ගෞතම බුදුරජාණන්වහන්සේටත් පලදුන් කර්ම
කර්මයන් සාමාන්‍ය භාවිතාවේ දී කුසල් හා අකුසල් ලෙසින් වෙන් කොට භාවිතා කරයි. මින් කුසල් ගැන සියළු දෙනා තුළ ඇත්තේ ප්‍රසාදයකි. අකුසල් ගැන ඇත්තේ අප්රසාදයකි. මෙනිසා කුසල් සතුටින් භාර ගන්නා අතර අකුසල් දුකෙන් භාරගනී. මේ භාවිතාව කෙතෙක්ද යත් අකරතැබ්බක් වූ විට කරුමෙ ඵලදුන්නා කීවත් හොඳක් වූ විට කරුමෙ ඵලදුන්නා යැයි කියන්නේ නැත. කෙසේවෙතත් මේ ලිපිය තුළදී ඒ ගැන කථා කිරීමට බලාපොරොත්තු නොවෙමි. අපි කථා කරන්නට යන්නේ බුදුරජාණන්වහන්සේට ඵලදුන් බවට කියනා කර්මයන් ගැනය. එයිනුත් අකුසල කර්මයන් ගැන ය. මන්දයත්, කුමක් හෝ කරදරයක් වූ විට බුදුහාමුදුරුවන්ටත් කර්ම ඵල දුන්නානේ කියා බෞද්ධයන් කියාගන්නා නිසාවෙනි.
දසධම්ම සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර තිබේ.
දසධම්ම සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර තිබේ.
‘මම කර්මය ස්වකීය කොට ඇත්තේ වෙමි. කර්මය අයිති කොට ඇත්තේ වෙමි. කර්මය උත්පත්ති ස්ථානය කොට ඇත්තේ වෙමි. කර්මය නෑයන් කොට ඇත්තේ වෙමි. කර්මය පිළිසරණ කොට ඇත්තේ වෙමි. යහපත් හෝ, අයහපත් යම් කර්මයක් කරන්නෙම්ද, ඊට හිමි වන්නෙමි’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළ යුතුයි.
මෙහිදී කුසල් අකුසල් ලෙසින් කර්මය විභජනය කර නැත. නමුත් පැවිද්දා විසින් සිහි කළ යුතු දේ ලෙසින් කර්මය ගැන සිහි කළ යුතු බව පෙන්වා දී ඇත. එය අෂ්ට ලෝක ධර්මයට මුහුණ දෙන ගිහියකුට ද ආපත්ති නොවේ.
බුදුරජාණන්වහන්සේ අද අප අතර සජිවී ව නැත්තේ වුවද ලෝකය පුරා පූජාස්ථාන වල, නිවෙස්වල උන්වහන්සේ වෙනුවෙන් දන් පිළිගැන් වේ. පහන් පූජා කෙරේ. මල් පූජා කෙරේ. මෙවැනි පූජාවන්ට සුදුසුවීම සඳහා බුදුරජාණන්වහන්සේ පෙර කළ කුසල කර්මයන් හේතු වූ බවට කියයි. නමුත් බුද්ධ චරිතයේ සමහර අවස්ථාවලදී බුදුරජාණන්වහන්සේ ද අපි මෙන්ම නොයෙකුත් විපත්තීන්වලට මුහුණ දුන් බවට කරුණු ඉදිරිපත් ව තිබේ. එයින් කිහිපයක් පිළිබඳව විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යයේදී සාකච්ඡා වේ.
මුල් බුදු සමයේ දී හමු නොවූවද පසුව බුදු සමයට එක් වූ මේ වන විට බුදු සමයේ ම කොටසක් ලෙසින් සලකන එවැනි අවස්ථා දොළහක් බුදුරජාණන්වහන්සේට ඵලදුන් අකුසල් කර්මයන් ලෙසින් හඳුන්වා තිබේ. අතීතයේත් සමහර අවස්ථාවලදී බුදුරජාණන්වහන්සේගේ කර්ම ඵල අනුව මෙකි සිදුවීම් සිදු වූ බව විශ්වාස කළ පිරිස් සිටියහ. නමුත් සමහරු ඒ බව ප්‍රතික්ෂේප කළහ. පසු කාලීනව ඒ සම්බන්ධයෙන් පැහැදිලි මතවාද දෙකක් ඇති විනි. ඒ බුදුරජාණන්වහන්සේට එසේ කර්මයන් ඵල දුන් සහ නොදුන් බවට වන මතයන් දෙකයි. ඔබත් මේ කර්මයන් පිළිබඳව දැනටමත් අසා ඇතුවාට සැක නොමැති බව මගේ අදහසයි.
පාලි සාහිත්‍යයට අනුව බුදුරජාණන්වහන්සේට විඳීමට සිදු වූ කරදර
බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුරජාණන්වහන්සේට මුහුණ පෑමට සිදු වූ කරදරකාරී අවස්ථා ප්‍රධාන අංග තුනකට බෙදා දැක්විය හැක. ඒ සතුරන්ගෙන් අපහාස විඳීමට සිදුවීම, සතුරන්ගෙන් පහර ලැබීමට සිදුවීම, ශාරීරිකව විඳීමට සිදු වූ ලෙඩ දුක් ලෙසිනි. ඔබටත් ජීවිතයේ මුහුණපෑමට සිදුවන කරදරයන් බොහොමයක් මේ ආකාරයට වර්ගකොට දැක්විය හැකි බව දැන් පෙනී යනු ඇත.
මින් මුල් අංගයට අනුව ප්‍රධාන අවස්ථා දෙකක් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ඒ චිංචිමානවිකාවගෙන් සහ සුන්දරී පරිබ්‍රාජිකාවගෙන් එල්ල වුන අපහාසයන් ය. මොවුන් දෙදෙනාම තීර්ථකයන් සමඟ බැඳී සිටී. ඔවුන්ගේ මූලික අරමුණ වුයේ බුදුරජාණන්වහන්සේගේ කීර්තියට හානි කිරීම වේ.
සුන්දරී හා චිංචිමානවිකාව යනු ඔබට අළුත් චරිත නොවේ. ඛුද්දකානිකායේදී සුන්දරී ගැන සඳහන් වෙයි. ඇය තීර්ථකයන්ට උදව් කිරීමේ වුවමනාව නිසා බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසද්දී නොකඩවා ජේතාවනාරාමයට ඒම යෑම සිදු කරයි. ඒ යන අතරතුර ඇගෙන් විස්තර අහන අයවලුන්ට ඇය කියන්නේ ඇය පැමිණෙන්නේ බුදුරජාණන්වහන්සේගේ ගන්ධකුටියේ සිට ලෙසිනි. මේ කථාව ජනප්‍රිය වූ විට තීර්ථකයන් කරන්නේ සුන්දරි මරා දැමීමයි. එසේ මරා දමා ඇගේ සිරුර ජේතවනාරාමයේ හංගනු ලබයි. මේ පිළිබඳව කොසොල් රජුට පැමිණිලි කළ පසු ජේතවනාරාමයේ සොයා බැලීමේ දී සුන්දරීගේ මළසිරුර හමු වේ. ඒ සිරුර මුල් කරගනිමින් බුදුරජාණන්වහන්සේට අපහාස කිරීමට තීර්ථකයන් කටයුතු කරයි. අදත් මෙවැනි දේ සමාජයේ සිදු වන බව ඔබට අමුත්තක් නොවනු ඇත. පිණ්ඩපාතයේ වඩින භික්ෂූන්වහන්සේලාට මේ සිදුවීම නිසා නොයෙක් අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු වේ. නමුත් බුදුරජාණන්වහන්සේ ඉවසීමෙන් ඒ සියල්ල දෙස බලා සිටී. දින හතක් ගත වෙද්දී පැවැති තත්ත්වය වෙනස් වී නැවතත් බුදුරජාණන්වහන්සේගේ කීර්තිය පතල වෙයි. ඒ සඳහා හේතු වූ කරුණු ගැන උදානවල නිසි ලෙසින් සඳහන් වන්නේ නැත.
චිංචිමානවිකාව පිළිබඳ කථාව ද මෙවැනි ම කථාවකි. කෙසේවෙතත් එය මුල් ත්‍රිපිටකයේ නිශ්චිතව සඳහන් වන කථාවක් නොවෙයි. චිංචිමානවිකාවද තීර්ථකයන් විසින් යොදා ගන්නේ බුදුරජාණන්වහන්සේට අපහාස කිරීමට ය. ඇය එක් අවස්ථාවකදී කුසේ දර මිටියක් බැඳගෙන විත් සෙනග මැද ඇගේ කුසේ සිටිනා දරුවාගේ පියා බුදුරජාණන්වහන්සේ බව කියයි. අවසානයේ ශක්‍ර දෙවියන් පැමිණ දර මිටිය බැඳ තිබූ ලණු කපා දමා ඇගේ බොරුව සමාජගත කිරිම හේතුවෙන් ඇයව ජනතාව විසින් පන්නා දමයි. අවසානයේ ඇය නවතින්නේ අවීචියේ ය.
මේ අවස්ථා දෙකම තීර්ථකයන් විසින් බුදුරජාණන්වහන්සේගේ කීර්තියට හානි කිරීම සඳහා යොදා ගැනීමට උත්සාහ කළද අවසානයේ සිදුවන්නේ උන්වහන්සේගේ කීර්තිය තවත් වර්ධනය වීමයි.
දැන් දෙවැනි අංගයට අවධානය යොමු කරමු. මේ අංගයට අයත්වන සිදුවීම් බහුතරයක් ම බැඳී ඇත්තේ දේවදත්ත වටා ය. දේවදත්ත ද සෘද්ධ ප්රාතිහාර්යය පෑමේ සමතකු බවට සඳහන් වේ. ඔහුට අජාශ්රැත සමඟ එක් වී බුදුරජාණන්වහන්සේ මරා දැමීමට සැලසුම් හදයි. ඒ අනුව එක් අවස්ථාවක ඔහු විසින් බුදුරජාණන්වහන්සේ මරා දැමීමට දුනුවායන් යොදයි. නමුත් ඒ කාර්යය සාර්ථක වන්නේ නැත. පසුව අන් අය ලවා බුදුරජාණන්වහන්සේ මරා දැමීමෙන් ප්‍රතිඵල නොලැබෙන බවට වන විශ්වාසය නිසා තමුන් විසින් ම එය සිදු කිරීමට දේවදත්ත තීරණය කරයි. ඒ අනුව ඔහු විසින් ගිජිකුළු පව්ව පාමුල බුදුරජාණන්වහන්සේ සක්මන් කරන අවස්ථාවකදී ඉහළ සිට ගලක් පෙරළයි. නමුත් මින් බුදුරජාණන්වහන්සේට හානියක් නොවෙයි. පෙරළුන ගලෙන් ගැලවුන ගල් පතුරක් පැමිණ උන්වහන්සේගේ පාදයේ ගැටේ. පසුව දේවදත්ත විසින් නාලාගිරි නම් වූ මහඇතකු බුදුරජාණන්වහන්සේ මරා දැමීමට රා පොවා එවයි. ඇතා, බුදුරජාණන්වහන්සේගේ මහා මෛත්‍රියෙන් දමනය වේ. කෙසේවෙතත් මේ සිදුවීම් වලින් දේවදත්තගේ කීර්තිය පළුදු වූවා මිස බුදුරජාණන්වහන්සේගේ චරිතයට හානියක් නොවිනි.
අවසන් අංගය වන්නේ බුදුරජාණන්වහන්සේට ශාරීරිකව විඳීමට සිදු වූ ලෙඩ දුක් ය. මේ සම්බන්ධ අවස්ථා කීපයක් ම ත්‍රිපිටකයේ සඳහන් වේ. මජ්ජිමනිකායේ දී මෙන්ම සම්යුක්තනිකායේදී ද බුදුරජාණන්වහන්සේ පීඩා විඳි පිටේ ආබාධයක් ගැන දැක් වේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ දී තවත් අවස්ථාවක් ගැන සඳහන් වේ. එම අවස්ථාවේ හටගත් ශාරීරික ආබාධය සන්සිඳවා ගැනීම සඳහා සමාපත්ති සුවයෙන් කටයුතු කිරීමට බුදුරජාණන්වහන්සේට සිදු වේ. මේ සූත්‍රයේදී ම චුන්දගේ අවසන් දානය නිසා විඳීමට සිදු වූ ආබාධය ගැන ද සඳහන් වේ. බුද්ධත්වයට පත්වීමට පෙර දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවීම ද මෙවැනි අවස්ථාවක් ලෙසින් ම සැල කේ. අනෙක් අවස්ථාව වන්නේ වේරංජාව අසබඩ වස් වසන අවස්ථාවකදී යව ආහාරයට ගෙන ජීවත්වීමට සිදුවීමයි. එය බුදුරජාණන්වහන්සේට පමණක් නොව උන්වහන්සේ සමඟ එහි වැඩසිටි සියළු භික්ෂූන්වහන්සේලාට විඳීමට සිදුවූවකි.
මෙවැනි කරුණු සතුටුදායී දේ ලෙසින් සැලකීමේ හැකියාවක් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුදුරජාණන්වහන්සේට වේවා අපට වුවද එය එසේමැයි. නමුත් අවුරුදු 30 ක් 40 ක් ජීවත්වන විට අපි විඳිනා දුක් රැස සමඟ අවුරුදු 80 ක් ආයු විඳි බුදුරජාණන්වහන්සේ විඳිනු ලැබූ දුක් ප්‍රමාණය සැලකිල්ලට ගත් විට බුදුරජාණන්වහන්සේ කෙතරම් නම් වාසනාවන්තයෙක් දැයි, කෙතරම් නම් කුසල් කරනු ලැබූවෙක්දැයි සිතෙන්නේ මට පමණක් ම නොවන බවට මා විශ්වාස කරමි. මෙවැනි අවස්ථාවලදී සමහරුන් ජීවිතය පවා තොර කර ගනී. සමහරුන් උමතු බවට පත් වෙයි. මේ කිසිඳු අවස්ථාවකදී බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ මානසික සහනය නැති කර ගත්තේ නැත.