මිස්සක_පව්ව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සොබාදම් සිරියේ අධ්‍යාත්මික සුවභූමිය - මිස්සක පව්ව
    පොසොන් සමයට ඒකාලෝක වන අනුබුදු මිහිඳු හිමි වැඩි මිහින්තලාව.


    උපුටා ගැනිම ශ්‍රි දලදා මාලිගාව වෙබ් පිටුව. සියලුම ගෞරවය එහි මෙය ලියා පල කල අයවලුන්ට ලැබිය යුතුය.


    1779271_10153028308763687_3533576668956694975_n.jpg


    549239_10153028308593687_8028130297742772151_n.jpg


    තුරුපත් අග කුසුම් පිපී සොබා සිරිය පිරී ඉතිරෙන තුරුලතාදියේ මල් දරා මිහි මව ගැබ් බරින් සැහැල්ලු වී සැනසුම් සුසුම් හෙලන සමය උදා වී ඇත. ඒ තරමටම සොබාදහම රමණීය වන මාසය පොසොන් මාසයයි.
    සංස්කෘත භාෂාවෙන් ‘පසාවතී’ නම් වදන මව් බසට පෙරලෙන්නේ පොසොන් නමිනි. එහි අරුත නම් ගස් වැල්හි මල් ද ඵල ද හටගන්නා මාසය පොසොන් මාසය බවයි.
    ක්‍රි.පූ. තුන්වැනි සියවසේ දෙව් පියතිස් රජුන් දවස මිස්සක ගිරිහිස ආරාධනා ගල මතින් නැඟුණු අනුබුද්ධ රශ්මි මාලාවෙන් ලක් දෙරණ ඒකාලෝක විය. නැවුම් සංස්කෘතික දායාදයන් සමඟ හෙළ ශිෂ්ටාචාරය හා බෞද්ධ හැදියාවන් තුළින් පෝෂණ වූ ලක්වැසියෝ සිය අද්විතීය ශිෂ්ටාචාරයේ අමරණීය සිහිවටනයන් දැයට දායාද කළහ. පරපුරෙන් පරපුරට උරුම ව ආ පන්සලත් ගමත් වැවත් යන ත්‍රිමූර්තිය ඔස්සේ පෝෂණය වූ මේ ජනතාව බෞද්ධ පුනර්ජීවයේ කේන්ද්‍රස්ථානය වූ මිහින්තලාවට වාර්ෂික ව භක්ති පූජා පවත්වති, සදහම් අමාදියෙන් පිංබිම දෝවනය කළ පින්බර පොසොන් පෝය දින අනුබුද්ධ ප්‍රණාමයෙන් ඉමහත් හරසර දක්වති.


    11351298_10153028308608687_4777299906319680087_n.jpg


    1780859_10153028308603687_4840465378052506069_n.jpg


    මිහින්තලාව කේන්ද්‍ර කොට ගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන අනුරාධපුර හා මිහින්තලා පුද බිම් එක්දහස් අටසිය ගණන්වල අගභාගය වනතුරු ද වනගහනයෙන් වටවූ වනසතුන්ගේ කෙළිබිම් ව පැවති බව වියපත් ග්‍රාමීය ජනතාව අදත් පවසති. දහඅටවැනි සියවසේ මිස්සක පින්බිම ද වනස්පතීන්ගෙන් පිරුණු සුන්දර වන උයනක් ව පැවතිණි. පසුව එය වර්ෂ 1982.06.06 දා මිහින්තලය ශුද්ධ භූමියක් ලෙස නම් කරනු ලැබීය.
    ජන විශ්වාස අනුව ශ්‍රී ලංකාවත් බුදු සසුනත් රැකීමට බුදු රදුන්ගෙන් වරම් ලැබූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා යනු ශ්‍රී විෂ්ණු දෙවියන් ය. අනුබුදු මිහිඳු හිමියන් වඩින විට උන්වහන්සේට ආරක්ෂාව දෙමින් මිස්සක පව්වට අරක්ගත් විෂ්ණු දෙවියන් මුව වෙස් දරා රජුට මිහිඳු හිමියන් මුණගැස්වීමට ද දේව හාස්කමක් පෑ බව ගැමි විශ්වාසයයි. ඒ හැර අවට ගම්වාසීන් මිස්සක පව්වට අරක්ගත් ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර ද ඔප්පු කිරීම එදා සිට පැවැති චාරිත්‍රයකි.
    අතීතයේ වනගහනයෙන් වැසී ගිය මිස්සක පව්වේ නැඟෙනහිර දිසාවේ පිහිටි කරඩික්කුලම – මූදෑව - ඇලප්පන් කුලම – කටුපත ආදී ගම්වල ගම්වැසියන් මී කැඩීමට හා දඩයම් සඳහා ද මිස්සක පව්වේ නැඟෙනහිර බෑවුමේ මහ වනයට පැමිණ ඇත. එවකට වනගත ව පැවති ආරාධනා ගල නැඟීමට ආධාරක නොතිබුණු අතර සමහර ගැමි තරුණයන් කැලෑ වැල්වල එල්ලී ගස් මුදුන් මතින් ආරාධනා ගලට නැඟුණ බව පවසති.
    කෙසේවතුදු තුන් ජාමයට කඳු සීමාවේ නොගැවසීමට ඔවුහු ප්‍රවේශම් වූයේ හොල්මන් හා අවතාරවලට දැක්වූ බිය නිසා ය. මිස්සක පව්ව ආශ්‍රිත ව ඇති ජනප්‍රවාදවලට අනුව මිහින්තලා ගිර ආසන්නයේ පිහිටි කළු දිය පොකුණ කළු හතක් එක් කළ ස්ථානයකි. ඔවුන් සඳහන් කරන කළු හතෙන් අදහස් කරන්නේ මෙවැනි සිද්ධියකි. කළුවර දෙපෝදාක කළුදිය පොකුණ අසල කළු තිඹිරි ගසකට පිටදී වැඩහිඳ කාලාම සූත්‍රයෙන් කළුබුද්ධ රක්ඛිත හිමි සුප්‍රසිද්ධ ධර්මදේශනයක් කළ සේක. මේ කළු හත ගැන ආදියේ සිට පැවති ජනකතාවල සඳහන් වුව ද පසුකාලීන ව අපි ඇසූ ජනප්‍රවාදයන්හි පැවතුණේ කළු පහක් පමණි.
    යල කන්නයේ තල අස්වැන්න නෙලාගන්නා ගැමි ජනයා ගමේ වන්දනා නඩ සමඟ තල පටවාගත් කරත්තවලින් මිහින්තලේට පැමිණ තල විකුණා මුදල් ලබාගෙන වඳින්න යාම සිරිතක් ව පැවැති බව පෙනේ. තල පිඬු හෝ තල කැරළිවලින් බුදුන් පුදා අලුත් තලවලින් හිඳගත් තල තෙලෙන් පහන් දැල්වීම ද එදා පැවැති චාරිත්‍රයකි. තල හේන ආරක්ෂා කිරීමට කන්දේ දෙය්යන්ට (විෂ්ණු) බාර වන්නේ තල කැරළි පූජා කොට තල තෙලෙන් පහන් දල්වන බවට යාතිකා වීමෙනි.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත ගම්මාන රාශියක වැව් කන්දට ගියවිට මිහින්තලා පව්ව පෙනේ. පන්සල් නැති ඇතැම් ගම්මානවල උවසු උවැසියන් මල් පහන් රැගෙන පොහෝ දිනවල වෑකන්දට ගොස් මිහින්තලා පව්ව පේන මානයක මල් පහන් තබා ඒ දෙසට වැඳ වැටී සිල් සමාදන් වීමට තරම් ඔවුන් මිස්සක ගිරි හිසට බැතිබර වූහ.
    භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් කළ නාග පොකුණ, සිංහ පොකුණ, ධාන ශාලා උපෝසථාඝාර ආදි සකලවිධ විහාරාංගයන්ගෙන් සමන්විත මිහින්තලය ලංකාවේ බිහිවු ප්‍රථම ආරණ්‍ය සේනාසනය ලෙසද හඳුන්වා දිය හැක. බිම් මට්ටමේ ඇති ආරෝග්‍ය ශාලාව තුළ එදා සැත්කම් පවා සිදුවී තිබේ. කුඩා දරුවන්ට බේත් කළ කුඩා බේත් ඔරු පවා මෙහිදී දැකගත හැකිය. මිනිසාගේ අධ්‍යාත්මික සුවය පමණක් නොව ශාරීරික සුවයද සළසමින් සංකීර්ණ මොනතරම් නම් ගිහි මිනිසාගේ ජීවිත ගමන් මඟ හා බැදී තිබෙන්නට ඇද්දැයි මෙහි ඇති නටබුන් මතින් අද විද්‍යාමාන වෙයි.
    හෙළ ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය වූ මේ ඓතිහාසික පින්බිමේ ගෞරවය පමණක් ම මෙබිමට හරසර දැක්වීමට ප්‍රමාණවත් ය. එළඹෙන පොසොන් උළෙල සදාචාරවත් බොදු බැති වන්දනා කරුවන්ට මිහින්තලා පුදබිම අනුබුදු පුදට කෙම්බිමක් වේවායි ප්‍රාර්ථනා කරමු.
    ***
    Media Bureau ©2015/6

    11070979_10153028308773687_7671183321327065302_n.jpg


    11119537_10153028308643687_6087342411298465939_n.jpg


    උපුටා ගැනිම ශ්‍රි දලදා මාලිගාව වෙබ් පිටුව. සියලුම ගෞරවය එහි මෙය ලියා පල කල අයවලුන්ට ලැබිය යුතුය.