නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්......
මායාව මායාව ලොව රවටනා..
මම වැඩ කලේ ෂිපින් කම්පැනි එකක. උදේ නමයට ඔෆිස් එකට ගියාම හවස පහ වෙනකල් ෆුල් බිසී. බිසී කියන්නෙ පට්ටම බිසී. ඇත්තම කියනවා නම් මම උදේ ඉඳල කරන්නෙ ෆේස් බුක් එකේ ඔන්ලයින් ඉන්න කෙල්ලො එක්ක චැට් කරන එක තමයි. සචිනිව අඳුනගත්තෙත් ඒ විඳියට. එයා බැඳලා දරුවො දෙන්නෙකුත් හිටියා. හස්බන්ඩ් හිටියෙ කැලිෆෝනියාවෙ. ඒ විස්තර දැනගත්තට පස්සෙ මම එයාට ළං වුණේ වෙන අරමුණකින්. හැම මාසෙම වියදමට සල්ලි එව්වට එයාට කැලිෆෝනියාවෙත් පවුලක් ඉන්නවලු. අපි මුළින්ම හොඳ යාළුවො වුණා. ඒත් මට නම් ඊට එහා ගිය ආකර්ශණයකුත් එයා ගැන තිබුණා. සමහර විට පුංචි පුංචි තැන් වලින් ආදරය එහෙමත් ගෑවිල තියෙන්න ඇති. ඒ වගේ දේවල් වලට නං සචිනිගෙන් කිසිම ඉඩක් නෑ. ගොඩක් දවස් වල රෑට එයා තමන්ගෙ දුක මාත් එක්ක කිය කියා හෙමීට ඉකි බින්දා. කන රත්වෙනකල් මමත් ෆෝන් එක කනේ තියාගෙන හිටියා. වෙන මොනවා කරන්නද..?
සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඩවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙළමි හීන කුමරි
ආදරයේ වේදනාව
දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුණම මගෙ ගී වෙත
ඔබ නිහඬව බැන වඳීවි
ඔබ නිහඬව බැන වඳීවි
මරදාන ටවර් හෝල් එකේ තාරාවො ඉගිලෙතී ඩ්‍රාමා එක බලන්න යන්න එයා එන්නම් කිව්වම මගේ හිතේ මලක් පිපුණා. කිව්වට විශ්වාස කරයිද මන්දා සචිනිට තියෙන්නෙ කොල්ලො පිස්සු වට්ටන ලස්සනක්. එයා ඇඳලා හිටිය ඩෙනිමට තවත් ලස්සනට පෙනුණා. බැඳපු මිනිහට පිස්සුද මන්ද මේ තරම් ලස්සන ගෑනියෙක්ව අමතක කරල සුද්දියෙක් බැඳගන්න. පාරෙ මාත් එක්ක ඇවිදගෙන යද්දි වටේ ඉන්න නාකි අංකල්ල පවා බලනව කවුද මේ ගිනි මල කියල. මගේ හිත මට කියනව බක තපස් රකින්න එපා කෙලින්ම හිතේ තියෙන දේ කියන්න කියල. ළමයි දෙන්නා නොහිටියා නම් අම්මපල්ලා දැන් ගිහින් බඳිනවා. අපරාදෙ එයා මට කලින් හම්බවෙන්න තිබුණෙ. එහෙම නැත්නම් එයාට නොබැඳ ඉන්න තිබුණෙ.
ලිය තඹරා - මුදු කුසුමකි ඈ..
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා..
නෑ ලෝකෙ ජීවේ ඇයයි..
මායාව මායාව ලොව රවටනා..
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා..
වීණාවෙ තත් අතර මුදු ස්වරය ඇයමයි..
මා හදට රස ගෙනෙන මදු විත ඇයයි..
ගොඩක් දවස් වලට අපිට මුණගැහෙන්නත් ලැබුණෙ වේදිකා නාට්‍යයක් පෙන්වන දවසට විතරයි. මේ යාළුකම එයාටත් නොදැනිම ආදරයක් බවට පත්වුණා. ඇත්තම කියන්නද... මම මුලින්ම එයාට ළං වුණේ පහත් අරමුණකින් වුණාට සචිනිගෙ ආදරය ඉදිරියේ ඒ අරමුණ වෙනස් වුණා. මමත් එයාට උපරිමයෙන් ආදරේ කරන්න පටන් ගත්තා. ඔෆිස් එකේ යාළුවො නම් මට විහිළු කරනව කොට්ටෝරුව කොට කොට ගිහින් කෙහෙල් ගහේ හොට පටලවගත්තා කියලා. ඒ වෙලාවට වදෙන් බේරෙන්න මේ කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටුවත් කොටන්නෙ කෝලිකුට්ටුවලට හරිද මල්ලි කියල ලිස්සල යනවා. දැන් අපේ ආදරේ සරුවට වැඩිලා. බොහොම ශක්තිමත්. පව් ඒ කෙල්ල හොයන ජීවිතේ දැන් තමයි ලැබිල තියෙන්නෙ. මම තනිවෙන හැම වෙලාවෙම අපි ගැන, එයා ගැන අපේ අනාගතය ගැන කල්පනා කලා.
රෑ අහසේ තරු කැට පායා දිලුණා..
මා තනියේ සිතුවිලි සයුරේ වෙළුණා..
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී තිබෙනවා
හිතට දැනෙනවා....
මේ ආදරේ මාව අතරමං කළා. මාව විතරක් නෙමෙයි එයාවත්. අරමුණක් ඉලක්කයක් නැති අපේ ආදර කතාවට එකපාරටම ලොකු ප්‍රශ්නයක්. හෙනහුරෙක් පාත් වුණා. මම මගේ ආදරයෙ අයිතිවාසිකම් වෙනුවෙන් උපරිමයෙන් සටන් කළා. ඒත් මම අසරණයි කියල හිතුණෙ ඒ හැම සටනෙන්ම පරාද වෙනකොට. සචිනිටත් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. ළමයි දෙන්න වෙනුවෙන් ආපහු කැලිෆෝනියාවෙ ඉඳල ආපු කසාද සහතිකේට සිමා වුණ හස්බන්ඩ් එයා ළඟ නතර වුණා. ඇත්ත මම මේ හැමදේම දැනගෙන එයාට ලංවුණේ. සචිනි මට අමුතුවෙන් අලුතෙන් කියන්න ඕන නෑ. මම දන්නව එයා බැඳල ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියල. ඒත් මගේ හිත ඒ ආදරෙන් උණුහුමෙන් මිදෙන්න පොඩ්ඩක්වත් කැමති නෑ.
කඳු පාමුල සිට - දැහැනට සම වැද
මා ගයනා ගී - ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට - දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරුලියේ...
මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වනපෙතේ
ඔබ කියූ රහසින් මා සැලුණේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
මම හොදාකාරවම දැනගෙන හිටියා සචිනිට මාව නැතුව බෑ කියලා. මාස තුනකට විතර පස්සෙ ආපහු හස්බන්ඩ් ලංකාවෙන් ගියා. නිවාඩුවට ලංකාවට ආවම පාවිච්චි කරන්න ගත්ත වාහනයක් වගේ සචිනිව ආපහු ජීවිතේ අතරමං කරලා ගියා. සචිනි මට ආපහු ළං වුණා. මම කියල නෙමෙයි මේ පාර නම් එයා මගේ ළඟට ආවෙ. ඒත් මට බයයි කලින් පාර වගේ මේ පාරත් මම අතරමං වෙයිද කියලා. හෙටක් නැති අපේ ආදර කතාවේ අද සතුටින් ඉඳල, ඒ සතුට ජීවිතේට එකතුකර ගන්නව.
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
දකින හිමිවන හීනේ - නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ - ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා..
නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇඳුනා
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුණා
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිඳුණා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුණා..




.