ගෞතම බුදුරජාණන්වහන්සේටත් පලදුන් කර්ම

hpalpola

Well-known member
  • ගෞතම බුදුරජාණන්වහන්සේටත් පලදුන් කර්ම
    කර්මයන් සාමාන්‍ය භාවිතාවේ දී කුසල් හා අකුසල් ලෙසින් වෙන් කොට භාවිතා කරයි. මින් කුසල් ගැන සියළු දෙනා තුළ ඇත්තේ ප්‍රසාදයකි. අකුසල් ගැන ඇත්තේ අප්‍රසාදයකි. මෙනිසා කුසල් සතුටින් භාර ගන්නා අතර අකුසල් දුකෙන් භාරගනී. මේ භාවිතාව කෙතෙක්ද යත් අකරතැබ්බක් වූ විට කරුමෙ ඵලදුන්නා කීවත් හොඳක් වූ විට කරුමෙ ඵලදුන්නා යැයි කියන්නේ නැත. කෙසේවෙතත් මේ ලිපිය තුළදී ඒ ගැන කථා කිරීමට බලාපොරොත්තු නොවෙමි. අපි කථා කරන්නට යන්නේ බුදුරජාණන්වහන්සේට ඵලදුන් බවට කියනා කර්මයන් ගැනය. එයිනුත් අකුසල කර්මයන් ගැන ය. මන්දයත්, කුමක් හෝ කරදරයක් වූ විට බුදුහාමුදුරුවන්ටත් කර්ම ඵල දුන්නානේ කියා බෞද්ධයන් කියාගන්නා නිසාවෙනි.

    දසධම්ම සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර තිබේ.
    ‘මම කර්‍මය ස්වකීය කොට ඇත්තේ වෙමි. කර්‍මය අයිති කොට ඇත්තේ වෙමි. කර්‍මය උත්පත්ති ස්ථානය කොට ඇත්තේ වෙමි. කර්‍මය නෑයන් කොට ඇත්තේ වෙමි. කර්‍මය පිළිසරණ කොට ඇත්තේ වෙමි. යහපත් හෝ, අයහපත් යම් කර්මයක් කරන්නෙම්ද, ඊට හිමි වන්නෙමි’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළ යුතුයි.

    මෙහිදී කුසල් අකුසල් ලෙසින් කර්මය විභජනය කර නැත. නමුත් පැවිද්දා විසින් සිහි කළ යුතු දේ ලෙසින් කර්මය ගැන සිහි කළ යුතු බව පෙන්වා දී ඇත. එය අෂ්ට ලෝක ධර්මයට මුහුණ දෙන ගිහියකුට ද ආපත්ති නොවේ.

    බුදුරජාණන්වහන්සේ අද අප අතර සජිවී ව නැත්තේ වුවද ලෝකය පුරා පූජාස්ථාන වල, නිවෙස්වල උන්වහන්සේ වෙනුවෙන් දන් පිළිගැන් වේ. පහන් පූජා කෙරේ. මල් පූජා කෙරේ. මෙවැනි පූජාවන්ට සුදුසුවීම සඳහා බුදුරජාණන්වහන්සේ පෙර කළ කුසල කර්මයන් හේතු වූ බවට කියයි. නමුත් බුද්ධ චරිතයේ සමහර අවස්ථාවලදී බුදුරජාණන්වහන්සේ ද අපි මෙන්ම නොයෙකුත් විපත්තීන්වලට මුහුණ දුන් බවට කරුණු ඉදිරිපත් ව තිබේ. එයින් කිහිපයක් පිළිබඳව විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යයේදී සාකච්ඡා වේ.

    මුල් බුදු සමයේ දී හමු නොවූවද පසුව බුදු සමයට එක් වූ මේ වන විට බුදු සමයේ ම කොටසක් ලෙසින් සලකන එවැනි අවස්ථා දොළහක් බුදුරජාණන්වහන්සේට ඵලදුන් අකුසල් කර්මයන් ලෙසින් හඳුන්වා තිබේ. අතීතයේත් සමහර අවස්ථාවලදී බුදුරජාණන්වහන්සේගේ කර්ම ඵල අනුව මෙකි සිදුවීම් සිදු වූ බව විශ්වාස කළ පිරිස් සිටියහ. නමුත් සමහරු ඒ බව ප්‍රතික්ෂේප කළහ. පසු කාලීනව ඒ සම්බන්ධයෙන් පැහැදිලි මතවාද දෙකක් ඇති විනි. ඒ බුදුරජාණන්වහන්සේට එසේ කර්මයන් ඵල දුන් සහ නොදුන් බවට වන මතයන් දෙකයි. ඔබත් මේ කර්මයන් පිළිබඳව දැනටමත් අසා ඇතුවාට සැක නොමැති බව මගේ අදහසයි.

    පාලි සාහිත්‍යයට අනුව බුදුරජාණන්වහන්සේට විඳීමට සිදු වූ කරදර

    බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුරජාණන්වහන්සේට මුහුණ පෑමට සිදු වූ කරදරකාරී අවස්ථා ප්‍රධාන අංග තුනකට බෙදා දැක්විය හැක. ඒ සතුරන්ගෙන් අපහාස විඳීමට සිදුවීම, සතුරන්ගෙන් පහර ලැබීමට සිදුවීම, ශාරීරිකව විඳීමට සිදු වූ ලෙඩ දුක් ලෙසිනි. ඔබටත් ජීවිතයේ මුහුණපෑමට සිදුවන කරදරයන් බොහොමයක් මේ ආකාරයට වර්ගකොට දැක්විය හැකි බව දැන් පෙනී යනු ඇත.

    මින් මුල් අංගයට අනුව ප්‍රධාන අවස්ථා දෙකක් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ඒ චිංචිමානවිකාවගෙන් සහ සුන්දරී පරිබ්‍රාජිකාවගෙන් එල්ල වුන අපහාසයන් ය. මොවුන් දෙදෙනාම තීර්ථකයන් සමඟ බැඳී සිටී. ඔවුන්ගේ මූලික අරමුණ වුයේ බුදුරජාණන්වහන්සේගේ කීර්තියට හානි කිරීම වේ.

    සුන්දරී හා චිංචිමානවිකාව යනු ඔබට අළුත් චරිත නොවේ. ඛුද්දකානිකායේදී සුන්දරී ගැන සඳහන් වෙයි. ඇය තීර්ථකයන්ට උදව් කිරීමේ වුවමනාව නිසා බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසද්දී නොකඩවා ජේතාවනාරාමයට ඒම යෑම සිදු කරයි. ඒ යන අතරතුර ඇගෙන් විස්තර අහන අයවලුන්ට ඇය කියන්නේ ඇය පැමිණෙන්නේ බුදුරජාණන්වහන්සේගේ ගන්ධකුටියේ සිට ලෙසිනි. මේ කථාව ජනප්‍රිය වූ විට තීර්ථකයන් කරන්නේ සුන්දරි මරා දැමීමයි. එසේ මරා දමා ඇගේ සිරුර ජේතවනාරාමයේ හංගනු ලබයි. මේ පිළිබඳව කොසොල් රජුට පැමිණිලි කළ පසු ජේතවනාරාමයේ සොයා බැලීමේ දී සුන්දරීගේ මළසිරුර හමු වේ. ඒ සිරුර මුල් කරගනිමින් බුදුරජාණන්වහන්සේට අපහාස කිරීමට තීර්ථකයන් කටයුතු කරයි. අදත් මෙවැනි දේ සමාජයේ සිදු වන බව ඔබට අමුත්තක් නොවනු ඇත. පිණ්ඩපාතයේ වඩින භික්ෂූන්වහන්සේලාට මේ සිදුවීම නිසා නොයෙක් අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු වේ. නමුත් බුදුරජාණන්වහන්සේ ඉවසීමෙන් ඒ සියල්ල දෙස බලා සිටී. දින හතක් ගත වෙද්දී පැවැති තත්ත්වය වෙනස් වී නැවතත් බුදුරජාණන්වහන්සේගේ කීර්තිය පතල වෙයි. ඒ සඳහා හේතු වූ කරුණු ගැන උදානවල නිසි ලෙසින් සඳහන් වන්නේ නැත.

    චිංචිමානවිකාව පිළිබඳ කථාව ද මෙවැනි ම කථාවකි. කෙසේවෙතත් එය මුල් ත්‍රිපිටකයේ නිශ්චිතව සඳහන් වන කථාවක් නොවෙයි. චිංචිමානවිකාවද තීර්ථකයන් විසින් යොදා ගන්නේ බුදුරජාණන්වහන්සේට අපහාස කිරීමට ය. ඇය එක් අවස්ථාවකදී කුසේ දර මිටියක් බැඳගෙන විත් සෙනග මැද ඇගේ කුසේ සිටිනා දරුවාගේ පියා බුදුරජාණන්වහන්සේ බව කියයි. අවසානයේ ශක්‍ර දෙවියන් පැමිණ දර මිටිය බැඳ තිබූ ලණු කපා දමා ඇගේ බොරුව සමාජගත කිරිම හේතුවෙන් ඇයව ජනතාව විසින් පන්නා දමයි. අවසානයේ ඇය නවතින්නේ අවීචියේ ය.

    මේ අවස්ථා දෙකම තීර්ථකයන් විසින් බුදුරජාණන්වහන්සේගේ කීර්තියට හානි කිරීම සඳහා යොදා ගැනීමට උත්සාහ කළද අවසානයේ සිදුවන්නේ උන්වහන්සේගේ කීර්තිය තවත් වර්ධනය වීමයි.

    දැන් දෙවැනි අංගයට අවධානය යොමු කරමු. මේ අංගයට අයත්වන සිදුවීම් බහුතරයක් ම බැඳී ඇත්තේ දේවදත්ත වටා ය. දේවදත්ත ද සෘද්ධ ප්‍රාතිහාර්යය පෑමේ සමතකු බවට සඳහන් වේ. ඔහුට අජාශ්‍රැත සමඟ එක් වී බුදුරජාණන්වහන්සේ මරා දැමීමට සැලසුම් හදයි. ඒ අනුව එක් අවස්ථාවක ඔහු විසින් බුදුරජාණන්වහන්සේ මරා දැමීමට දුනුවායන් යොදයි. නමුත් ඒ කාර්යය සාර්ථක වන්නේ නැත. පසුව අන් අය ලවා බුදුරජාණන්වහන්සේ මරා දැමීමෙන් ප්‍රතිඵල නොලැබෙන බවට වන විශ්වාසය නිසා තමුන් විසින් ම එය සිදු කිරීමට දේවදත්ත තීරණය කරයි. ඒ අනුව ඔහු විසින් ගිජිකුළු පව්ව පාමුල බුදුරජාණන්වහන්සේ සක්මන් කරන අවස්ථාවකදී ඉහළ සිට ගලක් පෙරළයි. නමුත් මින් බුදුරජාණන්වහන්සේට හානියක් නොවෙයි. පෙරළුන ගලෙන් ගැලවුන ගල් පතුරක් පැමිණ උන්වහන්සේගේ පාදයේ ගැටේ. පසුව දේවදත්ත විසින් නාලාගිරි නම් වූ මහඇතකු බුදුරජාණන්වහන්සේ මරා දැමීමට රා පොවා එවයි. ඇතා, බුදුරජාණන්වහන්සේගේ මහා මෛත්‍රියෙන් දමනය වේ. කෙසේවෙතත් මේ සිදුවීම් වලින් දේවදත්තගේ කීර්තිය පළුදු වූවා මිස බුදුරජාණන්වහන්සේගේ චරිතයට හානියක් නොවිනි.

    අවසන් අංගය වන්නේ බුදුරජාණන්වහන්සේට ශාරීරිකව විඳීමට සිදු වූ ලෙඩ දුක් ය. මේ සම්බන්ධ අවස්ථා කීපයක් ම ත්‍රිපිටකයේ සඳහන් වේ. මජ්ජිමනිකායේ දී මෙන්ම සම්යුක්තනිකායේදී ද බුදුරජාණන්වහන්සේ පීඩා විඳි පිටේ ආබාධයක් ගැන දැක් වේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ දී තවත් අවස්ථාවක් ගැන සඳහන් වේ. එම අවස්ථාවේ හටගත් ශාරීරික ආබාධය සන්සිඳවා ගැනීම සඳහා සමාපත්ති සුවයෙන් කටයුතු කිරීමට බුදුරජාණන්වහන්සේට සිදු වේ. මේ සූත්‍රයේදී ම චුන්දගේ අවසන් දානය නිසා විඳීමට සිදු වූ ආබාධය ගැන ද සඳහන් වේ. බුද්ධත්වයට පත්වීමට පෙර දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවීම ද මෙවැනි අවස්ථාවක් ලෙසින් ම සැල කේ. අනෙක් අවස්ථාව වන්නේ වේරංජාව අසබඩ වස් වසන අවස්ථාවකදී යව ආහාරයට ගෙන ජීවත්වීමට සිදුවීමයි. එය බුදුරජාණන්වහන්සේට පමණක් නොව උන්වහන්සේ සමඟ එහි වැඩසිටි සියළු භික්ෂූන්වහන්සේලාට විඳීමට සිදුවූවකි.

    මෙවැනි කරුණු සතුටුදායී දේ ලෙසින් සැලකීමේ හැකියාවක් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුදුරජාණන්වහන්සේට වේවා අපට වුවද එය එසේමැයි. නමුත් අවුරුදු 30 ක් 40 ක් ජීවත්වන විට අපි විඳිනා දුක් රැස සමඟ අවුරුදු 80 ක් ආයු විඳි බුදුරජාණන්වහන්සේ විඳිනු ලැබූ දුක් ප්‍රමාණය සැලකිල්ලට ගත් විට බුදුරජාණන්වහන්සේ කෙතරම් නම් වාසනාවන්තයෙක් දැයි, කෙතරම් නම් කුසල් කරනු ලැබූවෙක්දැයි සිතෙන්නේ මට පමණක් ම නොවන බවට මා විශ්වාස කරමි. මෙවැනි අවස්ථාවලදී සමහරුන් ජීවිතය පවා තොර කර ගනී. සමහරුන් උමතු බවට පත් වෙයි. මේ කිසිඳු අවස්ථාවකදී බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ මානසික සහනය නැති කර ගත්තේ නැත.



     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ගිජිකුළු පව්ව පාමුල බුදුරජාණන්වහන්සේ සක්මන් කරන අවස්ථාවකදී ඉහළ සිට ගලක් පෙරළයි. නමුත් මින් බුදුරජාණන්වහන්සේට හානියක් නොවෙයි. පෙරළුන ගලෙන් ගැලවුන ගල් පතුරක් පැමිණ උන්වහන්සේගේ පාදයේ ගැටේ.
    mewa nam title ekata galapenne na. me de sidda une karma niyamaya nisa neme ne.
     
    • Like
    Reactions: S_M_S and hodakolla

    hpalpola

    Well-known member
  • ඉහත සිදුවීම් වලට හේතු වුන අකුසල

    ඉහතින් අපි බුද්ධ චරිතයට සම්බන්ධ සිදුවීම් 12 ක් පිළිබඳව සඳහන් කළෙමු. දැන් විමසන්නේ මේ සිදුවීම් 12 ට බලපානු ලැබූ බවට කියන බුදුරජාණන්වහන්සේට ඵල දුන් අකුසලයන් මොනවාද යන්න ගැනයි. කෙසේවෙතත් මෙහිදී සඳහන් කළ යුත්තක් වේ. මුල් බුදුසමයේදී මෙවැනි විශ්වාසයක් බෞද්ධයන් තුළ නොතිබිණි. මෙම සංකල්පයන් පසු කාලීනව බුදුසමයට එක්ව තිබේ. අනෙක් අතට ඉහතින් දැක් වූ පරිදි මේ සිදුවීම් බුදුරජාණන්වහන්සේට ගැටළුකාරී වූ ඒවා ද නොවේ.

    ඛුද්දක නිකායේ ආපදාන පාළියෙ අවටඵලවග්ගයේ
    පුබ්බකම්මපිලොතිකබුද්ධඅපදානයට ඔබගේ අවධානය මේ සඳහා යොමු කරමි. අදාළ සූත්‍රයට ඉහත ලිංකුවෙන් ඇතුල් විය හැක. මේ සූත්‍රය අනොතත්තසරාසන්නෙ , රමණීයෙ සිලාතලෙ; නානාරතනපජ්ජොතෙ, නානාගන්ධවනන්තරෙ ලෙසින් ඇරඹේ. මෙහි සාමාන්‍ය අර්ථය වන්නේ නොයෙක් රත්නයන්ගෙන් බබලන නානාවිධ සුගන්‍ධ පුෂ්පයන්ගෙන් ගැවසීගත් (හිමාලය) වනයෙහි අනවතප්ත විල සමීපයෙහි වූ සිත්කළු ගල් තලාවක යන්නයි. ඛුද්දක නිකායේ බුද්ධ වග්ගය සඳහා වෙනම ස්ථානයක් තිබියදී මෙය තවත් ස්ථානයක තැබීම සිත් ගන්නා සුළු ය. ඒ පිළිබඳව කල්පනා කිරීම පාඨක ඔබට භාර කරමි.

    දැන් සූත්‍රයට යොමු වූ විට බුදුරජාණන්වහන්සේ විසින් සංසාරයේ සැරි සරද්දී තමුන් විසින් සිදු කළ ක්‍රියාවන් කීපයකුත් ඒ ක්‍රියාවන් හේතුවෙන් බුද්ධත්වයට පත්වීමෙන් පසුවත් විපාක ලද බවත් දේශනා කරමින් අදාළ සිදුවීම් සඳහා බල පෑ හේතු විස්තර කරයි. ඒ පහත පරිදි ය.
    • මුනාළි නම්ව ඉපිද සරභූ නම් පසේ බුදුරජාණන්වහන්සේට නින්දා කිරීම හේතුවෙන් සුන්දරී හේතුවෙන් නින්දා විඳීම, (සුන්දරී සූත්‍රය කියැවීමට ඔබට යෝජනා කරමි.)
    • සබ්බාභිභු නම් බුදුරජාණන්වහන්සේගේ නන්ද නම් ශ්‍රාවක වහන්සේට නින්දා කොට චිංචිමානවිකාව හේතුවෙන් නින්දා විඳීම,
    • තව ආත්මයකදී බමුණෙක්ව සිටියදී තවත් සෘෂිවරයෙක් ගැන ඊර්ෂ්‍යාවෙන් නින්දා කිරීම හා ඒ සඳහා තමුන්ගේ ගෝලයින් ද යෙදවීම හේතුවෙන් සුන්දරී නිසා බුද්ධ ශ්‍රාවකයන් ද නින්දාවට පත්වීම,
    • තව ආත්මයකදී තමුන්ගේ පියාට දාව වෙනත් මවකගේ කුසෙන් උපන් සහෝදරයා ධනය හේතු කොට ගෙන නැසීමේ සහ ප්‍රපාතයකට හෙළීමේ හේතුවෙන් දෙව්දත් ගල් පෙරළුනු ලැබූ අතර ගල් පතුරක් පයෙහි වැදීම,
    • තව ආත්මයකදී පාරේ සෙල්ලම් කරමින් සිටියදී ඒ පාරේ වඩින පසේබුදුරජාණන්වහන්සේ නමකට ගල් කැටයක් විසි කිරීමේ හේතුවෙන් දෙව්දත් විසින් දුනුවායන් යෙදවීම,
    • තව ආත්මයකදී ඇත් ගොව්වෙක් ව සිට පසේබුදුරජාණන්වහන්සේ නමක් හා ඇතකු ගැටවීමේ හේතුවෙන් නාලාගිරි ඇතා ඉදිරියට පැමිණීම,
    • පෘථිවීශ්වර වූ රජකු ලෙසින් කටයුතු කරන කාලයේ දී කඩුවකින් ගසා මිනිසකු මැරීමේ හේතුවෙන් පාදයේ ඇතුළත ලේ ගැලීම නිසා හම නරක් වීම,
    • කෙවුල් ගමක කෙවුල් දරුවකු වී නසන ලද මසුන් දැක සතුටු වීම නිසා හිසෙහි දුක් වේදනාවක් ඇති වීම,
    • ඵුස්ස බුදුරජාණන්වහන්සේගේ ශාසනයේ දී බුදු සව්වන් හට නින්දා පරිභව කිරීමේ හේතුවෙන් වේරංජාවේ වස් කාලයේ දී හොඳ ආහාර නොලැබීම සහ යව වැළඳීමට සිදු වීම
    • තව ආත්මයකදී පොර බැඳීමේ සටනකදී විරුද්ධවාදියා පෙළීමේ හේතුවෙන් පිටේ වේදනාව ඇතිවීම, (සෙඛ සූත්‍රය බලන්න.
    • තව ආත්මයකදී වෛද්‍යවරයකුව ධනයට ලෝභ වී සිටු පුත්‍රයෙක් විරේක කරවීමේ ප්‍රතිඵලය නිසා ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම,
    • ජෝතිපාල මානවකයා ව සිටියදී කාශ්‍යප බුදුරජාණන්වහන්සේට නිග්‍රහ කිරීමේ හේතුවෙන් දුෂ්කරක්‍රියා කිරීමට සිදුවීම
    දැන් ආපදාන වෙත යොමුවීමේ දී අකුසලයන් ගැන සාකච්ඡා වන එකම ස්ථානය මෙය බව අපේ හැඟීමයි. අනෙක් ආපදානයන්හි දී සාකච්ඡා වන්නේ කුසල් සම්බන්ධයෙනි. එසේම ත්‍රිපිටකයට අනුව බුදුරජාණන්වහන්සේ ලෙසින් විඳි වේදනා කර්මානුරූපව සිදු වූ ඒවා බව කියැවෙන එකම සූත්‍රය ද මෙය වේ. කෙසේවෙතත් කුසල් පිළිබඳව සඳහන් වෙන සූත්‍රයන් අපට නිතරම හමු වේ.

    සූත්‍රයේ ආරම්භය පිළිබඳව ඉහතින් මා සඳහන් කළෙමි. අනවතප්ත විල ගැන එහිදී දැක් වේ. මෙනිසා මේ සූත්‍රය හීනයානයෙන් ත්‍රිපිටකයට එකතු වූ බවට සැකයක් මතු වේ. කම්මපිලෝති යන පාඨය වෙනත් අවස්ථාවලදී යෙදෙන්නේ නැත. නමුත් දිව්‍යාවදානයේ දී මේ පාඨය යෙදේ. දිව්‍යාවදානය ථෙරවාදයට අයත් වූවක් නොවූවකි. එහිදී ද එය භාවිතා වන්නේ ප්‍රේතයන් විසින් ප්‍රේතයින් ලෙසින් ඉපැදීම සඳහා හේතු ව බුදුරජාණන්වහන්සේගෙන් විමසන අවස්ථාවේ දී ය. එසේම එහිදී අනවතප්ත විල ද භාවිතා වෙයි.

    ඉහතදී ජෝතිපාල මානවකයා පිළිබඳව වන අවස්ථාවක් සඳහන් වේ. මේ පිළිබඳව ජාතක පොතේ ද සඳහනක් ඇත. ඒ ඝටීකාර බ්‍රාහ්මණයාද සම්බන්ධ කරගනිමිනි. කෙසේවෙතත් එම ජාතක කථාවේ දී බුදුරජාණන්වහන්සේ විසින් තමුන්ට බල පෑ අකුසල් ගැන දේශනා කරන්නේ නැත.
    ඝටීකාර සූත්‍රය ද ඔබට කියවා බැලිය හැක. එහි ජෝතිපාල මානවකයා ගැන සඳහන් වේ.

    කෙසේවෙතත් මේ සූත්‍රය ද දැන් ත්‍රිපිටකයේ කොටසකි. මේ අනුව ද ධර්ම දේශනා ද පැවැත් වේ.