ම ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. ඒක ඒ තරම්ම අප්‍රසන්න මාතෘකාවක්. නමුත් ගම්මන්පිල මහත්තයා එළිදක්වලා තියන මේ ලිපිය දැක්කාම නම් හිනා යනවා. ඒ පිටුපස තියන දේවල් කිහිපයක් ලියන්නම්.
2014 අවසානයේ පාඨලී චම්පික රණවක මහතා සමග ගම්මන්පිල මහතා සහ එතුමන්ලාගේ හෙළ උරුමය පක්ෂය "යහපාලනය" ට සහයෝගය දැක්වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වෙනවා. නමුත් දින කිහිපයකින් ගම්මන්පිල මහතා පමණක් ආපසු රාජපක්ෂ කඳවුර වෙත යනවා පමණක් නොව, විමල් වීරවංශ මහතා හැරුනුකොට (වීරවංශ මහතාගේ මුඛරි කම විනා අධ්‍යාපනයක් නොමැති කම නිසා ඕනෑම පදනම් විරහිත චෝදනා/කථා සඳහා එතුමන්ව යොදා ගැනීම බහුලව සිදු උනා ) යහපාලනය විවේචනය කිරීමේ මූලිකම කථිකයා ලෙස යොදා ගන්නවා.
රාජපක්ෂ පාලනය ගැන කලකිරී, තමන්ගේ තනතුරු, වරප්‍රසාද අතහැර මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලනයට එකතු වීම සුළු පටු තීරණයක් නොවෙයි. නමුත් ගම්මන්පිල මහතාටත් වැරදුනු තැනක් තිබුනා. "ඇල් වතුරත් නිවලා බිව්වාට " එතුමා බ්‍රයන් ෂැඩෝක් කියන ඕස්ට්‍රේලියානු ආයෝජකයාගේ සමාගම් කොටස් හොර අත්සන් යොදා විකුණුවා පමණක් නොව, ඒ පිලිබඳ අධිකරණ නියෝග මත විමර්ශන සිදු කිරීම පවා රාජපක්ෂ වරුන්ගේ බලයෙන් යටපත් කළා.
ඒ මංකොල්ලයේ විමර්ශන යටපත් කිරීමට රාජපක්ෂ වරුන්ගෙන් උදව් ලබා ගැනීම එතුමාට පාරා වළල්ලක් උනා. ඉතාම පැහැදිලි ලෙස ඔප්පු කළහැකි චෝදනාවක් වූ, මේ හොරකම පිලිබඳ ෆයිල් එක එලියට නොදැමීමට නම්, නැවතත් රාජපක්ෂ කඳවුරට එකතු වන ලෙස එතුමාට කල බලපෑම කිසි ලෙසකින්වත් ඉවත දැමිය නොහැකි උනා. යහපාලනයේ තිබුන නෝන්ජල් ප්‍රතිපත්ති වලට පින් සිදුවෙන්න ගම්මන්පිල මහතා නිදහස් පුද්ගලයෙක් ලෙස එළියේ සිටියාට, නීතිය හරියකට ක්‍රියාත්මක උනා නම් එතුමන් මේ වෙනකොට හිර ගෙදර කූරු ගණන් කරනවා.
මෙතන තියන වැදගත්ම කාරණය ඒක නොවෙයි. 2014 දී එතුමා යහපාලනයට ගිය බවත් ටික දිනකින් ආපසු යහපාලනයට එරෙහිව රාජපක්ෂ කඳවුරට එකතු වූ බව සියලුම දෙනාට අමතක උනාට, රාජපක්ෂ වරුන්ට ඒ කිසිවක් අමතක නැහැ. අදටත් ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කරන වහලෙකු ලෙස ඉන්නවා විනා වෙනත් විකල්පයක් ගම්මන්පිල මහතාට නැහැ.