onna ponnayo bala gan hamudavata salakana heti....
දීමනා ඉල්ලා ආබාධිත රණවිරුවෝ 292ක් උසාවි යති
යුද වැදී සිටියදී තුවාල ලැබීමේ හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ සෙබළුන්ට නියම වී ඇති දීමනා නොදීම සම්බන්ධයෙන් සෙබළුන් 292 දෙනකු අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අනිල් ගුණරත්න විනිසුරුවරයා ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදා නායකයන්ට ඊයේ (22දා) නොතීසි නිකුත් කෙළේය.
ලබන වසරේ ජනවාරි 20 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සියලුම වගඋත්තරකරුවන්ට එසේ අධිකරණයෙන් නොතීසි නිකුත් කෙරිණි.
හමුදාපති ජෙනරාල් ආර්. ඇම්. ඩී. රත්නායක, ගෙවීම් අධ්‍යක්‍ෂ බි්‍රගේඩියර් ඩබ්. ජී. එල්. පද්මකුමාර්, මේජර් ජෙනරල් එන්. බී. සී. ඩයස්, බි්‍රගේඩියර් ඩී. ටී. ගමගේ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, අතිරේක ආරක්‍ෂක ලේකම් එච්. ඒ. චමින්ද, හමුදා වෛද්‍ය සේවයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. පී. සුමතිපාල මහත්වරුන් මේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර තිබිණි.
නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට අධිකරණයට කරුණු පැහැදිලි කරමින් සඳහන් කෙළේ මේ සෙබළුන් 292දෙනා යුද්ධයේදී හමුදාවේ විවිධ බළඇණි සමඟ එක්වී උතුර-නැඟෙනහිර යුද වැදී ඔවුන්ගේ එඩිතරභාවයට සම්මාන ලැබූ අය බවයි.
තුවාල ලැබ, ආබාධිත තත්ත්වයට පත්වූ සෙබළුන්ට ලැබිය යුතු දීමනා නොදීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පැවරීමට සිදුවී තිබෙන බව වැලිඅමුණ මහතා පැවැසීය.
1982දී ආරක්‍ෂක අමාත්‍යංශය ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව අනුව සටන් වැදී සිටියදී තුවාල ලැබ සිටින පොලිස් සේවයේ අයට සහ හමුදා සෙබළුන්ට මාස 14කින් රු. 500 බැගින්, රු. 7,000ක් ලබා දෙන බවද, මසකට රු. 500 බැගින් මාස 6කින් රු. 3,000ක් ලබාදෙන බවද වැලිඅමුණ මහතා සඳහන් කළේය.
ප්‍රතිකාර ලැබ රෝහලෙන් පිටවන විට සෙබළාට තුවාල සිදුවූයේ කෙසේ දැයි සෙවීමට අධිකරණයෙන් පරීක්‍ෂණයක් පවත්වන බවද පූර්ණ වශයෙන් ආබාධිතව ඇත්නම් රු. 1,00,000ක වන්දියක් ගෙවමින් වසර 55 වනතුරු වැටුප ගෙවා ඉන්පසු විශ්‍රාම යවන බවද ආබාධිත තත්ත්වයට පත් බොහෝ සෙබළුන්ට කිසිදු විශේෂ ගෙවීමක් නොකර විශ්‍රාම යවන බවද වැලිඅමුණ මහතා අධිකරණයට පැහැදිලි කෙළේය.
වසර 5න්, 12න් සහ 22න් විශ්‍රාම ගිය අයටද හමුදාවෙන් විශේෂිත ලෙස සලකා නොමැති බව වැලිඅමුණ මහතා පෙන්වා දුන්නේය.
ආරක්‍ෂක අමාත්‍යංශයේ වාර්තාව අනුව ඇමැති මණ්ඩලයේ අනුමැතිය දී ඇති ගෙවීම් ලබා නොදීම නිසා පෙත්සම්කරුවන්ට අගතියක් සිදුවී තිබෙන බවද වැලිඅමුණ මහතා පැවැසීය.
පෙත්සම්කරුවන්ට ඇමැති මණ්ඩලයෙන් අනුමත කර තිබෙන ගෙවීම් සහ වෙනත් දීමනා ගෙවන ලෙස දක්වමින් සහ ගෙවීම් සහ දීමනා ගෙවීම් නොදීමට ගත් තීරණය අහෝසි කිරීමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති. නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත නීතිඥ පසිඳු සිල්වා මහතා සමඟ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
mawbima.lk