ශ්රී ලංකන් කටාරයට විකිණීමේ තැතක්?
ශ්රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවයට විකුණා දැමීමේ අවධානමක් පවතින බව ශ්රී ලංකන් ගුවන් සමාගමේ සේවක ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.
මෙවර ශ්රී ලංකන් ගුවන් සේවය කොටස් කර විකිණීම පිළිබඳව අවධානය යොමුවී ඇති බවත් මේ පිළිබඳ දැනට ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වෙන බවත් වැඩිදුරටත් වාර්තාවේ.
මේ අතර ගුවන් සේවය විකිණීම පිළිබඳව ශ්රී ලංකන් ගුවන් සමාගමේ කොටස් හිමි සේවක කොටස්කරුවන්ගේ විශේෂ රැස්වීමක් පසුගියදා කොළඹදී පැවති අතර සේවක කොටස් විකිණීම පිළිබඳවද එහිදි දීර්ඝ ලෙස කතා බහට ලක්ව ඇති බවත් වාර්තා වේ.
ශ්රී ලංකන් ගුවන් සේවය මීට පෙර මිලදී ගනු ලැබූ එමිරේට්ස් ගුවන් සේවය එක් සේවක කොටසකට රුපියල් 245ක් ගෙවනු ලැබුවද මෙවර සේවක කොටසකට රුපියල් 50ක් ගෙවන බවට ප්රකාශ වී ඇති බැවින් එම මුදලට තම කොටස් විකිණීම සේවකයින් විසින් ප්රතික්ෂේප කර ඇතැයිද සේවක කොටසක් රුපියල් 500කට අලෙවි කළ යුතු බවට යෝජනාවක්ද එම සේවක කොටස්කරුවන්ගේ රැස්වීමේදී ඉදිරිපත්වී ඇති බවටත් අනාවරණය වේ.
2014-2015 වර්ෂය තුළදී මිලියන 30,000ක වාර්ෂික අලාභයක් ලැබූ ශ්රී ලංකන් ගුවන් සේවය 2015 මාර්තු මස වන විට එම අලාභය මිලයන 16,000 දක්වා අඩුවී ඇති බවත් වාර්තා වේ.
ඉරිදා ලංකාදීප