දහ අට සන්නිය

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    1 මරු සන්නි යකා

    1.-Maru-sanniya.jpg


    මහත් භයානක යක්ෂයකු වන මරු සන්නි යකා දැනට ඇතැම් ප‍්‍රදේශ වල සන්නි යකුමි ප‍්‍රථමයෙන් රග දක්වයි. මරු සන්නිය කාල වර්ණ පැහැ වෙයි. ඉසකේ සැඩපලූ ගෙතී ඇත. දිග රුදුරු දත් හා දළ වලින් යුතු මුවක් තිබේ. කොළ අතු වලින් යටිකය සරසා ගෙන දල්වන ලද දුනු පන්දමක් අතකින් ගෙන පැමිණේ. ඇතැම් පළාත්හි මෙම සන්නියට කළු වැදි සන්නිය යැයි ව්‍යවහාර කැරේ.

    එන කල දුන්න ගෙන සුරතට දුන්න ලෙසින්
    වන කල සන්නියකු හට අතු කඩා දෙමින්
    වන කල සියළු ලෙඩ පිරිපත දුරැර හරින්
    ගිනිමරු සන්නි යකු මෙපුදට විගස වරෙන්

    මේ යකාට කවි ගායනා සඳහා ආරාධනා ලැබේ. යකුගේ උපත දැක්වෙන යාදින්න සමග වෙනත් කවි කියද්දී මේ යකා සබයට එන්නේ හූ හඩ තලමින් අති භයංකර ආකාරයෙනි.

    2 අමුක්කු සන්නි යකා

    2.-Amukku-sanniya.jpg

    අමුක්කු සන්නිය යනු මුහුණ කට ඇදවීමෙන් සෑදෙන රෝගයකි. කථාව ගොළු වී, දෙ ඇස් ඇඳිරිවී, කටින් කෙළ වැගිරෙන මෙම රෝගයේදී අංශ භාගය නම් වාත රෝගය වැළදෙන බව පැවැසේ.

    අමුක්කු සන්නි යකාගේ මුහුණ එම රෝගයේදී මෙන් එක පැත්තකට ඇදවී විරූපී වී තිබෙ. මුවේ දළ ඇත. දෙ ඇස් අඳුරු පැහැතිය. අතෙහි මුගුරක් වේ.

    යෝගාරත්නාකරය නැමැති වෙද කම් ගැන සඳහන් වන පුරාණ ග‍්‍රන්ථයෙහි අමුක්කු සන්නිය දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

    බස්ගොළු ඇස් දෙක ඇඳිරි කරන්නේ
    මුකයේ කෙළ කැටි ගලිටු කරන්නේ
    සීනෙන් අගනන් තොස කර වන්නේ
    අමුක්කු සන්නිය නමැයි කියන්නේ

    3 වෙඩි සන්නි යකා

    3.-wedi-sanniya.jpg

    අතීතයේ මුගුරක් අතැතිව ආ වෙඩි සන්නි යකාගේ අතේ දැන් ඇත්තේ බෙහෙත් කොටන තුවක්කුවකි. එයට බෙහෙත් කොටන ආකාරය දක්වමින් හාස්‍ය උපදවන රංගනයක යෙදෙන වෙඩි සන්නි යකා ර`ග මඩලට ගෙන්වන්නේ මේ කවියෙනි.

    තඩි අරගෙන තුන් මන්සල ඉන්නේ
    උල්කර මුගුරක් සුරත දරන්නේ
    ගඩු නංවා ඇග සලිත කරන්නේ
    වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ

    නපුරු ගතිය ඉස්මතු කරන ඇස් වලින් යුතු වෙඩි සන්නි යකාගේ මුහුණ කොළ පැහැතිය.

    මුව රැඳුණු දත් කිහිපයක් ද වෙයි

    කණ යට ගෙඩි කර සැරවයි එන්නේ
    මූණේ ගිනිජල් නිබඳ කරන්නේ
    දෑතේ දෙපයේ දාඩිය එන්නේ
    වෙඩි සන්නිය කළ ලෙඩ දැන ගන්නේ

    වෙඩි සන්නියේ රෝග දැක්වෙන්වෙන්නේ ඒ ආකාරයෙනි.

    4 කණ සන්නි යකා

    4.-kana-sanniya.jpg

    සැරයටියක් අතින් ගෙන වේදිකාවට එන මේ යකාගේ දෑස් නොපෙනේ. අන්ධ සන්නිය ලෙස වෛද්‍ය ග‍්‍රන්ථවල දක්වා තිබෙන මෙම සන්නිය සඳහා පළඳවන වෙස් මුහුණ තරමක් පළල්ව සාදා ඇති අතර අන්ධ බව දැක්වීමට සුදු ඉංගිරියාව පුළුල්ව පෙන්වා තිබේ.

    පළල් මුඛයේ දත් රැසක් ද වේ. කන් දෙකද විශාලය. ඇස් අන්ධ වූ විට වඩා හොඳින් ඇසෙන බව පෙන්වීමට විශාල කන් යොදා ගන්නට ඇත. නාසයද විශාලව සාදා තිබේ.

    වන පිළිකා ඉසරද කකියන් නේ
    තැන, තැන, ගොස් බිම ඇද පෙරළෙන් නේ
    අනුහසයෙන් සෝබිත මුනිඳුන් නේ
    කණ සන්නිය පුද ඉල්ලා එන් නේ

    වණ, තුවාල, ඉසරදය ආදිය කණ සන්නියෙන් සෑදෙන රෝග වල ලකුණු බව මෙම කවියෙන් පැහැදිලි වේ.

    5 බිහිරි සන්නි යකා​

    5.-Bihiri-sanniya.jpg

    මහත් වේගයකින් වේදිකාවට පැමිණෙන බිහිරි සන්නි යකා උණ, කථාව, අධිකව පැවැතීම , බිහිරි බව , උඩට හුස්ම ගැනීම, වෙව්ලීම, සීතල, හිතේ තැවීම, කම්මුලේ ගෙඩි මතුවීම ආදිය මේ සන්නි යකාගෙන් සෑදෙන රෝග ලෙස දේශීය වෙදකමේ සඳහන් වන්නේ මෙලෙසිනි

    ජ්වරද හැමකල් බිණිම දෙකන් බිහිරි වන්නේ
    ඌර්ද ස්වාසය වෙව්ලූම් සීතද කම්පා වන්නේ
    කම්මුල සී ගඩුවක් මෙන් එලෙසම පෙණෙ මින්නේ
    නපුරු කර්ණ සන්නිය නුවණැතියෙනි දැන ගන්නේ

    බිහිරි සන්නියේ මුහුණේ බියකරු දත් නැත. මුහුණ පියවී ඇත. දෙ ඇස් මනාව විවෘතව ඇත. කන් දෙකට පහතින් ඇති රේඛා දෙකකින් බිහිරි බව පෙන්නුම් කරයි. කන බිහිරි නිසා සංවාදයේදී නැවත නැවතත් කීමට සිදුවීම හාස්‍ය උත්පාදක අවස්ථාවකි.

    6 ගොළු සන්නි යකා

    6.-Golu-sanniya.jpg

    කළු පැහැයෙන් සැරසුණු යකෙකුට භිය වීමෙන් ආතුරයා ගොළු බවට පත්කැරෙන මේ ආබාධය හේතුවෙන් නිදිමත ගතිය ඇතිවේ. ශරීරයේ උෂ්ණාධික ගතිය හා ආමාශයේ අර්බුද ඇති වේ

    ගොළු සන්නියට පළඳින වෙස් මුහුණ දෙස බල විට එහි මුඛයේ ස්වරූපය වඩාත් කැපී පෙනෙන අයුරින් සකස් කොට ඇත. මුඛය වටා වූ රැළි වලින් ගොළු බව නිරූපනය වේ. දෙකන් විශාලය, නළල රැුළි තුනකින් යුතුය.

    පෙර අකුසල් බලෙන් ගොළුව අතින් පයින් බස් අගවන
    දිඩත සිත් නපුරු කමන් විසල් නුවර වැනසූ පොරණ
    දුරුකර ජනපත සෙත්කර දිවකුරු මුනි අනුහ සයෙන
    වර මෙරහට ඉසානයෙන් ගොළු සන්නිය දැක භෝජන

    මේ ගොළු සන්නි යකා ර`ග මඩලට පැමිණි පසු සංවාදයේ යෙදෙන්නේ අතින් පයින් ආදී අභිනය විලාශයෙනි. එහෙත් දොළ පිදේනි කැප කළ පසු රෝගය දුරලන ගොළු සන්නි යකා අවසානයේ කථා කර විස්තර කියයි.

    7 කොර සන්නි යකා

    7.-Kora-sanniya.jpg

    බෙල්ලෙන් උඩ කොර වීම, සන්ධිවල උෂ්ණාධික බව, රාතී‍්‍ර නිදිමත අධික බව, ඇතුළු ශරීරයේ අත පා කොරවීම, ආදී රෝග ඇති කරන කොර සන්නි යකා වේදිකාවට ගෙන්වීමේදී මෙම කවිය ගායනා කැරේ

    දුර සිට බැල්මේ දිස්ටිය හෙලමින
    කොරකොට අත්පා ඔත්පොල කරවන
    වෙරකොට ආතුර මරම් සිතා ගෙන
    කොර සන්නිය එයි පුද ඉල්ලා ගෙන

    කොර සන්නි යකාගේ මුහුණ කොර ගතිය විදහා පාන ආකාරයෙන් සකසා තිබේ. ඒ මුහුණ එක් පැත්තකට ඇලවී ඇත. මුහුණ නපුරු ගතියකින් යුතු වේ. කොළ පැහැතිය. පළල් රතු දෙතොලකි. දකුණතේ යමගුරකි. වමතට අතු කැටියකි.

    8 මුර්තු සන්නි යකා

    8-mruthu-sanniya.jpg

    පැණි රස කෑ මට විරුද්ධ වේයා
    සෙම් පිත් නාඩිය පටලව තේයා
    වාත නාඩි සීඝ‍්‍රව ගම නේයා
    මුර්තු සන්නි කළ ලෙඩ අප තේයා

    යන කවි ගායනය සමග මුර්තු සන්නි යකා වේදිකාවට පිවිසේ. මේ සන්නි යකාගෙන් ඇති වන්නේ මර්ජාව සමග වාතයෙන් හටගන්නා රෝගයකි. මෙම යකාගේ වෙස් මුහුණේ රෝගී භාවය නිරූපිතය. වෙනත් යක්ෂ මුහුණු වලට වඩා මේ මුහුණේ ඇස් වෙනස් කැර ඇත. ඒවා දිගටිය. මූඛය ද මද වශයෙන් දත් පෙනෙන ලෙස පියවී තිබේ.

    9 ගුල්ම සන්නි යකා

    9.-Gulma-sanniya.jpg

    ගුල්ම සන්නි යකාගෙන් වැළඳෙන මූලික රෝගය වන්නේ බඬේ අමාරුවයි. මෙය පණුවන්ට සම්බන්ධ රෝගයකි. වමනය, බඩරුජාව, කැවිලි නොකෑ, පිළිරස මිශ‍්‍ර පැණි රස කෑමට කැමැති වීම මෙහි රෝග ලක්ෂණ වේ.

    බඩ හෝ ගාමින් වමනේ එන්නේ
    රුජා ද ගනිමින් කැවිලි නොකන්නේ
    පිළිමුසු පැණිරසමයි ඌ කන්නේ
    ගුල්ම සන්නි ලෙඩ ඉන් දැන ගන්නෙ

    මෙම සන්නි යකාගේ මුහුණ රවුම් හැඩයක් ගනී. ලා කහ වර්ණයෙන් යුක්ත එහි මුඛය කන් දෙක දෙසට දික්ව ඇත. මුව දෙපස දළ දෙකක්ද තිබේ. රෝගී ස්වභාවයක් පෙන්වන රවුම් ඇස් ද ඇත.

    10 ජල සන්නි යකා

    10.-Jala-sanniya.jpg

    ජල සන්නිය යනු ප‍්‍රකට රෝගයකි. ඔක්කාරය, වමනය, ඇග පළු ගැන්වීම බඩපුරවා දමා යෑම යන රෝග ලක්ෂණ ඇති මෙම රෝග ලක්ෂණ ඇති කරන ජල සන්නි යකා රගමඩලට ගෙන්වන්නේ මෙය ගායනා කිරීමෙනි.

    ඔක්කාරය සහ වමනය වන්නේ
    තිස්පැය ඇගපළු නිබඳ ගැසෙන්නේ
    උත්තිල බඩ ලෙඩයෙනි පණ යන්නේ
    ජල සන්නිය ලෙඩ ඉන් දැන ගන්නේ

    මෙම සන්නි යකාට ඇත්තේ එකිනෙක පූට්ටු වූ දත් දෙපළකි. මූණ දෙපසේ රැවුලකි. නළලේ නයි පෙනයකි.

    11 අග්නි සන්නි යකා

    11.-Agni-sanniya.jpg

    ඇගපත වෙව්ලීම, කෑම බීම අරුචිය, කන් ලෙඩවීම, තද උණ ගැනීම ආදිය මෙම සන්නි රෝගයේ ලක්ෂණ වේ. මේ සන්නි යකු එන්නේ කොන්තායුධ ගනිමින් ගිනි සැර විහිදුවමිනි.

    අග්නි සන්නි යකා විකෘති ලක්ෂණ වලින් යුතුය. රවුම් දෙනෙත, ඉතා දිග දත්, පළලට අරුණු මුඛය එහි දක්නට ඇත. මුඛයේ දිග දත් ගිණි දළු විලසින් දැක්වේ.

    ගිනි සැර කොන්තා යුද අර ගන්නේ
    ඉසිවර දුන් කැද ගොටුදෙක දෙන්නේ
    මක්කම සමනල අණ දැන ගන්නේ
    අග්නි සන්නි කළ ලෙඩ හැර යන්නේ

    12 පිස්සු සන්නි යකා

    12.-Pissu-sanniya.jpg

    උම්මත්ක බව හෙවත් පිස්සු ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි. උණ, බිණීම, නුවන අහිමි වීම ඉන්ද්‍රිය පාලනයකින් තොරවීම, ඇ`ග පලූ නැගීම, ආදී රෝග ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි.

    පිස්සු සන්නි යකා වේදිකාවට පැමිණි විට තම පිස්සු ගතිය පෙන්වයි. විකට රසයෙන් යුතු සංවාදයේ යෙදේ. නපුරු ගතියක් පෙනෙන රවුම් ඇස් සහ තැන තැන කොට රැුවුල් ගස් ඇති මුහුණේ දළ රහිත රතු දත් පෙළකි. හිසකෙස් නොමැත.

    13 වාත සන්නි යකා

    13.-Vatha-sanniya.jpg

    වා, පිත්, සෙම් යන ති‍්‍රදෝෂයන් රෝගවලට හේතු වන්නේ වාත සන්නි යකුය.

    වෙස් මුහුණ කොළ පැහැ ගැන්වී ඇත. එය නොයිවසිලි ස්වභාවයක් ගනී.

    ඉදිමි බඩ ලෙඩ ඉසරද ගන් නේ
    වැදූ ගෙයක් මෙන් බලා සිටින් නේ
    වෙව්ලූම් ඇගගති තොර නොකරන් නේ
    වාත සන්නි ලෙඩ ඉන් දැන ගන් නේ

    14 බූත සන්නි යකා



    මේ යකු වාසය කරන්නේ ඈත ගුවන් තලයේය. රාතී‍්‍ර කාලයේ පෘථිවි තලයට බැස හොල්මන් කරයි. රෝගියාගේ මිනිස් ගති ගුණ වෙනත් අතකට හැරවීම මෙම රෝගයෙන් දැක්වෙන නිසා විකාර කිරීම යන අර්ථය ඇතිව බූත සන්නි යකා ලෙස නම් තබා තිබේ.

    ඉතා නපුරු ස්වභාවයක් ගන්නා වෙස් මුහුණකි. කොළ පැහැති වර්ණයෙන් යුතු වන අතර මුඛයේ එක් පැත්තකින් දිව මදක් එළියට පැමිණ ඇත. ඇස් දෙකට පහළින් රේඛා තුනක් දැක්වේ. සුදු පැහැති දත් දෙපළකි. නාසය විශාලය

    පිත් නාඩිය හිරි වැටී සිටින් නේ
    වාත නාඩි පෙරළි වැටෙමින් නේ
    සෙම් නාඩිය සැංගි වැටෙමින් නේ
    බූත සන්නි කළ ලෙඩ ඒ දන් නේ

    15 පිත් සන්නි යකා

    15.-Pith-sanniya.jpg

    පිත අධික වීමෙන් හටගන්නා වූ බඩ ගිණි ගතිය ඇතිවීම, ?ට සිහිනෙන් භියවීම, ආදිය ඇතිවීම පිත් සන්නි යකා නිසා සිදුවේ. පිත කිපුණු කාලයේ ඔල්මාද ගතිය පවා ඇතිවේ.

    තෙප් කොන්තය මෙන් කෙළ ඇවිදින් නේ
    තිස්පැය සීනෙන් අනුවම එන් නේ
    අග්නි මන්ද යන ලෙඩ කර වන් නේ
    පිත් සන්නිය ලෙඩ ඉන් දැන ගන් නේ

    මෙම මුහුණින් පෙනෙන්නේ මහත් වේදනාකාරී ස්වරූපයකි. රවුම් ඇස් සහ කළු කෙස් ඇත. මුහුණේ ඉදිමුණු ස්වරූපයකි. මුවේ උඩ දත් පේලිය පමණක් දැක්වේ.

    16 අභූත සන්නි යකා

    16.-Abootha-sanniya.jpg

    දෙකම්මුල් ඉදිමීම, ඇග සෙම් ගෙඩි හට ගැනීම, සන්ධිපත් රුජාව , ආදිය අභූත සන්නි යකාගෙන් සිදුවේ. දුටුවන් භිය පත් කරවන මේ සන්නි යකු ද ගුවනේ සිට බිමට බැස රෝග ඇති කරවයි.

    17 දේව සන්නි යකා

    17.-Dewa-Sanniya.jpg

    ගම් රටවල් පාළු කරමින් ගම්වලට වැදී මිනිස් සිරුර ක්ෂය කර දමයි. ශරීර රුදා ඇති කරවයි. හත් දවසකින් මය යන රෝගයක් ඇති කරවයි. එය විසාල මහ නුවර ඇතිවූ අභිගාතක රෝගය යැයි විශ්වාස කැරේ.

    දගගෙට වදිමින් මිනී මරන්

    ගමකට බැල්මෙහි පාළු කරන් නේ
    නේ
    ඒ ගම ඇර ගිය කෙනෙකි දිනන් නේ
    දේව සන්නි ලෙඩ ඉන් දැන ගන් නේ

    මෙම සන්නි යකාගේ වෙස් මුහුණ අනෙක් සියලූ සන්නි යකුන්ගේ මුහුණු වලට වඩා වෙනස් ස්වභායක් ගනී. එහි හිසට ඔටුන්නකි. මුහුණ රන් පැහැතිය. මුහුණේ විකාර රූපී ස්වභාය අඩුය. ඒ හේතුවන් දුටු විට ගරු සරු බියක් ඇති කරවා තිබේ.

    18 කෝල සන්නි යකා

    18.-Kola-sanniya.jpg

    සිහංල වෙදකමේ කෝළ දහ අටක් ගැන සඳහන් වේ. මේවා ඇතිකරන සන්නි යකා කෝල සන්නි යකා ලෙස හැඳින්වේ. උගුර දෙපැත්තේගෙඩි හට ගන්නා කථාව නැතිව රෝගී වන තත්ත්වයක් හටගනී. ආමාශගත අමාරුවව ද හටගනී.

    උල්වූ තළල්ලක්, රුදුරු දෙනෙතක්, යටි තාළ නොමැතිව උල් දත් කිහිපයක් ඇති මුඛයක් මෙම සන්නි යකාගේ ස්වරූපය වෙයි.

    කෝළ වෙලා උඩබිම බලමන් නේ
    ලීල නොකර බඩ ලෙඩ කරවන් නේ
    දෑල උගුරේ ගෙඩි දෙක හට ගන් නේ
    කෝළ සන්නි පුද ඉල්ලා එන් නේ

    මේ සන්නි දහ අට අවසානයේ දහ අටක් වූ සන්නි යක්ෂයන්ගේ නායකයා වන මහා කෝළ සන්නි යක්ෂයා එයි. ඔහුගේ හිසේ ගොක් ගොක්කොළ වලින් සෑදූ ඔටුන්නකි. එහි නයි පෙන පහක් ද දැක්වේ. යටි කයට කළු සුදු මුසු සේලයක් ද කාල වර්ණ ලොම් වලින්යුතු හැට්යක් උඩු කයටද ද හැඳ ඉන වටා කෙසෙල් හා ගොක් පතින් සෑදූ හතරැස් තට්ටුවක් ද පළඳී.

    මෙම යකුට පැමිණීමට ආරාධනා කිරීමෙන් අනතුරුව සන්නි යකා පැමිණේ. යකා ආතුරයා දෙසට යන මග බාධාවකි. නාථ, සමන්, පත්තිනි දෙවි වරුනුගේ ආඥාව අනුව මුර සෙබළු මෝල් ගස් දෙකක් කතිර හැඩයට තබා අල්ලාගෙන යකාට යන්නට නොදෙති.

    සැර පරුෂ කර බලෙන් යාමට උත්සාහ ගන්නා යකා පසුව කෙසෙල් හා කැවිළි වර්ග දෙන බව කියා යාමට අවසර ඉල්ලයි. අවසානයේ මේ කඩවත බුදුරදුගේ කඩවතක් බව මුර සෙබළු පවසති.

    බුදු රදුන්ගේ සන්නසක් ගෙන ආවොත් යන්නට දෙන බව කියූ පසු යක්ෂයා තල්පතක් ගෙන කකුලේ ඇගිල්ල මත තබා එය දෙයි. එය පිළිගත නොහැකි බවත් ගරු සරු ඇතිව දිය යුතු බවත් මුර භටයෝ කියති. එවිට යකා දණහිස, උරහිස, නාසය මත තබා සන්නස භාර දී ඒ කිසි අයුරකට එකග නොවීම නිසා අවසානයේ හිස මත තබා භාර දෙයි. එවිට එහි ඇති දෙය කියවන ලෙස කියා සිටී. එවිට යක්ෂයා හඩන්නට පටන් ගනී. බුදුහිමි තමන්ට මිනිස් ලොවට යාමට අවසර දී ඇතත් නරබිලි ගැනීම තහනම් කැර ඇති බව යකා පවසයි. මනුලොව රෝගීන් වෙනුවෙන් දොළ පුදගෙන රෝග දුරු කිරීමට බුදුන් නියම කැර ඇතැයි ද කියයි. ඉන්පසු යක්ෂයාගේ නපුරු ස්වභාවය අඩුවේ. කඩදොරින් යන්නට දෙයි.

    ආතුරයා වෙත යන යක්ෂයා. තමාට කැප කර දෙන දෙල පිදේනි සියල්ල ඉන බැඳි තටුවට අසුරාගෙන කුකුළෙකුද බිලි පුදට දුන් විට එයද රැගෙන ආතුරයාට සෙත් පතා යකා නික්මයයි.

    එතැනින් දහ අට සන්නිය අවසන් වේ.


    http://www.lankadeepa.lk
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නියම ත්‍රෙඩ් එකක් මචන්..:yes:
    මමනම් පොඩි කාලෙ හෙන බයයි ඔය මූනු වලට...:sorry:
    (You must spread some Reputation around before giving it to sbanurada again.)
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටයි.. දහ අට සන්නියක් බැලුවෙත් නෑ කාලෙකින්.. ඕවයෙ දෙන ආතල් නම් පට්ට..:cool: