මේ ගැන Post එකක් දාන්න මටත් හිතුන. මේ ගැන කියන්න තවත් පැත්තක් තියෙනව. මම හිතනව මේක මෙතනට අනවශ්‍ය දෙයක් නොවේවි කියල. මේක බොහොම දීර්ඝව කතා කරන්න පුළුවන් මාතෘකාවක් නමුත් මම පුළුවන් තරම් කෙටි කරන්න බලන්නම්.
අපේ රටේ ඕනෙ තරම් ගෑණු ළමයි පිරිමි ළමයි යාළු වෙලා අත් අල්ලගෙන ආදරය කරන ජෝඩු ඉන්නවනෙ. ඒ අය දිහා බලල සුසුම් හෙළන කට්ටියකුත් ඉන්නව. ඒ තමයි අපි හැමදෙනෙක්ම අතරෙ ඉන්න තනිකඩයො...!! ඇයි එහෙම වෙන්නෙ.? මේ තනිකඩයා ගැන වැඩි දෙනෙක් කතා නොකරන දෙයක් ගැනයි මම මේ කියන්න හදන්නෙ.
මුලින්ම කියන්න ඕනෙ ගෑණු ළමයෙක් ආශ්‍රය නොකරපු පිරිමි ළමයෙක්ව අවතක්සේරු කරන්න එපා කියන එක. ඒකට හේතුවක් තියෙනව.තනිකඩයෙක් කියන්නෙත් හැඟීම් ඇතිවෙන කෙනෙක්. නිකම්ම ගහක් ගලක් නෙමෙයි. නමුත්, එන සිතිවිලි පාලනය කරගන්න බැරුව විවිධ විදිහට අනවශ්‍ය දේවල් කරන අය ඉන්න කාලෙක, ශිලයක් ආරක්ෂා කරගෙන ඉන්න බැරි අය ඉන්න කාලෙක, පිරිමි ළමයෙක් අවුරුදු 30 ත් පනිනකන් ගෑණු ළමයෙක් ආශ්‍රය නොකර ඉන්නව කියන්නෙ ඉතාම උසස් දෙයක්. කෙනෙක් කියාවි ඒකෙ මොන උසස්ද...? තියෙන මෝඩකම කියල. නැහැ. ඒකෙ කිසිම මෝඩකමක් නැහැ. (මම මේ කියන්නෙ තනිකඩව ඉන්න, ගැහැණු ළමයි ආශ්‍රය නොකරන නමුත් ගැහැණු ළමයින්ට ඇත්තෙන්ම කැමති අය ගැන පමණයි. අනිත් අය කවුද කියල කියන්න ඕනෙ නෑනෙ...!!)
මොකද මේ වගේ අයට නිතර එදිනෙදා ජීවිතයේ දී ගමන් බිමන් යනකොට ඕනෙ තරමි ගෑණු ළමයි මුණ ගැහෙන්නෙ නැතුවා නෙමෙයි. මේ තනිකඩයාත් ඒ අය දිහා බලනව. නමුත් එතනින් එහාට පියවරක් තියන්නෙ නැහැ. මෙන්න මෙතන තමයි මම කතා කරන්න හදන දේ තියෙන්නෙ.
ගෑණු ළමයෙක් නැති කෙනෙක් ඉන්නව. මගතොටදි ලස්සන ගෑණු ළමයෙක් දකිනව. හිතින් ආසා කරනව. නිතර එයා දිහා බලනව. ඒත් හිතේ පොඩි බයක් තියෙනව. ලැජ්ජාවකුත් තියෙනව. නමුත් සමහර විට ඒ දකින ගෑණු ළමයා මේ කෙනා ගැන උනන්දුවක් තියෙන බව ඉඟි කලත්, හිනා වුණත් එතනින් එහාට පියවරක් තියන්න හිතන්නෙ නැහැ. කෙනෙක් කියාවි අපෝ ඌ මහ මෝඩයෙක්නෙ කියල. නැහැ...!! ඒ වගේ කෙනෙක් කවදාවත් මෝඩ නැහැ. නමුත් ඒ කාරණාව ගැන දෙපාරක් හිතන අය තමයි මේ තනිකඩයො කියන්නෙ. බොහෝ දුරට. හිත හිත හිටියට වැඩක් නැහැ ගිහින් කතා කරපං කියල කෙනෙක්ට කියන්න පුලුවන්. නමුත් ඒක මේ වගේ කෙනෙක්ට විසඳුමක් නෙමෙයි. මොකද ජීවිතේ ගැහැණු ළමයි ආශ්‍රය නොකරපු කෙනෙක් කවදාවත් මම හිතන්නෙ නැහැ කොච්චර හිතින් ආසා කරන ලස්සන ගෑණු ළමයෙක් වුනත් එයා ගාවට ගිහිං අඩුම තරමෙ ''hi'' කියලවත් කියාවි කියල. මම හරි නේද..? මොකද, ඔය ''කෙල්ලන්ට talk'' කරන්න දන්න අයට වඩා, ඒ තනිකඩ කෙනා හිතනව ගොඩක් දේවල්.
මෙතනට සංස්තෘතිය, හැදියාව, සමාජ වටපිටාව සහ තමන්ගේ හිතේ ස්වභාවය කියන දේවල් ඔක්කොම බලපානව. සංස්කෘතිය, හැදියාව කියන දේ පොඩි කාලේ ඉඳන්ම අපේ හිත ඇතුළෙ ගොඩනැගිච්ච දේවල්. ඒක තමයි අපේ ජීවිතයේ මූලික foundation එක. ඒ මත තමයි ගොඩක් දේවල් පැවතිලා තියෙන්නෙ. එතකොට, සාමාන්‍යයෙන් සංස්කෘතිය අනුව පිරිමි ළමයෙක් කිසිදාක දැකල නැති, අඳුනන්නෙ නැති ගෑණු ළමයෙක් ගාවට ගිහිං එයාට කතා කරන එක ගැන හිතන්නෙ වැරදි දෙයක් විදිහටයි. ඒක මූලිකව ගත්තාම හරි. ඒකට හේතුව, තමන්ගෙ පාඩුවේ යන ගෑණු ළමයෙක්ට කරදර කිරීමක්. එහෙම නෙමෙයි කියල හිතනවද කවුරුවත්... ?? නමුත් ඇත්ත... ගෑණු ළමයෙක් කියන්නෙත් මනුෂ්‍යයෙක් තමයි. කතා බහ කරන්න කැමති කෙනෙක් තමයි.
නමුත් ගෑණු ළමයි ආශ්‍රය කරපු අයට වඩා තනිකඩයෙක්ට ගෑණු ළමයි කියන්නෙ හඳුනා නොගත් වෙනම මනුෂ්‍ය කොට්ඨාශයක් කියන එක කවුරුත් මතක තියාගන්න.
සාමාන්‍ය වැඩ කටයුතුවලදි, office එකකදි, නැත්තම් bank එකට ගියාම එතන ඉන්න ගෑණු ළමයෙක් හරි ඒවගේ කෙනෙක් එක්ක ළඟට වෙලා කතා කරන්නෙ නැහැ නෙ. ටක් ගාල ඕනෙ දේ කතා කලා එතනින් යන්න යනව. ඒ නිසා තනිකඩ කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නෙ තමන්ගේ උවමනාවෙන්, තමන් ආසා කරන ගෑණු ළමයෙක් ගාවට ගිහිං එයාට කතා කරන එක.
මූලිකව තනිකඩයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් ආසා කරන ලස්සන ගෑණු ළමයෙක් හිටියත්, ඒ තනිකඩයා හිතනව එයා වගේ ලස්සන කෙනෙක් මං වගේ කැත කෙනෙක්ට කැමති වෙයිද කියන එක. නැත්තම්... මම කෙට්ටු කෙනෙක්. මගෙ ලස්සනක් නැහැ. නැත්තම් මම ගොඩක් මහත කෙනෙක්. ජොල් ඇඟක් තියෙන අයට කවුද කැමති. ඒ වගේ හිතන අය ඕනෙ තරම් ඉන්නව. විවිධ අහිංසක හේතු තියෙනව තනිකඩයින්ට. ඒ වගේ ම තව ඉන්නව ගැහැණු ළමයි ඇසුරක් නැතුවම ඉඳල ඒකට හුරුවෙච්ච අය. ඒගොල්ලන්ට ගෑණු ළමයෙක් යාළු වුණේ නැහැ කියල ගැටළුවක් නැහැ. අර තනිකඩ ජීවිතේට හුරුවෙලා. ආදරය කියන දේ ගැන කිසිම හැඟීමක් නැහැ එයාලට. නමුත් ඒ අයටත් වරදක් කියන්න බැහැ. යම්කිසි අහිංසක හේතුවක් තියෙනව ඒ හැමකෙනෙක්ම ගැහැණු ළමයින් ආශ්‍රය නොකර ඉන්න පෙළඹුණු. නමුත් එයාලා යම් මොහොතක.... තනිව ඉන්න වෙලාවක ඒ ගැන කල්පනා කරල හිතින් දුක් වෙන අය ඕනෙ තරම් ඉන්නව කියලත් මතක තියාගන්න. අනේ මට කෙනෙක් නැහැනෙ කියල.
ඉතින් මෙන්න මේ කාරණාව තමයි මට කියන්න ඕනෙ වුණේ.... නමුත් තව ගොඩක් දේවල් කියන්න තියෙනව. හෑල්ලක් කියවන්න කවුරුත් කැමති නැහැනෙ. ඒ නිසා මෙතනින් නවත්තන්නම්...... !!!!