තිරගත වූ ටෙලිනාට්‍ය කීපයක් සදහා මෙම දුම්රිය ස්ථානය location ලෙස තෝරාගෙන ඇත්තේද මෙම ස්ථානයේ ඇති අලංකාරවත් පරිසරය නිසාය.
    ඉදල්ගස්හින්නට පැමිණේ නම් පැමිණේ නම් A4(CRWB) මාර්ගයේ හපුතලේ දක්වා පැමිණ පැමිණ හපුතලේ සිට දුම්රියෙන් පැමිණිය යුතුය.
    උදේ පාන්දරින් පිටත් වීමේ වාසිය ලබා ගනිමින් උදේ 7.41 පළමු දුම්රිය වන උඩරට මැණිකේ මගින් අප ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට පැමිණි අතර ඝන මීදුමකින් වැසිඇති දුම්රිය ස්ථානය අවට පරිසරය මිහිපිට ඇති පාරාදීසයක් ලෙස අපට පෙනුනි . (මෙම මාර්ගයේ බදුල්ල අන්තයේ සිට පැමිණෙන දුම්රිය වේලාවන් බොහෝ දුරට දක්වා ඇති වේලාවන් සමග පොඩි එහා මෙහා වීම් (reliable) වන අතර කොළඹ සිට පැමිණෙන දුම්රිය වුවද ඉතා දිගු ප්‍රමාද වීම් බොහෝ අවස්ථාවල සිදු වන්නේ නැත.
    මෙම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යනු තවත් විශේෂත්වයක් වන්නේ ඉදිරිපස වහලේ ජලය මාතොටිල්ල ඔය ලෙස මහවැලි ගඟට එකතුවන ඔයේ මුල් දිය සීරාවන්ට එකතුවන අතර පසුපස වහලේ ජලය වේලි ඔය ලෙස සමනල වැවට එක්වී වලවේ ගඟ පෝෂණය කරන ඔයේ මුල් දිය කඳුරු වලට එකතු වීමයි.
    මෙම ස්ථානයේදී ස්ථානයේ දී අපට වලවෙ ගං මිටියාවත ඉතා හොඳින් දර්ශනය වන අතර පැහැදිලි දවසක සමනලවැව ජලාශයට ඔබ්බෙන් වූ තැනිතලා බිම් තීරු වුවද ඉතා පැහැදිලිව දැක ගත හැකිය.
    දුම්රිය ස්ථානයෙන් මදක් පහලට ගියවිට ඉදල්ගස්හින්න ලෙන පසු කර හල්දුම්මුල්ල (A4 මාර්ගය) දක්වා ඉතා අලංකාර පෙත් මඟ ඔස්සේ පහළට බැසිය හැකිය.
    ඉහලට යන්නේ නම් ආසන්නයේ ඇති ලයින් කාමර දෙකක් අතරින් වැටි ඇති අඩි පාරක් ඔස්සේ ඉදල්ගස්හින්න කන්ද දක්වා ලඟා විය හැකිය. මෙය විනාඩි 45ක් රූපයත් පමණ ගතවන ගතවන විට සුන්දර ගමන කි.මුලින්ම ලයින් කාමර කිහිපයක් කීපයක් පසුකර තේවත්තක් මැදින් ඉහළට ගිය විට ඉතා යොමු වී ඇත පහසුවෙන් හඳුනාගත හැකි අඩිපාරක් ඔබ කන්ද වෙත ගෙනයයි. අතරමගදී පහල ඇති ලැයිම් කාමර වෙත ජලය ගෙන යන ගෙනයන විශාල යන විශාල වතුර ටැංකියක් ඇති අතර මෙම ගමන තුල ජලය සොයා ගැනීමේ ස්ථාන සොයා ගැනීම දුෂ්කර බැවින් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් ස්ථානයෙන් බෝතල් වලට ජලය පුරවාගෙන යාම නුවණට හුරුය.
    තේ වත්ත හරහා ඇති පෙත්මග ඔස්සේ නැග ගෙන ගිය පසු ෆයිනස් වගා කරන ලද දල නැග්මක් සහිත වන කොටසක් තරණය කිරීමෙන් මෙහි පළමු view point එක සහ ප්‍රසිද්ද ඉදල්ගස්හින්න කඳු ගැටය මතට පිවිසිය හැකිය . ඈත දෙපසට ගංගා නිම්න දෙකක් සාදන බැවුම සහිත ඉදල්ගස්හින්න දුම්රිය පොළ පිහිටි කඳු ගැටයත් සමනලවැව දක්වා විහිදී ඇති වලවේ මිටියාවතත් අතරින් පතර ඝන වලාකුළු තට්ටුවකින් වැසි යන අවට පරිසරයත් ගෙන එනු ලබන්නේ මිල කළ නොහැකි ආශ්වාදයකි. මෙම ස්ථානයේ ඇති දළ මොහොර බෑවුම මතින් වැටි ඇති කුඩා පෙත් මගක් මෙහි තවත් අඩි කිහිපයක් පමණක් උස මුදුන පෙන්වා දෙන අතර කඹ භාවිතා කර එම බෑවුම සහිත පර්වතය තරණය කිරීම සිදු කල හැකි වුවත් අප එම අදහස ඇත හැර දැමිය.
    ඉදල්ගස්හින්න දුම්රිය පොළ යනු ජනශුන්‍ය නිස්කලංක දුම්රිය ස්ථානයක් වන අතර ආපසු එන ගමනේදී උදෑසන ආහාරය ගන්නේ නම් ඊළඟ දුම්රිය පැමිණෙන තුරු ඉතා පහසුවෙන් එම අවශ්‍යතාවය සපුරා ගත හැකිය.
    ඉදල්ගස්හින්න - ඔහිය යන මාර්ග කොටස යනු දුම්රිය පලවල් දෙකක් අතර වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයයි . මෙහි බිං ගෙවල් 14 ක් ඇති අතර ඉන් 8ක් ම දෙකෙළවර නොපෙනෙන දිගු සහ අඳුරු බිං ගෙවල් වේ.
    අතරමඟ යුකැලිප්ටස් වන වගාවක් සහිත පාලු කඳු බැවුම් සහිත මෙම මාර්ග කොටසේ ඇති කරන බිය ජනක තනිකම අමුතුම වර්ගයේ ආශ්වාදයකි. එම ගුප්ත පරිසරයේ කොලෝනියල් අවතාර ලෙස දක්නට හැකි යකඩ සිල්පර සහ අඳුරු බිංගෙවල් හැරුණු විට වෙනත් මිනිස් පුළුටක් මෙහි නොමැත.
    වවුල් වසුරු වලින් පිටවන නයිට්‍රජන් පොස්පේට් වලට අනුයාත කටුක ගන්ධය ආරම්භයේ දී පුළුටු ගදත් ඇති කරන අතර ටික වෙලාවකින් අපගේ ශ්‍රවන ස්නායු එයට අනුගත වීම නිසා දෝ එය දිගු අපහසුවක් නොවනු ඇත.
    ඝන අන්දකාරයෙන් බිංගෙවල් තුල සිල්පර කොට පරතරයන් මත නිවැරදි අඩි සොයා ගැනීම එක් අයෙකුට එක බැගින් වූ ආලෝකයක් අවශ්‍ය අතර මේ සඳහා ජංගම දුරකථන එළිය වුවද ප්‍රමාණවත්ය.
    අතරමග හුදකලා දියඇලි දෙක තුනක් හමුවන අතර ඒවායේ යකඩ ග(ර්)ඩර මතින් දිවෙන ගැඹුරු ගං නිම්නය පෙනෙන භයංකර පාලම් දෙකක් ඇත. මීට අමතරව දුම්රිය සේවකයන් විසින් ගොඩ ගසා ඇති භාවිතයෙන් ඉවත් කරන ලද සිල්පර කොට අට්ටි හුදකලා පදිකයන්ගේ වෙහෙස නිවාලන නැවතුම්පොළවල් වේ.
    කෘතීම යුකැලිප්ටස් වනයක නිතර දක්නට නොලැබෙන ඉඳහිට ඇහෙන කළු වඳුරන් රංචුවල කොලහලයන් මෙහි ඇති අද්භූත බව වැඩි දියුණු කරයි.
    අතරමගදී ලැව්ගිනි හේතුවෙන් කළු පැහැ ගැන්වී වැඩුණු යෝධ යුකැලිප්ටස් කඳන් යුධ භූමියක ඉතිරි වූ සොල්දාදුවන්ගේ සෙවනැලි සිහිකරයි.මෙම වනාන්තරය යනු සුදු මිනිසුන්ගේ කුරිරු පොරෝ පහරින් විනාශ වී ගිය නෙක තුරුවැල් වලින් අඩ්යවූ කඳුකර වනාන්තරයක නැවත පන ගසා පදිංචි කරවන ලද කෘතිම තුරු පන්තියයි.
    ඒ අතරින් පතර ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ මධ්ය් මධ්‍යම ප්‍රමාණයේ යුකැලිප්ටස් කඳන් ඒකාකාරී වනයේ අද්භූත භාවය වැඩි දියුණු කරයි .
    ඉඳ හිට ඇහෙන දුම්රිය හූ හඬ තොරතෝංචියක් නැති හඳුනාගත නොහැකි වන සතුන්ගේ ශබ්ද හැරුණු කොට මේ මාර්ගයේ වෙනත් කිසිම කලබල කාරීත්වයක් නොමැත .
    ඉදිරියේදී පර්වත කඩා හැලී මේ අවදානම ඇති ස්ථානයක් ලෙස දක්වා ඇති නාම පුවරුවන් ඇති අතර ඉන් පසු ඉතා දිගු උමගක් හමු වේ . ඈතින් පෙනෙන එළවළු වතු, ලයින් කාමර වල රිදී පැහැ ටකරන් වහල වල් ඔහේ දුම්රිය ස්ථානය ළඟ ළඟම ඇති බව කියා දෙන පෙරමග සලකුණු වේ .
    ඔහිය යනු සුන්දරත්වය අතින් ඉදල්ගස්හින්නට නොදෙවෙනි දුම්රිය ස්ථානයකි . මේ හරහා හෝර්ටන් තැන්නට පිවිසීමේ එක් ප්‍රධාන මාර්ගයක් වැටි ඇති බැවින් සිල්ලර කඩයක් ත්‍රීවිල් නැවතුම් පොලක් මේ අවට ඇත.
    මෙහි කිලෝමීටරයක් පමණ හෝර්ටන් තැන්න පාරේ ගිය විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔහිය වන නිවහන හමු වන අතර එය 6 දෙනෙකුට නවාතන් ගැනීමට හැකි ඉතා හොඳ මට්ටමේ නවාතැන් පලකි.
    මෙම මාර්ග කොටසේ ගමන් ගන්නේ නම් ස්වභාවයෙන්ම එයට උරුම නිස්කලංක ගුප්ත භාවයට හානි නොවන ලෙස සංචාරය කරන්න. ලැව් ගිනි ඇති වීමට අවශ්‍ය පරිසර සාධක ඕනෑවටත් වඩා මෙහි ඇති බැවින් ගින්දර සම්බන්ධ කටයුතු වලදී ඉතා ප්‍රවේශම්කාරී වීම වැදගත් ය. සමහර උමං තුල manhole ඇතත් සම විටම උමං තුලට පිවිසීමට පෙර විමසිලිමත් වන්න. සීග්‍රගාමී නිල් පැහැති china power set දුම්රිය එන්ජින් වල ශබ්දය ඉතාම අඩු අතර උමගේ අනික් පස දුම්රිය පැමිණෙන විට කන්දට ආවරණය වී එහි ශබ්දය ඇසීම බොහෝ විට අවම මට්ටමක පවතී. එම නිසා දුම්රිය ගමන් වාර සහ වෙලාවල් පිලිබඳ දුම්රිය පොලෙන් විමසා බලා ඒ අනුව උමං තරණය කිරීම නුවනට හුරුය.
    © චමිත පුංචිහේවා
    චායාරුප සහිත වාර්තාව සඳහා www.99chamitha.wordpress.com වෙත පිවිසෙන්න.
    http://www.99chamitha.wordpress.com