ලූෂන් ලියු ගී අතරින් මීළඟට මගේ අවධානයට යොමු වූයේ එඩ්වඩ් ජයකොඩි ගයන ‘සිරි යහනේ ලණු ඉහිරි සුසුම් හෙළන රෑ’ නම් වූ නිර්මාණය වෙතටය. මෙය විසංවාදයකට තුඩු දුන් ගීයකි. ඊට හේතු වූයේ ඊට ඇතුළත් ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ’ නම් වූ යෙදුමයි. ගීතයේ සමස්තාර්ථය නොදත් ඇතැම්හු එය කුණු හරුපයක් යැයි ද සිතූහ. ඇත්තටම ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?’
මම මේ ප්‍රශ්නය ලූෂන් වෙත යොමු කරමි.
“නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.
ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?
මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබිණි. ඒ මෙපරිදිය.
“සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.
ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”
තමා මෙම ගීතය ලීවේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ට බවත් එතුමන් එය තමන්ටවත් නොදන්වා එඩ්වඩ් ජයකොඩිට දී තිබූ බවත් අමතර කරුණක් ලෙස ලූෂන් මා හා කියා සිටියේය.