පරිසර හිතකාමී වාහනවලට සහන ( ඩිල්ෂාන් මඩවල ) 2015-11-21 06:20:42 nethfm
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවල ඇතැම් කොටස් පාර්ලිමේන්තුවේදී කියවීමෙන් තොරව සභාගත කෙරුණා. වාහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ද ඊට ඇතුළත්. මෙම යෝජනාවන්ට අනුව සම්පූර්ණයෙන්ම සූර්යය තාපයෙන් හයිඩ්රජන් හෝ හීලියම් මගින් කි‍්‍රයාත්මක වන පරිසර හිතකාමී වාහන සඳහා නිෂ්පාදන බද්ද සියයට 2යි දශම 5ක් දක්වා අඩු කෙරෙනවා.
වාහන ආනයනකරුවන් ලියාපදිංචි බලපත්‍ර ගාස්තුවක් අය කළ යුතු බවට අතුරු අයවැයෙන් හඳුන්වාදුන් ක්‍රමය අහෝසි කෙරෙන අතර ඒ වෙනුවට ආනයනය කරන සෑම වාහනයක් සඳහාම වෙන් වෙන්ව හිමිකම් සහතිකයක් ලබාගත යුතු බවද සභාගත කෙරුණු යෝජනාවල සඳහන්. ණයවර ලිපි විවෘත කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙතින් අදාළ හිමිකම් සහතිකය ලබාගත යුතු වනවා. යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා එහි ගාස්තුව රුපියල් දෙදහසක්. මෝටර් රථයක් සඳහා රුපියල් පහළොස් දහසක් ද වෙනත් ඕනෑම වාහනයක් සඳහා රුපියල් දසදහසක් ද අය කෙරෙනු ඇති.
වාහන සඳහා ආදායම් බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට ද යෝජනා කර තිබෙනවා. දුම් පරීක්ෂණ සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට ද යෝජිතයි.
මේ අතර මැති ඇමතිවරුන්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට ද ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කෙරුණා. මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර ද අහෝසි කෙරෙනු ඇති.