දෙවැනි අදියර
මේ ජොති කියැවීමේ දෙවැනි අදියරයි. ස්වතන්ත්‍ර නිර්මාණ ගැයීමට වඩා ජෝති පෙළඹූයේ හින්දි කොපි ගැයීමටයි. තත්කාලීන සමාජ වටපිටාව හා ජොතිට ගැයීමට තනු ලියූ තනු නිර්මාණශිල්පීන් ජෝති එතැනට යොමු කළා විය හැක. නමුත්, ජෝති නම් දෙන ඕනෑම පදයක් ගැයීමට සමර්ථ මිනිසෙකි. අසහාය හඩ පෞරුෂයකි. ජොති පසුබ්ම් ගායකයා වූයේ, පෙම්වතා-දුෂ්ඨයා-වීරයා හෝ ‘සිරා පොරවල්‘ වෙනුවෙන් පමණක් නොවේ. විකටයා පිටුපස සිට ගයන්නටද ජෝතිට හැකි විය. ජෝති එසේ කළ අවස්ථා ඇත (සාක්ෂි - වනමෝහිනී /1958, ශ්‍රී 296 / 1959 සහ තවත්). ජෝති ලෙස්ටර්ට හදුන්වා දුන්නේ, රෙකමදාරු කරනු ලැබූයේ ගාමිණි ෆොන්සේකා විසිනි. ජෝති ලෙස්ටර් වෙනුවෙන් ‘පෘතුගීසිකාරයා‘ ගැයුවේය. 23 හැවිරිදිව සිටි ජෝති 44 හැවිරිදි එඩී ජයමාන්න වෙනුවෙන් ‘දෛවයෝගයේදී‘ හඩ දුන්නේය. ජෝති ‘මාරම පොරක්‘ වීම ආරම්භ වන්නේ ඒ සමගය. ‘පදයක් තාලයට තලා ගැනීම‘ ඉක්මවා ගිය කාර්ය භාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුවේ. ඒ ලක්ෂණ මොනවාදැයි ප්‍රතිභාව (Originals) නැතත්, ජෝති විසින් එවන් ප්‍රතිභාව නිර්මාණය කරනු ලැබීය. යුගය-වයස-සංවේදීතාව-අවදිය-ජවනිකාව සහ තවත් දේ ජෝති විසින් හදුන්වා දුන් පසුබිම් ගායන ප්‍රතිභාවන් වේ. එඩී ජයමාන්නට ගයන විධිය සහ ජෝ අබේවික්‍රම වෙනුවෙන් ගයන ක්‍රමය මුළුමනින්ම වෙනස් බව ජෝති හදුනාගෙන සිටියේය. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම-වීරයාට ගයන විට වීරයෙක්ද විය.
1952 පෙර, 52-56 කාලයේ හෝ 56 න් පසු යනු යුගත්‍රෙය් කොතැනකදී හෝ ජෝති විසින් ශාස්ත්‍රීය සංගීතය උගත් අවස්ථාවක් ගැන සදහනක් නැත. එහෙම කලා යැයි කිව හැකි තැනක් නැත. ජෝතිගේ ගුරුගුලය වූයේ ජන්මලාභයක් වූ වාසනාව හා සමාජ වටපිටාවයි. ජෝතිගේ සංගීත ආශ්‍රමය වූයේ බිත්ති නොබැදුණු එලිමහන් ලෝකයයි.
ජෝති ජීවත්ව සිටියදී, ජෝතිව දැඩි ලෙස විවේචනයට ලක්විය. ඔලාරික, අනුකරණවාදී, ගැති, හරසුන්, බොළද කිසි කමකට නැති ගායකයෙක් ලෙස අහක දමා තිබිණි. එහෙත් පුදුමයට කරුණ නම් කිසිම විටක, යටකී දුර්වල ලක්ෂණ කිසිවක් හුදී ජනයා හදුනා නොගැනීමයි. ඔවුහු ජෝතිගේ සොහොන පවා සිප වැලද ගිනිති. මහගම සේකර මියයන්නට පෙර මෙවැන්නක් කියා ඇත. ඒ තමන් විසින් ජෝතිගේ ශාස්ත්‍රීය ගායන කුසලතාව හදුනාගෙන ඇති බවත් එහෙයින් ජෝති වෙනුවෙන් ගීයක් ලිවීමට අපේක්ෂාවෙන් සිටින බවත්ය. නමුත්, ජෝති වෙනුවෙන් ඒ ගීය නොලියාම සේකර මියැදුණේය. විජය කුමාරතුංග විසින් ජෝති ගැන මෙසේ කියා ඇත-‘සිනමාවේදී ජෝති මා වෙනුවෙන් ලබා දුන් හඩ මට ලබා දෙන්න වෙන කෙනෙකුට තබා මටවත් පුළුවන් කමක් නෑ‘. එසේම ජෝතිගේ අභාවයෙන් පසු විජය තමන් වෙනුවෙන් තමන්ම ගයා ගත්තේය. ගාමිණි ෆොන්සේකා අවසන් කාලය වනතුරුහම සුදුසු හඩ පෞරුෂයක් සොයමින් සිටි බව කියැවේ.
ජෝති යු.ඇන්.පී. කාරයෙක් යැයි සැක කල හැකි මිනිසෙකි. නමුත්, කිසි විටෙක ජෝති තම ගීත ප්‍රචාරය කර දෙන්න යැයි කියමින් පුද්ගලික මාධ්‍ය කිසිවක් නැති කලෙක පවා රාජ්‍ය මාධ්‍ය පස්සෙන් නොගියේය. දීනයකු නොවීය. යුගයක ජෝතිට රූපවාහිනිය තහනම් වී තිබිණි. නමුත්, ජෝති තමන්වෙත එන ඕනෑම මාර්ගයකින් ජෝති පිළිගැනීමට මිනිසුන් සැදී පැහැදී සිටියහ. ජෝති විසින් ගොඩ දැමූ ගේය පද රචකයින් කිහිපදෙනෙක්ම වෙයි. අනෙක් පැත්තෙන්, ජෝති ගොඩ දැමූයේ, ඔවුන් විසින්. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, අජන්තා වීරසිංහ, ප්‍රෙමකීර්ති ඉන් කිහිප දෙනෙකි.