කියවන්න_ඔබේ_දෙමවුපියන්_වෙනුවෙන්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
කියවන්න_ඔබේ_දෙමවුපියන්_වෙනුවෙන්

එළකිරි මචන්ලා ...වයසට ගිය ඔයාලගේ අම්ම තාත්තගේ අමතකවීම් නිසා ඔයාලටත් කෙන්තියන අවස්ථා කොතෙකුත් ඇති.ඒ කේන්තිය නිවාගන්නත් ඇත්තටම එයාලට මොකද වෙලාතියෙන්නේ කියල දැන ගන්නත් මේ ලිපිය ඉවර වෙනකම් කියවන්න ..දිග වැඩි නිසා කොටස් දෙකට දාන්නම්..

“ තාත්තේ ...අපි යන්න හදන්නේ ...එනකොට ටිකක් රෑ වෙයි , “ සුමිත් කීවේ තාත්තට ...
“තුණූරුවන් සරණයි මගේ පුතේ , පරිස්සමින් ගිහින් එන්න ...“ අම්ම තමන්ගේ ලොකු පුතාගේ ඔළුව අතගෑවේ කවදාවත් නිමාවක් නොවෙන දරු සෙනෙහසේ උණුහුමත් එක්ක ...ඒත් තාත්තගේ කතාවක් නෑ , නිකං නුරුස්සන පෙනුමක් ...

“ඇයි තාත්තේ ! “ ..


“මේ කොහෙද යනව කියන්නේ ....අම්මට කිව්වද ....“ සිරිසේන මහත්තය ටිකක් සැරෙන් වගේ ඇහුවේ ...


“ඇයි තාත්තේ අදනේ මගේ ඉන්ටර්වීව් එක ...මං ඊයේ තාත්තට කීවේ ....අර තාත්තගේ යාළුව ...ගුනසේන අංකල්ගේ කොම්පැණියෙමනේ .....“ සුමිත් උත්තර දුන්නා ..


“කවුරු ..ගුණසේන ...මගේ කවුරු ...“ ...


“අනේ පුතේ දැන් යන්න , පරක්කු වෙනවනේ ...තාත්තගේ හැටිනේ ඉතින් ඔය ...“ ඥාණවතී ..ඒ කිවේ සුමිත්ගේ අම්ම උත්තර බැන්දේ හැමදාමත් වෙන දේ දන්න නිසා ...


හැමදාම මෙහෙම මයි , සිරිසේන මහත්තය , සුමිත්ගේ තාත්තට හරියට අමතක වෙනවා ...ලංකාවේ ඉහළම පාසලක විදුහල්පති වෙලා හිටිය සිරිසේන මහත්තය , බොහොම පිළීවෙලට වැඩ කරන සමාජ සේවයට ලැදි , ඒ වගේම පළාතේ හොඳ නමක් දිනාගෙන ඉන්න “ඇත්තම මහත්තයෙක්“, තමන්ගේ දරුවන්ට පණ වගේ ආදරේ තාත්ත කෙනෙක් ...ඒත් විශ්‍රාම අරගෙන අවුරුදු තුන හතරකදි හරියට වෙනස් වුනා ...දැන් ගෙදරින් එළියට බහින්නේ නැති තරම් , ඔය කොනකට වෙලා කොහේ හරි බලාගෙන ඉන්නවා ...කියන දේ ඇහෙනවද නෑහෙනවද කිසි වගක් නැහැ , වෙනස පිළීවෙලට වැඩ කළ විදුහල්පතිතුමාට අද හරියට උත්තරයක් දෙන්නවත් බැහැ , අහන දේකට උත්තරයක් ලැබෙන්නේත් නැහැ , කතා කරන්න ගියාමත් යන්නේ කොහෙද මල්ලේ පොල් තමා කියන්නේ ...


දැන් දැන් තාත්ත බලාගන්න ටිකක් අමාරු නිසා , ගමේ දරුවන්ගේ ඕන කම නිසාම ශිෂ්‍යත්ව පත්නියක් කරමින් හිටි සුමිත්ගේ අම්ම , ගමේ ඉස්කෝලේ නෝන ..දැන් ගෙදරට වෙලා තාත්ත ගාවටම වෙලා ඉන්නවා ...තාත්ත වෙනුවෙන්ම කැප වෙලා ...මොකද පහුගිය දවසක සුමිත් , තමන්ගේ තාත්තව ගමේ ඉස්පිරිතාලෙ සායනේට එක්කගෙන ගියාම , “තාත්තට ඇල්සයිමර් , බොහොම පරිස්සමින් බලාගන්න ඕන තත්ත්වෙක ඉන්නේ ...කවුරු හරි තාත්ත එක්කම ඉන්න පුළුවන් නම් හොඳයි ...“දොස්තර මහත්තය කීවා ..


දැන් පවුලේ හැමෝම , ඉස්කෝලේ මහත්තය බොහොම පරිස්සමින් බලා ගන්නව , හරියට දරුවෙක් වගෙම ...

මේ එක්තරා කතාවක් ..දැන් මගෙන් අහන්න එපා මේක ඇත්ත කතාවක්මද කියලා ...ඔව් ..මේක අපි අතරේ යම් තැනක සිදුවන ඇත්ත කතාවක් ..හැබැයි නම් ගම් වෙනස් වෙන්න ඇති ...කෙසේ වෙතත් මේ කතාවත් එක්ක අපි දැනගත යුතු තවත් එක් රෝග තත්ත්වයක් ගැන දැන ගන්නයි හදන්නේ ..විශේෂයෙන්ම , ඔබේ මව , පියා , එහෙම නැත්නම් සීයා , ආච්චි මේ කියන තත්ත්වයෙන් පෙ‍ළෙනවා ඇති දැනටත් , වයසට යෑමත් එක්ක එන “අමතකවිම්“ මුලික ලක්ෂණයක් වෙන , ටිකෙන් ටික හැම දේම හැම තිස්සෙම අමතක වෙන , හිටපු ගමන් කිසි හේතුවක් නැතිව තරහ ගිහින් නැත්නම් අඬ අඬා ඉන්න ඔබේ ඥාතියා දැනටමත් මේ තත්ත්වයෙන් පෙළෙනවා ඇති .


“වයසට ගියාම හැටි තමයි“ , එහෙම නැත්නම් “අපිව තරහ ගස්සන්නම හිතලම මේව අමතක කරනවද කොහෙද “ ඒ වගේ හිතල සමහර විට ඔබ එය දරා ගන්නවත් ඇති , ඒත් තමන්ටම පාළනය කරගත නොහැකි මේ අවාසනාවන්ත තත්ත්වය නිසා , එහි රෝග ලක්ෂණ නිසා දරුවන්ගෙන් බැනුම් අහන , දරුවන්ගෙ වෛරය ලබන , දරුවන්ගේ , ඥාතින්ගේ රැකවරණයක් නොලබන මව්වරු පියවරු කීදෙනෙක් නම් අපේ රටේ ඇත්ද ? ....රැකවරණය , සෙනෙහස වැඩියෙන්ම ලැබෙන්නට ඕන කරන කාළේ ඊට පරස්පර දේ ලබමින් , මරණය ඉක්මණින් එනවා නම් කියන්නට හිත හදාගත් දෙමව්පියන් ඇති ඕන තරම් ...අනේ , මේ ලිපිය කියවන ඔබ , තේරුම් ගත්තොත් ඒ ඔබේ මව , පියා පෙළෙන්නේ පාළනය කළ හැකි රෝගයකින් කියල , ඒ වගේම ඒ ඔබේ ආදරය සෙනෙහස වැඩියෙන්ම ලැබිය යුතු කාළය කියල , කොයිතරම් දෙයක්ද ? ...ඒ නිසා මේ ලිපිය කියවන්න ඉස්සර මෙන්න මේ සිංදුව ටිකක් අහල හිතට දැනෙන දේ විඳින්න..

දැනට තිබෙන වෛද්‍ය තාක්ෂණය අනුව .........සම්පුර්ණයෙන් සුව කළ නොහැකි , ඒත් ඖෂධ මඟින් යම් පාළනයක් කළ හැකි , ඊට වඩා රැකවරණය අවශ්‍ය වන එක්තරා විදියකින් “අවාසනාවන්ත රෝගී තත්ත්වයක් .....නම කිවොත් ...ඇල්සයිමර් ...Alzheimer disease ...

අපි දන්න ඒත් පිළිගන්න අකමැති ඇත්ත අතරේ වයසට යාම සහ මරණය කියන පද දෙකම තිබෙනවා , ඒ කීවේ අපි දැන හිටියත් අපි වියපත් වන බව , මරණයට පත්වෙන බව , ජිවිතේ එක්තරා බරක් දැනෙන තුරු මේ දෙක ගැන හිතන්නට පෙළඹෙන්නේ බොහොම ටික දෙනයි , මේ වියපත් වීමත් එක්ක , අපේ ඇඟේ හැම අවයවයක් වගේම ටිකෙන් ටික දුර්වල වෙනවා , ක්‍රියාකාරීත්වය අඩුවෙනවා , ඇසේ පෙනීම අඩුවෙත්දි , කණේ ඇසීමේ හැකියාව අඩුවෙනවා , දිවට දැනෙන රස වෙනස් වෙලා , කිසි දෙයක් රහ නැති ගානට වැටෙනවා, ඇඟේ මේ විදියට වන “වියපත්වීමත් එක්ක“ මොළයේත් වෙනස්විම් වෙන්නට පටන් ගන්නවා, ඒ අතරේ ප්‍රධාන වෙනස්වීමක් තමයි මතකය අඩුවීම Memory loss , අපි මේක බොහොම පොදු “වියපත් වීමේ ලක්ෂණයක් විදියට දකිනවා“ , ඒත් මේ අමතක වීමේ නැත්නම් Dementia තත්ත්වයට බහුලවම හේතු වන රෝගයක් තමයි අද අපි මේ මාතෘකාවට ගත්ත Alzheimer disease කියන්නේ , හරියටම කිවොත් වයස්ගත වීමත් එක්ක එන අමතකවීමේ සහ මොළයේ වැඩකටයුතු අඩාල වීමේ ප්‍රධානම රෝගය මෙය යැයි කීවොත් තමා නිවැරදි,


දැන් අපි ටිකක් මේ ඇල්සයිමර් රෝගය ගැන හොයල බලමු , ඔබේ මව , පියා දැන් ටිකක් වියපත් නම් ටිකක් සංවේදීව මේ කරුණූ ටික කියවල බලන්න , සමහර විට ඔබේ අම්ම , තාත්තත් මේ රෝගයෙන් නොදැන විඳවනවා ඇති , ඒ වගේම මේ රෝගයේ ලක්ෂණ , නිසා ඇති වන පොඩි පොඩි අතපසුවිම් , අම්මගේ වැරැද්දක් නැත්නම් තාත්තගේ වැරැද්දක් කියල ඔබ අමනාප වෙන කළබල වෙන අවස්ථාත් ඇති , සමහර විට ඒ නිසාට ඔබ ටිකක් තරහෙන් කතා කළාත් වෙන්න ඇති , ඒත් මේ ලිපිය කියවල අවසානයේ ඔබට වැටහේවි ඒ වරද , නැත්නම් ඒ අතපසුවිම අම්ම , නැත්නම් තාත්ත හිතල කළ දෙයක් නොවන බව , ඒ මේ රෝගයේ එක් ලක්ෂණයක් විතරයි , ...ඉතිරිය ගැන දැන් ඉතින් කතා කරමු ..


අදත් ලෙඩේ ගැන කියන්න ඉස්සර වෙලා ඊට අදාල තැන ගැන ටිකක් කතා කරල ඉමු , ඇල්සයිමර් රෝගයේදී ප්‍රධාන බලපෑම ඇති වන්නේ මොළයට නිසා අපි මිනිස් මොළය ගැන බොහොම සුළු දේවල් ටිකක් කතා කරමු ,

අපේ ඇඟ වගේම මොළයත් හදන්නේ “සෛල “ කණ්ඩායමක් එකතු වෙලා , අපි ඒවට කියන්නේ නම් “ස්නායු සෛල“ කියලා , මොළය පුරාවට මේ සෛල එකිනෙකා ළඟින් ළඟින් ගෑවෙන්න වගේ ඉන්නවා , ඒ වගේම මේ සෛල අතරේ විදුලමය ක්‍රමයකට පණිවිඩ හුවමාරුවත් වෙනවා , ඒ විතරක් නොවෙයි , එයාල ඇඟේ අනෙක් තැන්වල ඉන්න ස්නායු සෛල එක්කත් සම්බන්ධකම් පවත්වගෙන , බොහොම වැදගත් රාජකාරි ගණනාවක් කරන කට්ටියක්. මොනවද ඒ වැදගත් රාජකාරි , ඒ තමයි අපේ සංවේදන ඉන්ද්‍රියයන්ගෙන් එන (ඒ කීවේ ඇහ ,කණ ,නාසය වගේ) පණිවිඩ තෝරල බේරලා, ඒව හඳුනගන්න එක , අපේ අතපය පිළිවෙලකට රටාවකට , එහෙම නැත්නම් කරන වැඩේට අනුව ක්‍රියාකරවන එක , හිතන එක , මතකතබා ගැනීම , තීරණ ගැනීම , සමබරතාවය පවත්වා ගැනීම ඔය වගේ කටයුතු රැසක් කරන බොහොම සංකීර්ණ පද්ධතියක් තමයි මේ මොළය ..


ඒත් වයසට යාමේදී අනෙක් සෛල වගේම මොළයේ සෛලත් ටිකෙන් ටික දුර්වල වෙන්නට පටන් ගන්නවා , එය සාමාන්‍යයි , ඒත් මේ රෝගයේදි ඒ දුර්වල වීම හරිම ඉක්මණ් , වියපත් මොළයේ සෛල ඇතුලෙම ඇතිවන plaques සහ tangles කියන විකෘති වුනු ප්‍රෝටිනයක් , ඒ මොළයේම සෛල මරමින් ටිකෙන් ටික මොළය හකුළවන්නට පටන් ගන්නවා , මෙතුවක් දවස් මොළය කළ රාජකාරි කරන්නට දැන් අමාරුයි , මොකද ඒ වැඩ කරන්නට , ඕන කරන සෛල දැන් නැහැ , ඔන්න දැන් ටිකෙන් ටික ඇල්සයිමර් තත්ත්වය මතු වෙන්නට පටන් ගන්නවා , මේ නියුරෝන සෛල විනාශ වන වේගයත් එක්ක තමයි ඇලසයිමර් රෝගය කොයි තරම් බලපෑමක් කරනවද කියන එක තීරණය වෙන්නේ , ඒ කියන්නේ මොළයේ සෛල මිය යාමේ වේගය වැඩි වුනොත් සියල්ලටම තිබෙන්නේ ටික කාළයයි , නමුත් එය පාළනය කරගත්තොත් , යම් යම් අපහසුකම් ඇති වුනත් ජීවිතේ නිමාවන දිනය තවත් ටිකක් ඈතට ගෙනයා හැකියි , කෙසේ වෙතත් ඇල්සයිමර් රෝගය ඇති වුනා නම් , තවත් වසර 3ක් 4ක කාළෙකදි ඒ රෝගියාට ජිවිතේ අවාසනාවන්තම සිමාවට එන්නට වෙනවා , ඒත් නිසි ප්‍රතිකාර , සාත්තුව ලැබුනොත් එය අවුරුදු දහයක් විතර ඈතට ගෙනියන්න පුළුවන් .ඇත්තම කතාව බොහොමයක් මව්පියන් මිය යන්නේ ඇල්සයිමර් නිසාම නෙවි , එහි අතුරු ප්‍රථිපල විදියට ඇති වන නියුමෝනියාව , වැටීම් එක්ක ඇතිවන ගැටළු , අස්ථි බිඳිම් වැනි හේතු කාරනා නිසා, ඒකයි කීවේ නිවැරදි ප්‍රතිකාරය සහ විශේෂයෙන්ම සාත්තුව ලැබෙනවා නම් මේ අවාසනාවන්ත තත්ත්වය යම් තරමකට හරි මඟ හරවා ගන්නට පුළුවන්.

දැන් අපි කතා කරන්න හදන්නේ ඇල්සයිමර් රෝගයේ එක් එක් අවස්ථා ගැන , මේක ටිකක් කම්මැලි කතාවක් වෙන්න පුළුවන් , ඒත් මේ ටික දැන ගත්තොත් , ඔබේ මව පියා , නැත්නම් ඔබේ තත්ත්වය කොහොමද කියල හඳුනගන්න පුළුවන් . එහෙම කීවේ හේතු දෙකක් නිසා , එකක් මේ සටහන කියවන්නේ තරුණ කොළුගැටව් පමනක්ම නොවන බව දන්නා නිසාත් , සමහර අවස්ථාවල මේ රෝගයේ ආරම්භක වයස වෙන අවුරුදු 60-65 සීමාව ඉන් අඩකට අඩුවන්නටත් , එනම් අවුරුදු 30-35 දී පවා ඇල්සයිමර් රෝගය ඇතිවීමට හැකියාවක් තිබෙනවා .දැන් ඉතින් මේ කරුණූ ටික කියවල අපේ තරුණ දරුවො කළබල වෙන්න එපා , මොකද ඔබට මේ තත්ත්වය ඇතිවීමේ අවදානම අඩුයි , වැඩියත්ම දැන් අපේ තරුණ දරුවො , මත්පැන් සිගරට් වගේ දේවල් වලින් ඈත් වෙලානේ ඉන්නේ ...
(
මතු සම්බන්ධයි)

මේක ගත්තේ සොදුරු සුව අසපුව බ්ලොග් එකෙන් .මේක බලලා එළකිරියේ එකෙක් හරි තමන්ගේ අම්ම තාත්ත ගැන වෙනදට වඩා ආදරෙන්,කරුණාවෙන් සලකන්න හිතට ගන්නවා නම් ලිපියේ මුල් අයිතිකරුගේ පැතුමත් එකම වේවි !!!
 
Last edited:

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි

රෝගයේ පළමු මට්ටම , stage 1 ඇත්තටම මේ අවස්ථාවේ බාහිර , නැත්නම් මතකයේ දුර්වල විම් පැත්තෙන් කියන්න තරම් , හඳුනගන්න තරම් වෙනසක් නැහැ , මොළය ඇතුලේ සුළු වෙනස්කම් වුනත් “ලෙඩක් තිබෙන බව“ තවම හඳුනගන්නේ නැහැ ,


දෙවන මට්ටමේදී නම් පොඩි පොඩි අමතක විම් වෙන්න පටන් ගන්නවා , දොර වහල යතුර කොහේ තිබ්බද කියල මතක නැහැ , නැත්නම් කතා බස් කරගෙන යන අතරේ පොඩි චවනයක් දෙකක් වරින් වර අමතක වෙනවා , නැත්නම් බඩු ගේන්න කඩේට ගියාම හැමදාමත් අරගෙන එන්නේ ගේන්න ගිය දේ නෙමෙයි වෙන දෙයක් , (දැන් ඔන්න මෙහෙම එක සැරයක් වුනා කියල කළබල වෙනව එහෙම නෙවි , හැබැයි වැඩි වාර ගණනක් වුනොත් හේතුව හොයාගන්න එක හොඳයි , මොකද ඉතින් මේක විතරක්යැ හේතුව නේද ) , මේ අවස්ථාවත් ටිකක් හඳුනගන්න අමාරුයි , ඒත් හොඳඅවධානෙන් හිටියොත් තේරුම් ගන්න පුළුවන් මුල්ම අවස්ථාව ..


තුනවන මට්මටම නම් හොඳටම හඳුනගන්න පුළුවන් අවස්ථාව , මොකද මේ අවස්ථාවේ හරියට “නම් අමතක වෙනවා , කතාකර ගෙන යන අතරේ “...අර කවුද .........මට හරියට මතක නැහැනේ .....“ කියන කොටස කියවෙනවා. මොකද ඔහුට , ඇයට මතකයේ තිබුණු නම් ගම් දැන් මතකයේ නැහැ , නැත්නම් ඒ ඉක්මනින් එළියට ගන්නට බැහැ , ඒ වගේම බස් එකේ ගමනක් ගියොත් හැමදාමත් බහින්න ඕන තැනින් එහාට ගිහින් බැහැල පයින්ම එනවා ..මොකද වුනේ කියල ඇහුවම “ මට බෙල් එක ගහන්න අමතක වුනා පුතේ “ කියල කියාවි ..මේ ඔබේ අවධානය යොමු විය යුතු අවස්ථාවක් ..

හතර වන මට්ටම ..දැන් ලෙඩේ ටිකක් දරුණූයි , හරියට අමතක වෙනවා , තමන්ගේ වැඩ කටයුතු පවා අමතක වෙනවා , තේ එකක් හදාගෙන ආවොත් සීනි දාන්න අමතක වෙලා , ගමනක් යන්න ගියොත් මොකටද ගියේ කියල මතක නැහැ , දැන් පොඩි ගණනක් වත් හිතෙන් හදන්න බැහැ , සමහර වෙලාවට ගෙදර පොඩි ආරවුලුත් ඇතිවෙන්න පුළුවන් , මොකද පෙන්ෂන් එක ගෙනාවම ඒකේ ගාණ හදාගන්න බැරිව . නැත්නම් සල්ලි පරිස්සමට හංගල , ඊට පස්සේ මතක නැහැ කොහේ හැංගුවද කියල , ඔන්න දැන් ඉතින් තරහ යනවා , හැමතිස්සේම “මූඩ් ගහගෙන “ මොකද මේ මට්ටමේදී “තමන්ට දැනෙනවා තමන් තමන්ගේ නොවෙයි වගේ “ ...ඕන කරන දේ මතකෙට නොඑන කොට , තමන්ගේ දේවල් අමතක වෙලා යනකොට එහෙම නොවුනොත් නේද පුදුමේ ..!


පස්වන මට්ටමේදි , ඔහුට ඇයට අංක අමතක වෙනවා වැඩියි , අද දවස , නැත්නම් ගෙරද අංකය , වෙන පළාතක ඉන්න පුතාගේ දුරකථන අංකය මෙච්චර දවසක් කටපාඩමින් කියවපු ඇයට , ඔහුට දැන් මේ දේවල් මතක නැහැ , ගමේ මඟුලකට හරි මරණෙකට හරි යන්න හදත්දි , පුතාගේ , දුගේ නොක්කාඩු අහන්න වෙනවාමයි ,“මොකක්ද අම්ම මේ ඇඳගෙන යන්නේ , ...ඕක ඔතැනට ගැලපෙන්නේ නැහැනේ ... අපිටත් ලැජ්ජ කරන්නද හදන්නේ , “ .....ඒත් මේ අම්ම , තාත්ත මොකද කරන්නේ , එයාගේ මොළයේ තීරණ ගැනීමේ හැකියාවට අදාල කොටස් දැන් දුර්වලයි , ඉතින් තැනට ගැලපෙන දේ “තෝරා ගැනීමේ “ හැකියාව දැන් නැහැ , ඒ නිසා ඒ ගැන කළබල වෙනවාට වඩා කල යුත්තේ , එය සුදුසු දේ තෝරා ගන්නට උදව් කිරීමයි .


හයවන මට්ටම ඇත්තටම හරිම කණගාටුදාය මට්ටමක් කියන්න පුළුවන් , දැන් තමන්ගේ නම ඇහුවත් හුඟවෙලාවක් මතක් කරල තමයි උත්තරේ දෙන්නේ , වයස , උපන් දිනේ , නෑදැයන්ගේ නම් ....හරියට මතක නැහැ , සමහර වෙලාවට තමන්ගේ පවුලේ දූ දරුවන් පවා හරියට හඳුනගන්න බැරි වෙන තත්ත්වයක් , නින්ද යාමත් හොරයි , කෑම බිම ගැන කිසිම අවදානයක් නැහැ , තමන්ගේ පිරිසිදුකම ගැන කිසිම අවදානයක් නැති නිසා පවුලේ අයගෙන් ප්‍රතික්ෂෙප වෙන අවස්ථාවක් . කාමරේක මුල්ලකට වෙලා තනියම ඉන්න කැමති මේ අයට නිසි ලෙස රැකනොබලා ගත්තොත් බොහොම ඉක්මනින් ජීවිතේ නිමාවන්නට ඉඩ තිබෙනවා . විශේෂයෙන්ම වෙනත් රෝග හේතුවෙන් .


හත්වන අවස්ථාව නම් , කැම බිම වගේම මළ මුත්‍රා පහ කිරිම ගැන පවා කිසිම කල්පනාවක් නැහැ , තමන්ගේ නම ගම තියා , තමන්ගේ දරුවන් පවා හඳුන ගන්න අමාරුයි දැන් , කිසිම දෙයක් තේරුම් ගන්න බැරි , මතක් කරගන්නට බැරි මේ රෝගයේ අවසානම අවස්ථාව මේ , අතපය දරදඬුයි වගේ , තමන්ගේ දුව පුතා දිහා ආදරෙන් බලපු අම්ම , තාත්ත අද කිසිම හැඟිම් නැතිව වගේ බලාගෙන ඉන්නේ , දැන් හිනාවෙන්න බැහැ , ඒ පේෂි ක්‍රියාකරවන මොළයේ කොටස් දැන් අක්‍රියයි , අතපය වාරු නැති නිසා කෙළින් ඉන්නත් අමාරුයි , මොළයේ දුර්වලවිමත් එක්කම දැන් ගිලින්නට බැහැ , කෑම කවන හැම වාරෙකම හිරවෙනවා , ....පොවන දෙයක් විතරයි ඇඟට ඇතුව වෙන්නේ , ඒකත් හුඟ වෙලාවකට කැස්සත් එක්ක එළියට එනවා ...

මේ කියවගෙන ගියේ ඇල්සයිමර් රෝගයේ අවස්ථාවන් ටික , මෙහි මුල් අවස්ථාවලම එය හඳුනගෙන ප්‍රතිකාරයට යොමු කළොත් ඊට ඉහළ අවස්ථාවකට යන වේගය අඩු කරගන්නට පුළුවන් .නමුත් සම්පුර්ණයෙන්ම හොඳ කරන්න නම් බැහැ , ඒ ඇත්ත කියන්නම ඕන . නමුත් මේ අමාරුවට වැටෙන්න ඉස්සර දෙන සංඥාවන් හරියට හඳුනගත්තොත් බොහොම සාර්ථක ප්‍රතිපල ලබා ගන්නට පුළුවන් . සංඥාවන් කීවේ ලෙඩේට ඉස්සර එන පෙර දැනුම් දීම් ...මේ ගැන පර්යේෂණ කරන පර්යේෂකයින් මේ විදියට එන පෙර දැනුම් දීම් දහයක් ගැන කතා කරනවා, මේ ඔක්කොම එනකම් ඉන්න එපා එකක් දෙකක් හඳුගත්තම ඒ ඇති අවදානම දැනගන්නම .. , අපි ඒ ගැන කවියක් හදමුද ?,


ළඟ දේ අමතක වෙනා .....,

ගණන් මිමිත් බැරි වෙනා.... ,

ගෙරද වැඩත් හිර වෙනා..... ,

වෙලාව ගැන නොමදැනා ...


දකින දේත් වරදිනා ....

හරිම වචනේ නොම එනා ..

හැමදේමත් “නැති වෙනා“ ..

ලතැවී මුල්ලට වෙනා .


තීරණයක් නොමදෙනා ..

මූඩ් එකත් කැළඹෙනා ..

වයස හැටට ලංවෙනා ..

හොයල බලමු හැම දෙනා ..


මේ රෝග තත්ත්වය ඇති කරන්නට හරිම හේතුව මේකමයි කියල නොකිව්වත් , වයස්ගත විම , පවුලේ අයට මේ තත්ත්වය පැවතීම , යම් දුර්වල මානසික තත්ත්වයක් පැවතීම වගේ සාධක හේතු වෙන්න පුළුවන් කියල හොයාගෙන තිබෙනවා , ඒ වගේම ස්ත්‍රී පාර්ශවය වැඩි අවදානම් , හෘදයාබාධ , දියවැඩියාව වගේ කාළින රෝග එක්ක හිටි කෙනෙක්ට ඇල්සයිමර් ඇති වීමේ අවස්ථාව වැඩියි , ඒ වගේම යම් අනතුරක් නිසා හිසට තුවාල වෙලා ඇත්නම් වගේම දැනුම සහ අධ්‍යාපනමය හැකියාවන් , ඒ කිවේ මොළයෙන් හොඳට වැඩ ගන්න කෙනෙක්ට වඩා , මොළයෙන් සක්‍රියව වැඩ නොගන්න කෙනෙක්ට මෙය ඇතිවීමේ අවදානම වැඩියි , ඒ නිසා වියපත් වුනත් කියවීම , ලිවිම වගේම දරු මුණුපුරන් එක්ක සෙල්ලම් කිරීමත් මේ අවදානම තරමක් හො ඈත් කරවන්නට සමත් .
මේ කියපු දේ ගැන සැක සහිත අවස්ථාවක් දකින්නට ලැබුණොත් හොඳම දේ ඔබේ මව , නැත්නම් පියාවත් එක්ක ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන්න යන එක . ගිහින් කතා කරන්න මේ අමතක විම් ගැන , එතැනදි වෛද්‍යවරයාට පුළුවන් කරන කතාබහ සහ අනෙක් බාහිර ලක්ෂණ අනුවම පොඩි සැකයක් ඇති කර ගන්නට , හැබැයි මේ වැඩේට ටිකක් වෙලා යාවි, ඒ වෙනුවෙන් බොහොම ඉවසීමෙන් ඉන්න , එයින් පස්සේ කෙරෙන රුධිර පරික්ෂණ කිහිපයක් සසහ සීටි ස්කෑනින් හෝ M.R.I. වගේ පරික්ෂණ වලින් පස්සේ මේ රෝග තත්ත්වය හඳුනාගන්නට පුළුවන් .

Z

රෝග තත්ත්වය නිවැරදිව හඳුනාගත්තට පස්සේ ඖෂධ ලබා දේවි , වැදගත්ම දේ , දැන් බෙහෙත් ටික කළට වෙලාවට දීමේ වගකීම කවුද ගන්න ඕන ..? ....ඒ වගකීම මේ රෝගි වූ කෙනාට දෙන්න එපා , මොකද ඒකත් අමතක වෙනවා. ඒ නිසා දැන් ඔබේ සාත්තුව හරිම වැදගත් , මේ අයට හරිම ඉක්මණින් නියුමෝනියාව මුත්‍රා ආසාදන හැදෙන්න පුළුවන් , ඒ නිසා පවිත්‍රතාව ගැන වගේම දවසේ ටික වෙලාවක් හරි ඔබේ රැකවරනය යටතේ ඇඳෙන් බැහැල ඇවිදින්නට , යම් වැඩක් කරන්නට උදව් කරන්න , ඇඳේම ඉන්න වෙන තත්ත්වයක් වුනොත් අඩුම ගණනනේ පැය දෙක තුනකට සැරයක් වත් නිදාගන්න පැති මාරු කරන්න , ඒ කීවේ එක දිගටම එකම පැත්තට වෙලා නිදාගත්තොත් , යටවෙලා තියෙන හරියට , ලේ ගමන අඩුවෙලා තුවාල හැදෙන්න පුළුවන් . ඒ තුවාලයක් ඇති මරණයටම ගෙනියන්න . ඇවිදින්න පුළුවන් නම් වැටීමෙන් විය හැකි අනතුරු හඳුනගෙන ඕවට උපක්‍රම අරගන්න , පුළුවන් තරම් පවුලේ අයත් එක්ක ළඟින් ඉන්න ඉඩ දෙන්න , උදව් කරන්න , ගත වගේම හිතත් සක්‍රියව තියාගන්න උදව් කරන්න , මේ කාරණා ලියනවා වගේ නොවෙයි කරත්දි යම් අපහසුතා ඒවි , ඒත් ඒ අපහසුතා දරා ගනිමින් , මේ උපකාරය කරන එක ඔබේ වගකීම , ඔබේ ජීවිත වගකීමක් , ඒ ඔබ පුංචි කාළේ ඔබේ ජීවිත වගකීම බොහොම ඉහළින් අරගෙන ඔවුන් ඔබට ආදරය දුන් නිසා ..
මේක ගත්තේ ''සොදුරු සුව අසපුව'' බ්ලොග් එකෙන් .
මෙන්න තැන
....http://nursinglanka.blogspot.com/
මේක බලලා එළකිරියේ එකෙක් හරි තමන්ගේ අම්ම තාත්ත ගැන වෙනදට වඩා ආදරෙන්,කරුණාවෙන් සලකන්න හිතට ගන්නවා නම් ලිපියේ මුල් අයිතිකරුගේ පැතුමත් එකම වේවි !!!
 
Last edited: