මේ අපූරු නූල කියවද්දි මටත් හිතුණා මං ආසම කරන ගීයක් ගැන පොඩ්ඩක් ලියන්න. හැබැයි මේ ගැන කලින් ත්‍රෙඩ් වල ලියලද දන්නෑ. මේ මගේ පළමු ගීත විකාරය (හුටා.. වැරදුණා. විචාරය). වරද ඇත්නම් සමා වෙන සේක්වා!
රත්න ශ්‍රී විජේසිංහ - නූතන ගේය කාව්‍ය රචකයන් අතර අපූර්වතම අනන්‍යතාවයක් සහිත රචකයෙක්. ඔහු තම බොහෝ කෘතීන් සදහා බෞද්ධ සාහිත්‍යය ඇසුරු කර ගත් බව නොරහසක්. කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන 'අජානේය ස්කූටර' ගීතය වෙනුවෙනුත් ඔහු ජාතක පොතේ එන සිරිකාලකණ්නි වස්තුව ආශ්‍රය කර ගන්නවා.
සිරිකාලකන්නි වස්තුව කෙටියෙන් කියලා ඉන්නම්. සිරිකාලකන්නියා දිසාපාමොක් තක්සලාවේ දක්ෂතම ශිෂ්‍යයා. ඉතින් සිරිත් ප්‍රකාරව ගුරුතුමාගේ දියණිය විවාහ කර දුන්නේ මේ දක්ෂ ශිෂ්‍යයාට. මේ රූමත් තරුණියත් එක්ක නැවත ගමරට එන අතරේ කාලකන්නියාට කුසගින්නක් දැනෙනවා. අතරමගදී උදුම්බර හෙවත් දිවුල් ගසක් දකින ඔහු ඊට නැගි දිවුල් කඩාගෙන කනවා. මේ දකින බිරිය තමාටත් කුසගිනි බැවින් මටත් දිවුල් දෙව යැයි ඉල්ලා සිටිනවා. "ඇයි තොපට අතපය නැද්ද.. ගසට නැග කඩා ගෙන කව" යැය පවසන සිරිකාලකන්නියා ගසෙන් බසිනවා. කුසගිනි ඉවසිය නොහැකි තරුණිය ගසට නැගි වහාම ඇයට බිමට බැසිය නොහැකි වන ලෙස ගස වටා කටුඅකුල් දමා සිර කරන කාලකන්නියා පලා යනවා. තක්සලාවේම ඉගෙනගත් බ්‍රහ්මදත්ත රාජකුමාරයා ඒ මගින් එන විට දිඹුල් ගස උඩ සිටින කුමාරිය දකිනවා. මේ රූමතිය ගසෙන් බස්සවා ගන්නා ඔහු ඇය සිය මෙහෙසිය කරගෙන තම රාජ්‍යය කරා රැගෙන යනවා. දිවුල් ගස උඩ සිට හමුවූ නිසා ඇය උදුම්බරා දේවිය ලෙස ප්‍රකට වෙනවා. ගමට යන කාලකන්නියාට සිල්ප උගත්තත් රැකියාවක් නෑ. ඔහු පාරේ කම්කරුවෙක් ලෙස සේවය කරනවා. දිනක් රජතුමා සමග රථයෙන් සංචාරය කරන උදුම්බරා දේවිය මේ කාලකන්නියා දැක සිනා පහළ කරනවා.
රත්නශ්‍රී මේ කතාන්දරය හරි අපූරුවට වර්තමානය හා ගලපනවා. දැන් කුමාරිය වඩින්නේ අජානේය ස්කූටර පිටින්. ඈ තම හිමියාට තුරුළුව නගර සිරි බලමින් ඉගිල යනවා. සූසැට සිල්පය උගත්තත් වර්තමාන කාලකන්නියාටත් රැකියා නෑ.
සූසැට සිල්පය උගෙනා - පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න - උදැල්ල මට ලැබුණා
කොයිතරම් උගතෙක් වුණත් දැන් ඔහුට සිද්ද වෙන්නෙ පාරෙ වැඩ කරන්නට. ඔහු හා එකම පන්තියේ උගත්. විභාග සමත් නුවූවත් ධනයෙන් ආඪ්‍ය සගයා ඔහු දැක සිනා පහළ කරනවා. තම පන්තියේ 'බැච් ටොප්' පාරෙ වැඩ කරද්දි ඔහුගේම සිහින කුමාරිය හා සවාරි යන සගයාගෙ මුවට නැගෙන්නේ සදය සිනාවක්. ජාතක කථාවේ කුමරියගේ මුවට නංවන සිනාව රත්නශ්‍රී නංවන්නේ පෙම්වන්තයාගේ මුවට. මේ දූවිලි සුවද පෙම්වතියට ගැලපෙන්නේ නෑ. ඈ තම විලවුන් ගෑ ලේන්සු පොටින් මුව වසා ගන්නවා.
මාගත දාදිය හදුනා - සගය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ - ලේන්සු පට සිබිනා
වර්තමාන කාලකන්නියා මේ සමාජ අසාධාරණයට වෛර කරන්නේ නෑ. තම සිහින කුමාරිය වෙන අයෙකුට අයත් වුණත් ඔහුගේ හිතේ වෛරයක් නෑ.
සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා රදනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා...
මේ පෙම්වතිය ඔහුට උදුම්බරාවක්. සිරිකාලකන්නියාත් උදුම්බරාව ගසේ තනිකර ගියේ අනාදරයකින් නෙවෙයි. තමාට මේ තරුණියට දුකක් නොදී රැක බලා ගත නොහැකි බව ඔහු දැන සිටියා. මේ පෙම්වතාත් තම පෙම්වතිය සිහිනයෙන් පමණක් වැළද සැනසෙනවා. 'කාට අහිමි වුණත් සාධු මල් පිපියන් සැමදා' මේ අවසාන ප්‍රාර්ථනය ඉතා සංවේදී එකක්.
මේ ගීතය මට දැනුනෙ මෙහෙමයි. ඉඩ තියෙන වෙලාවට තව එකක් දෙකක් ලියන්නම්. මේ අපූරු නූල අපි දිගටම කරගෙන යමු. ජයවේවා...