වසර 72 ක් පැරණි ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ මෙතරම් ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයක් දිනා ගත් චිත්‍රපටයක් අප දුටුවේ නැත.
මෙම සිනමාපටය තුළ ගෙන හැර දක්වන්නේ අප කවුරුත් පිළිගන්නා ලෙස අධ්‍යාපන ක්රමයේ ඇති විකෘතිතාවයයි. මාලුවන්ට ගස් නඟින්නට පාඩම් කියා දීමේ ක්‍රියාවලිය තවදුරටත් අප නොකළ යුතු බව මින් අවධාරණය කරයි. ජනවාර්ගික ප්රශ්නය හෝ ආගමික ප්‍රශ්න සාකච්ඡා නොකරන මෙම සිනමා සිත්තම තුළ බොහෝ දුරට අපට අත්විඳින්නට වන්නේ අප වර්තමාන සමාජයේ ගුරුවරයා සහ ශිෂ්‍යයා මුහුණදෙන ඵල රහිත අධ්‍යාපන ක්‍රමයයි.
මෙය තුළ අභව්‍ය සිදුවීම් නැත. ජනවාර්ගික අර්බුදයේ දෙපාර්ශ්වීය ගැටුම් නැත. යුද්ධය ද විකුණා නැත. කෙටියෙන් කියතොත් ළමා මනස තුළ සුරංගනා ලෝක මවා ඒ තුළ ඔවුන් අතරමං කොට ද නැත. මිනිසා විසින්ම නිර්මාණය කරගත් මහ අලි ගැටුම් ද නැත. වැද්දන් හට බණ දේශනා කරන බොරු තාපසයින් ද නැත. ලිංගික චර්යා ධර්ම ගැන කතා කරන්නේ ද නැත.
මෙම 'නැත' යන්නෙන් කියන ලද හැම කොටසක් තුළම මෙම අධ්‍යක්ෂකවරයා නැති වුවත් වර්තමාන සමාජය මුහුණ දී ඇති පළිබෝධ සහ කෘමිනාශක තුළ ගිලී ඇති ජීවිත ගැන පමණක් ඔහු කතාකරයි. ලිංගික චර්යා ගැන කතා කිරීමට පති-පතිනි හැදුවාට පසු කිසිදු සමාජ සත්කාරක සිනමාවක් ඒ අයුරින්ම අප දුටුවේ නැත. සමහර සමාජ සත්කාර සිනමා පටි අවසාන වූයේ එය නිෂ්පාදනය කළවුන් සඳහා සත්කාර කර ගනිමිනි.
''විෂම භාග'' සිනමා සිත්තම ලොව නොයෙක් ජාතීන් නොයෙක් සිනමා උළෙලවල් වල ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද්දේ එහි ඇති සිනමා ගුණයටය. එයට බටහිර ද පෙරදිග ද කියා කිසිදු මිනුම් දණ්ඩක් නැත. මෙතරම් සම්මාන ගොන්නක් ලක් මාතාවට රැගෙන ආ දිනයක් නම් අපට මතක නැත.
සත්පුරුෂ සිනමා කලාවට සම්මාන 70ක්..
ලලිත් රත්නායකයන්ගේ අධ්‍යක්ෂණයෙන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් 'විෂම භාග' චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ අප මෙතෙක් සිදුකළ රූපවාහිනී සහ ගුවන්විදුලි සත්පුරුෂ මාධ්‍ය භාවිතය, ලාංකීය සිනමා ක්ෂේත්රය වෙත ද විහිදුවාලමින් සත්පුරුෂ අර්ථාන්විත සිනමා කලාවක් අනාගත පරපුරට දායාද කිරීමේ උදාර අදිටනින් යුතු ව ය.
එය මල්ඵල ගන්වමින් ලොව සුප්‍රකට අන්තර් ජාතික සිනමා උළෙල ගණනාවක දී "විෂම භාග" චිත්‍රපටය මේ වන විට සම්මාන, නාම යෝජනා සහ නිළ තෝරා ගැනීම් 70 කට වැඩි ප්‍රමාණයකින් පිදුම් ලබමින් ලොව විශිෂ්ට කලාත්මක සිනමා කෘති අතරට එක් වී හමාර ය. 2019 වර්ෂය තුළ ලොව A ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙල ද්විත්වයකට නිළ වශයෙන් තෝරා ගනිමින් ප්‍රදර්ශනය කළ එකම ලාංකීය සිනමා පටය ලෙස "විෂම භාග" ඉතිහාසගත විය.
කරුමයක මහත...
කරුමයක මහත... ලැබෙන පුවත් වලට අනුව විෂම භාග චිත්‍රපටිය කෙලින්ම ප්‍රදර්ශනය කළ ගත හැක්කේ දින නමයකට පමණි.
ශ්‍රී ලංකාවේ සිනමා පාතාලය මෙහෙයවන රේණුකා - සෝමරත්න යුවල සිය තුච්ජ අසික්කිත දේශපාලන සහ මුදල් බලපුලුවන්කාරකම යොදවා ඔවුන්ගේ 'සුනාමි ' නම් සිනමා පටය දෙසැම්බර් 26 දා සිට ප්‍රදර්ශනයට සුදානම් බව පූර්ව ප්‍රසිද්ධියක් ලබාදෙමින් සිටී.
සිනමා රචක නඩරාජා මනිවානන් සුනාමි ව්‍යසනයෙන් අතුරුදන් වූ දරුවකු පසු කාලයකදී ජාතීන් හා අනන්‍යතාවයන් මාරුවීමත් පසුව සුවිශේෂී ලක්ෂණ මත හඳුනාගැනීමක් මත ගොඩනඟා ඇති සංවේදනාත්මක කතා පුවතක් සුලුවෙනස් කම් සිදුකර නීතිමය ගැටළු වලට පවා මුහුණදුන් රේණුකා - සෝමරත්න යුවල කෙසේ හෝ තම බලය යොදා ' විෂම භාග' වැනි ජාත්‍යන්තර සම්මානලාභී සිනමා පටයක් දින 9 කට සිමා කිරීමේ පහත් ක්‍රියාව සිංහල සිනමාවට කරන බලවත් හානියකි.
සිනමා පාතාලය..
සිනමා පාතාලය දෙසැම්බර් 26 දින මෙම සමාජ සත්කාර මෙන්ම මෙම උතුම් සිතුවම 'විෂම භාග' විනාශ කිරීමට බලා සිටී.
දෙසැම්බර් 26 නත්තලට පසුදා. එනම් ජේසු බිලිඳා ගැන කතා කළ දාට පසුදින ශ්‍රී ලාංකීය දරුවාගේ මනස් සංකල්පයක් ගැන කතා කළ සිනමා පටය අප අතරින් නික්ම යනු ඇත. ලොවක් පැසසුම්, ලොවක් හැඬවූ ආදරණීය සිතුවම රටක් හැඬවූ දින මේ පුංචි දිවයිනේ වෙරළෙන් ඔබ්බට ගසාගෙන යනු ඇත. අනේ එසේ නොකරන්න.
චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස සෝමරත්න දිසානායකත් සමලේකම් ලෙස ඔහුගේ බිරිඳවන රේණුකා බාලසූරියත් සිදුකළ ක්‍රියා පිලිබඳ දන්නා සිනමාකරනයේ නියුතු සැම එක්තැන් විය යුතු අවස්ථාවක් එළැඹ ඇත