කාලතුවක්කූ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ රටේ පැවති පසුගිය යුද සමයේදී නම්, ඔබ කාලතුවක්කු ගැන නිතර තොරතුරු අහන්න/දකින්න/කියවන්න ඇති.
    ඔබෙන් සමහරු කාලතුවක්කු අතපතගාලත් ඇති, ‘දැයට කිරුළ’ වැනි ප්‍රදර්ශන වලදී. (අනේ බලන්න මහතුනි, කවුද එකෙක් කට කැඩිච්ච කතාවක් කියලා තිබුනා, දැයට කිරුළ නෙවෙයි, නියම නම ‘ජාතියටම තොප්පිය’ කියලා)

    කාලතුවක්කු ගැන කියද්දී එකවරම මගේ මතකයට මේ සිද්ධිය ආවා.
    1980 දශකයේ මැද භාගයේදී, පොළොන්නරුවේ දිඹුලාගල පන්සලේ, විශාල හමුදා කඳවුරක් තිබුණා.
    අවුරුදු තුනේ, හතරේ, පහේ, කුඩා සාමනේර හිමිවරුන් මහා රාශියක්ද ඒ පන්සලේ වැඩහිටියා.
    ඒ පන්සල අසළ තිබුණු කාලතුවක්කු බතරොයිය බලන්න, මේ හිමිවරු නිතර වඩිනවා.
    වෙලාවකට හරිම කරදරයක්.
    ඔක්කොම දේවල් අදිනවා. කාලතුවක්කු බටය දිගේ නගිනවා. සිවුර බිම. අඳනේ පිටින් නගින්නේ.

    බැරිම තැන අපේ සොල්දාදුවෝ හීනි කෝටු කඩාගෙන සැර කරලා තමයි උන්වහන්සේලාව ඉවතට වඩම්මාගන්නේ. :D :D






    නෑ නෑ කෝටු තිබුනට ගැහුවේ නැහැ කවදාවත්.
    නායක හාමුදුරුවන්ට (එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ, කිතලගම ශ්‍රී සීලාලංකාර – ‘දිඹුලාගල ලොකු හාමුදුරුවෝ’) කිව්වොත්, ඒ සාමනේර හිමිවරුන්ට දැඩි දඬුවම් ලැබෙන නිසා, කවදාවත් කාලතුවක්කු බතරොයියේ සේවය කල අපේ අය ලොකු හාමුදුරුවන්ට පැමිණිලි කලේ නැහැ.

    ඒ චූර්නිකාවත් සමග අද මා ඔබව කැඳවාගෙන යන්නේ කාලතුවක්කුව කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්නටයි.
    හැබැයි මුලින්ම එක දෙයක් කිව යුතුයි.
    මා කාලතුවක්කු හමුදාවට අයිති නිලධාරියකු නොවෙයි. ඒ නිසා මා සතුවන්නේ කාලතුවක්කු පිලිබඳ සීමිත දැනුමක්. නමුත් මා විශ්වාස කරනවා, කාලතුවක්කු පිළිබඳව ඔබට ‘සතුටුදායක දැනුමක් ‘දෙන්න තරම්, මගේ දැණුම ප්‍රමාණවත් කියා.

    කාලතුවක්කුවට මොකද හැබෑට කාලතුවක්කුව කියන්නේ? ඕං අහපල්ලකෝ කතාවක්? අතට අත කියන්නේ මොකද? කකුලට කකුල කියන්නේ මොකද කියලා අහනවා වගේ වැඩක්නේ යකෝ මේක.
    (එදිනෙදා කතාබහේදී මට ‘යකෝ’ කියන වචනය නිතර කියවෙනවා. ඔබටත් එහෙමද? යකෝ කියන්නේ ඉස්සර අපේ රටේ හිටිය යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතුන අය කියලා දවසක් මගේ යාලුවෙක් කිව්වා. හරි හරි, එයාගේ කතාව හරි. ඉතිං මම යකෙක් නිසානේ, ආමි එකට ගියේ :D)
    හැබෑටම මොකද මේකට කාලතුවක්කුව කියන්නේ. දැන් ඔය අනික් තුවක්කු තියනවනේ. ඒවාගෙන් වෙඩි තියපුවාම……….
    (හයියෝ……… අතුරු කතා හරියට ඔළුවට එනවා මේවා ලියද්දී. කාලතුවක්කු හමුදාවේ හිටියා, ‘තිබ්ස්’ කියන අන්වර්ථ නමෙන්, එයාගේ යාළුවො විසින් අමතනු ලැබූ නිලධාරියෙක්. එයා නැති තැන, එයාට පහලින් හිටිය නිලධාරියෝ, එයාව හැඳින්වූවේ ‘තිබ්බා’ කියලා. එයා ඒක දැනගෙනයි හිටියේ. අල්ලගත්තානම් හම ගහනවා, ඒ විදිහට ‘තිබ්බා’ කියන අයව. හරිම සැරයි එයා. එයාගේ ලොකු අක්කා මම හෝඩිය, පළවෙනිය, දෙක, තුන, පන්තිවල ඉගෙනගන්න කාලේ ඒ ඉස්කෝලේ විදුහල්පතිනිය. අපි ඉස්කෝලේ ගිය කාලේ මුලින්ම හෝඩිය, ඊළඟට පළවෙනිය, ඊළඟට දෙක,තුන,හතර,පහ, විදිහට ‘තිබ්බේ’. මේ ‘තිබ්බා’ කියන එකට අරයා වැඩිය කැමති නැහැ. දවසක් එයාගේ සහායකයා (බඩී) ලිපිගොනුවක් ගෙනල්ලා, ‘සර් මම මේ ෆයිල් එක මෙතනින් තිබ්බා’ කිව්වලු. එතකොට අරයා කිව්වලු ‘ළමයා, තිබ්බා නෙවෙයි තැබුවා කියනවා මීටපස්සේ’ කියලා :D)
    හරි, ආපසු හැරෙන්…..ගමනේ යා….’යා කිව්වම යාකො ඉතිං’ කිව්වලු එක සැරයන් කෙනෙක්. ඔන්න ආපහු ආවා, අර ඉහත නැවැත්තුවේ, ඒවාගෙන් වෙඩි තියපුවාම කියලා. අන්න හරි, තිත් දාලා නැවැත්තුව තැනට.
    සාමාන්‍ය තුවක්කු වලින් වෙඩි තියපුවාම ‘ඩීං…’ ගාලා වෙඩිල්ල වදිනවනේ. නමුත් කාලතුවක්කුවෙන් ‘ඩිබුම්..ම්..ම්..’ ගාලා පිටවෙන උණ්ඩය සෑහෙන වෙලාවක් ‘ෂියූ ………’ ගාගෙන (කාලයක් අරගෙන) අහසේ ගමන් කරලයි ඉලක්කය මත ‘දඩ්ඩොං……’ ගාලා පතිත වෙන්නේ. :D :D එහෙම කාලය ගන්න නිසයි මේකට කාලතුවක්කුව කියන්නේ. වෙනත් වචන වලින් කියනවානම් තුවක්කුවෙන් පිටවන උණ්ඩය මුලින්ම අහසට නැග, පරාවලයාකාර (parabolic) ගමන්මගක අහසේ ගමන්කර, ඉලක්කයට පතිත වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් කාලතුවක්කුවට කියන්නේ Artillery Gun කියලා ඔබ දන්නවනේ. අතීතයේදී මේ නම යෙදුවේ, ලොකු තුවක්කුව, දිග බටයක් තියන, ලොකු කටක් තියන විශාල තුවක්කුව, ලොකු උණ්ඩ දමා වෙඩි තියන තුවක්කුව යන තේරුම සඳහායි. නමුත් වර්තමානයේදී, යුද ටැංකි වල, නැව් වල, සවිකර තිබෙන විශාල තුවක්කු, භූමියේ සිට ක්‍රියාකරවන, මෝටාර් බෝම්බ විදිනයන්, ගුවන් යානා නාශක විශාල ප්‍රමාණයේ තුවක්කු, ආදී සියල්ලම, කාලතුවක්කු යන වර්ගීකරණය තුළ ගැබ්වෙනවා. (මේවා ඔක්කොම ගැන පස්සේ කතා කරමු)
    අපි යුද භූමියේ ඉන්නකොට අපේ හමුදාවට අයිති කාලතුවක්කු තියෙන්නේ අපි ඉන්නවාට වඩා කිලෝමීටර් කීපයක් පසුපසින්. (ඉස්සරහට ගන්න අවශ්‍යතාවක් නැහැ. කාලතුවක්කුවකින් ඉතා ඈතට වෙඩි තියන්න පුළුවන්. ඉස්සරහට ගෙනල්ලා, ඒවා ‘අරුන්ට’ දන් දෙන්නද කියන්නේ? :D) ඉතිං අපි ඉදිරි භූමියේ තත්වය අනුව කාලතුවක්කු සහාය ඉල්ලුවම අපේ ඔලුවට උඩින් යන්න තමයි වෙඩි තියන්නේ.
    (බයවෙන්න එපා……. ඔය මොනවද කකුල්දෙක දිගේ පහළට වැක්කෙරෙන්නේ?………. ඒවා යන්නේ අපේ ඔලුවට වඩා අඩි සිය ගණනක් උඩින්……..හයියෝ………කාලතුවක්කුව ළඟ හිටියනම්, කාලතුවක්කුවයි ඔයාවයි, හෝදන්න වෙනවා.)
    අන්න එහෙම යන උණ්ඩය ගමන් කරන ශබ්දය හොඳට ඇහෙනවා ‘ෂියූ……’ ගාලා. ගොඩක් එකවර ගහනකොට ‘ෂියූ……’ ‘ෂියූ……’ ‘ෂියූ……’ :D දැන් හරිද? නෑ හරි නෑ. සාමාන්‍ය තුවක්කුවකයි කාලතුවක්කුවකයි අතර වෙනස මේකයි………..







    ආයෙත් අතුරු කතාවක්. මේකටත් කාලතුවක්කු සම්බන්ධයි. මම වැලිඔය ප්‍රදේශයේ සේවය කරද්දී, සුප්‍රසිද්ධ නළු නිලියන් ගායක ගායිකාවන් කීප දෙනෙක් ඇවිත් හිටියා හමුදාව වෙනුවෙන් නොමිළේ ප්‍රසංගයක් පවත්වන්න. ඇත්තටම ඒ කාලේ වැලිඔයට කොටි තර්ජන තියෙද්දිත්, මේ පිරිස ජීවිත පරදුවට තියලා පැමිණීම අපි හරියට අගය කළා. ඔන්න ඉතිං එදා රෑ නළුවන්ට සහ ගායකයන්ට නිලධාරි නිවස්නයේත්, නිළියන්ට සහ ගායිකාවන්ට කාන්තා සෙබළියන්ගේ නිවස්නයේත්, නවාතැන් දුන්නා. (ඇත්තටම මේ නිලියෝ සහ ගායිකාවෝ , සෙබළියන් සතු ඉතා දුර්වල මට්ටමේ වැසිකිළි/නානකාමර පහසුකම් ලබාගත්තේ, වචනයකින්වත් කිසිවක් නොකියමින්. අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කළාම ඒගොල්ලෝ කිව්වේ, ‘මීට වඩා දුක් විඳින්න බලාගෙනයි අපි ආවේ. දැන් තමයි යුද්දේ හැටි තේරෙන්නේ. මේ සෙබළියෝ අපිට වඩා කොච්චර වටිනවද කියලා තේරුණා’ කියලයි) ප්‍රසංගය පැවැත්වූදාට පහුවදා රාත්‍රියේ අපි ඒ අය වෙනුවෙන් සාදයක් සහ භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. (හුඟ දෙනෙක් ආමි එකෙන් කාලා නෑ වගේ පෙනුනේ :D) සාදය ඉහළින්ම පැවැත්වෙමින් මධුවිත සෙමෙන් සෙමෙන් හිස්වෙමින්, හමුදා කැලිප්සෝ කණ්ඩායමක සංගීතය අඩ අඳුරේ සෙමෙන් ගලායමින්, අපේ නිලධාරීන්ගේ ඇස්, සමහර කලාකාරියන් වෙතත්, සමහර කලාකරුවන්ගේ ඇස් අපේ නිලධාරිනියන් වෙතත්, යොමු වෙමින් තිබුනා.(නිලධාරිනියන් දෙන්නෙක් හිටියා. පහල තියනවා ඒ ගැන. මේ කඳවුර, ආරක්ෂක වලල්ලේ සිට කිලෝමීටර් 10ක් පමණ පසුපසින් තිබුණ නිසා, රාත්‍රියේ මෙහෙම සාදයක් පැවැත්වීම භයානක නැහැ) ඔන්න ඉතිං මේ අල්ල පනල්ලේ, ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ Forward Defended Locality = FDL හිටිය බලඇණියකින්, ගුවන්විදුලි පණිවිඩයකින් දැනුම්දීමක් ලැබුණා, ඉදිරි භූමියේ සතුරු ක්‍රියාකාරකම් නිරීක්ෂණය වන බවත්, ඔවුන් විසින් දන්වන ඉලක්කයට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලෙසත්. කාලතුවක්කු තිබුනේ අපි හිටිය කඳවුරේ. අපි එදා හවස මේ අමුත්තන්ට කියලයි තිබුණේ, හදිසියේ ඇහෙන වෙඩි ශබ්ද වලට බයවෙන්න එපා. අපේ අය සෑමවිටම ඔබ අසළ ඉන්නවා. හදිසියකදී ඒ අය දෙන උපදෙස් අනුව ක්‍රියාකරන්න කියලා. (පේනවනේ මම කලින් කිව්වා වගේ කාලතුවක්කු තියෙන්නේ කොච්චර පසුපසින්ද කියලා) එහි තිබුනේ අපේ හමුදාව සතු විශාලම කාලතුවක්කු වර්ගය වන මිලි මීටර් 130 කාලතුවක්කු තුනක්. ඒ කාලතුවක්කු වලින් කිලෝමීටර් 27ක් දුරට වෙඩි තියන්න පුළුවන්.
    (ඉතිං කවුද ගිහිං බලන්නේ කිලෝමීටර් 27 ඈත තියන ඉලක්කයට වැදුනද කියලා? හුහ්….මම කියන්නේ නෑ යවන්නේ කාවද කියලා…..කිව්වා කියලා හිතාගන්නවා :D :D )





    කාලතුවක්කු තිබුනේ, අපි සාදය පැවැත්වූ එළිමහන් භූමියේම, අප සිටි ස්ථානයේ සිට මීටර් 150ක් පමණ දුරින්. කැලය මැද නිසා, තුවක්කු පිටතට පෙනෙන්නේ නැහැ. ඒ කාලතුවක්කු තුනෙන්ම එකවර වෙඩි තිබ්බා. (‘තිබ්බා නෙවෙයි ළමයා තැබුවා’ :D :D) හෙන හතක් එකවර ගැහුවා වගේ සද්දේ. භූමිකම්පාවක් වෙනවා වගේ පොලොව හෙල්ලුනා. අපිට නම් ඉතිං, කම්මලේ බල්ලට හෙන ගැහුවා වගේ තමයි, ගානක් නෑනේ. අනේ අර කලාකරුවන් පිරිස මරහඬ තියන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි සමහරු කලුවරේම දිව්වා. කොහේ දිව්වද කියලා හොයාගන්න බැරිවුණා. අපි ඊට වඩා බයවුනා. මේගොල්ලෝ කඳවුරෙන් එලියට දුවන්න හැදුවනම්, කඳවුරු ආරක්ෂක මුරයෙන් වෙඩිකාලා, මහා ජංජාලයක් වෙලා, අපට තරු පටි ගලවලා, ගෙදර යන්න වෙනවා. ඒ වෙලාවේ, සාදයේ වැඩවලට උදවු කරමින් ,එතන හිටිය සොල්දාදුවෝ, ‘…..මහත්තයා’, ‘…..අයියේ’ බයවෙන්න එපා දුවන්න එපා, අපි වෙඩිතිබ්බේ (තිබ්බා නෙවෙයි යකෝ තැබුවා :D) කියමින්, ඔවුන් පසුපස දුවන්න පටන් ගත්තා. මම කිව්වනේ ඒ කාලේ අපට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් හිටියා කියලා. අනේ ඒ දැරිවියෝ දෙන්නා, එදා ඒ දෙන්නට තියන ලස්සනම සාරි වලින් සැරසිලා, කේශාන්තයේ සිට පාදාන්තය දක්වා අලංකරණය වෙලා, සාදයට ඇවිත් හිටියේ. ඇයි අප්පච්චියේ ලේසියෙන් හම්බවෙන ‘චෑන්ස්’ එකක්ද, ඔය මහා කැලේ ඔච්චර ලස්සනට අඳින්න. (අපිනම් අත්කොට කමිසයක් කලිසමට උඩින් දාලා, තමයි යන්නේ) මට මුලින් හඳුනාගන්නවත් බැරිවුනා, ‘අම්මපා මේ අර නිතර දෙවේලේ දකින කිකිලියෝ දෙන්න නේද’ කියලා. :D අනේ……… උන් දෙන්නත්, අත් දෙකෙන් සාරිය දනිස්ස ළඟටම (ඊටත් උඩටද මන්දා…. මේ වයසක මට, කළුවරේ ඔව්වා හරියට පේන එකක්යැ) උස්සගෙන, අර කලාකාරියෝ පස්සේ පැන්නුවා ‘…….අක්කේ’, ‘….අක්කේ’, ‘බයවෙන්න එපා අපෙන් වෙඩිතිබ්බේ’ (කිව්වා නේද දැන් දෙතුන් සැරයක් හොඳ හිතින්, තිබ්බා නෙවෙයි තැබුවා කියලා :D :D ) කියාගෙන. කොහොම හරි විනාඩි තිහකට විතර පස්සේ මේ ‘කලාකාර සැට් එක’ ආපහු සාද භූමිය වෙත එක්කරගන්න අපට පුළුවන් වුනා. කීප දෙනෙක් දුවද්දී වැටිලා, කකුල් ඇමැට්ටි වෙලා, දණිස් ලෙලි ගිහිල්ලා තිබුනා. සමහරු හොයාගෙන තියෙන්නේ වැසිකිළිවල ඉඳලා. සමහරු ඇත්තටම වැසිකිළි ගිහිල්ලා (යැවීලා :D) ඔක්කොටම ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබාදී, බය ඇරලා, නැවත සාදය පටන්ගත්තා. හැබැයි ඉතිං පහුවදා උදේ අපි ගහපු ‘කාඩ්’ වලට කනේ ඇඟිලි ගහගන්න වුනා සමහර අයට. :D නම් කියන්න හොඳ නෑනේ එයාලගේ.
    මං අහන්නේ අද මේ කතාව කියනවද නැද්ද?
    හෝව් හෝව් …..තරහගන්න එපා……… ඉතිං මේ එක එක දේවල් ඔළුවට එනකොට ඒවා නොකියා කොහොමද? ඔන්න එහෙනම්, ඔයාට ඔයවගේ තද වෙනවනම්, ආයේ කතා මතක් වුනත් කියන්නේ නෑ හොඳද…….?
    දැන් පුරස්නේ මේකයි……… අද මේ එක එක කතන්දර අහලා, වැදගත් තොරතුරු කිව්වත් ඔළුවේ හිටින්නේ නැහැ.
    මම කියන්නද, අදට මෙහෙම කරමු, සාමාන්‍ය තුවක්කුවක් සහ කාල තුවක්කුවක් අතර වෙනස විතරක් කියලා නවත්තමු අදට. ඊළඟ කොටසෙදි, ඉතුරු ඔක්කොම කතාකරමු. එහෙම හොඳයි නේද?

    • සාමාන්‍ය තුවක්කුවක් අපි සෑමවිටම පාහේ පොළොවට සමාන්තරව (තිරස්ව) තියලානේ වෙඩි තියන්නේ. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් කාලතුවක්කුවක් ඉතාම කලාතුරකින් තමයි සාමාන්‍ය තුවක්කුවක් මෙන් පොළොවට තිරස්ව තබා වෙඩි තියන්නේ.












    • සාමාන්‍යයෙන් මහා විශාල මැෂින් තුවක්කුවකින් වෙඩි තියන්න, උපරිම වශයෙන් හතර දෙනෙක් හිටියම හොඳටම ඇති. නමුත් කාලතුවක්කුවකින් වෙඩි තියන්න 6 – 10 වැනි විශාල කණ්ඩායමක් අවශ්‍ය වෙනවා.
    • සාමාන්‍ය තුවක්කුවක් ගැලවීම පිරිසිදු කිරීම, නඩත්තු කිරීම, ප්‍රවාහනය කිරීම පහසුයි. හංගලා තියන්නත් පුළුවන්. නමුත් කාලතුවක්කුවක ඉහත කී කරුණු සියල්ලම බොහොම වෙහෙස මහන්සියෙන් කරන්න ඕනෙ. හංගලා තියන්න පුළුවන්. නමුත් නවීන විශේෂ රේඩාර් පද්ධති තියනවා, කාලතුවක්කුව තියන තැන අල්ලගන්න පුළුවන් වෙඩි තැබීමේදී.
    jangun.wordpress.com
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාලතුවක්කුව කියන නම එන්නට පෙර සිටම මිනිසාට අවශ්‍ය වුනා යුද්ධ කටයුතුවලදී දුර තිබෙන ඉලක්කයකට බර ද්‍රව්‍යයකින් දමා ගසන්නට. එහි ප්‍රාථමික අවධිය තමයි අතට ගලක් ගෙන දමා ගැසීම. එය ආදී මානවයන් විසින් පවා කර තිබෙන බවට සාක්ෂි තිබෙනවා.
    පසුකාලය වනවිට මිනිසා තම බුද්ධිය මෙහෙයවා, මෙලෙස බර දෙයක් දමාගසන්නට හැකි උපකරණ හදන්නට පටන් ගත්තා. එයින් කීපයක් පහත දක්වනවා. ඔබ දන්නවානේ අපි කුඩා කාලයේදී පාවිච්චි කල කැටපෝලය. අනේ….මට අමතක වුනා. කුඩා වයසේදී කැටපෝලයක් පාවිච්චි කල අය දැන් අඩුයි.
    මමනම් මේ මෑතකදීත් කැටපෝලයක් හදාගෙන අපේ පොල්ගස් දෙකතුනට එන දඬු ලේනුන්ට විද්දා. බයකර පලවා හැරීමක් විතරයි. මොකද මම කැමති නැහැ ඔවුන් වෙනුවෙන් වායු රයිෆල් උණ්ඩයක් වැය කරන්න.



    ඉතින් මේ කැටපෝලයත් ප්‍රාථමික කාලතුවක්කුවක් තමයි. මොකද කැටපෝලයකින් පුළුවන් ගල් කැටයක් පරාවලයාකාර මාර්ගයකින් ඈතට විදින්න. අපි මේකට කැටපෝලය කිව්වට, ඉංග්‍රීසි භාෂාවෙන් මෙයට කියන්නේ ‘ස්ලින්ග්ෂොට් slingshot’ කියලයි.

    ඉංග්‍රීසි භාෂාවේදී ‘කැටපල්ට් Catapult’ කියන්නේ මීටවඩා වෙනස් මීට වඩා විශාල උපකරණයකට. ඒ උපකරණයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 400 තරම් ඈතට දිව යනවා. පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරයන්හි, යාන්ත්‍රික උපක්‍රමයකින් (වෙඩි බෙහෙත් පාවිච්චියෙන් තොරව) ඊතල සහ ගල් වැනි දෑ ඈතට විදිය හැකි උපකරණ තිබුණු බව ඉතිහාස පොත්වල සඳහන්වෙනවා.
    ඒ විස්තර වලට නොගොස් අපි බලමු ඒ යුගයේ කැටපල්ට් එකක පින්තුරයක්.

    මෙහි තිබෙන ලී කඳ දුන්නක ආධාරයෙන් එක වරම ඉදිරියට ගස්සන්න පුළුවන්. නියමිත තැන ගලක් තියලා ලී කඳ පාත් කරලා එක වරම අතහැරියම අර ලොකු ගල උඩින්ම යනවා ඉලක්කයට.



    මොකද හිතෙන්නේ……. අම්මපා මේකක් තියනවනම් ගමකට ගහන්න බැරියැ හදිස්සියකට
    wlemoticon-openmouthedsmile.png

    වර්තමානයේදීත් කැටපල්ට් පාවිච්චි කරනවා. ඔබ රූපවාහිනී වාර්තා වැඩසටහන්වල, ප්‍රවෘත්ති විකාශනවල, සමහර චිත්‍රපටිවල, දැක ඇති ගුවන්යානා ගෙනෙයන යුද නැව් වල සිට, ඒ ගුවන්යානා පිටත්වෙන හැටි.
    මෙහිදී, ඒ ගුවන් යානයට, තනිවම, තම බලයෙන් ගුවන් ගතවන්න බැහැ. එයට හේතුව, නැවේ තට්ටුව, ගුවන් යානය අහසට නැගීම සඳහා, පොලොව මතදී ධාවනය කලයුතු අවම දුර තරම්, දිග නැති වීමයි. මේ නිසා ගුවන් යානය සිය උපරිම ජවය යොදා, නැව් තට්ටුව දිගේ ඉදිරියට ධාවනය කරන අතරම, නැවේ තියන කැටපල්ට් එකෙන්ද ගුවන් යානාව වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා. බලන්න පහත පින්තුරය
    .


    හොඳයි, ඒ වගේම තවත් උපකරණයක් තමයි මේ. මේකේ නම ‘ඔනෙජර් – Onager’ මේ අවියත් පාවිච්චි කර තිබෙන්නේ කිසියම් බර ද්‍රව්‍යයක් ඈතට විසිකරන්නයි.


    මෙයත් කැටපල්ට් එක වගේම යාන්ත්‍රික ශක්තියෙන් ක්‍රියා කලේ. මේවා ගැන දිග විස්තර කියන්න ගියොත් ලිපිය අනවශ්‍ය ලෙස දිග වැඩි වෙනවා.
    ඊළඟ අවිය තමයි, ‘ට්‍රෙබුෂේ – Trebuchet’ මේක ප්‍රංශ වචනයක්. ඔන්න බලන්නකෝ පින්තුරේ.



    කොහොමද හොඳද? අපරාදේ අපි කෝටි ගණන් දීලා කාලතුවක්කු ගන්නේ නැතුව, මේවා 25 ක් 30 ක් ගෙනල්ලා, කළුගල් කොරියක් ළඟ හයිකර ගත්තනම් අරුන්ට දෙන්න තිබ්බා (ඔන්න කිව්වා තිබ්බා කියලා
    wlemoticon-winkingsmile.png
    ) රටේ නොහිට දුවන්න. නැද්ද මං අහන්නේ? මේ වගේ කුඩා කැටපල්ට් උපකරණ, පළමුවැනි ලෝක යුද සමයේදී, යුද අගල් වල සැඟවී සිටිමින්, සතුරා වෙත අත්බෝම්බ යැවීම සඳහා පාවිච්චි කර තිබෙනවා. මේ තිබෙන්නේ එවැනි අවස්ථාවක පින්තුරයක්.



    ඇත්තවශයෙන්ම ඒ තමයි මුල් යුගයේ කාලතුවක්කු. ඒවා 16 වැනි ශතවර්ෂයේදී පමණ තමයි මුලින්ම නිපදවා තිබෙන්නේ. මෙන්න ඒ වගේ එකක්.
    වෙඩි තියන හැටි මම විස්තර කරලා තියනවා ඒ පින්තුරයේම. මෙය පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක්.



    පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක් 1862 දී ඇමරිකානු කාලතුවක්කු හමුදාව විසින් පාවිච්චි කල අවස්ථාවක් පහත පින්තුරයෙන් දැක්වෙනවා.



    ඒ වගේම තමයි ලෝකයේ සුප්‍රසිද්ධ ඓතිහාසික කාලතුවක්කු තියනවා. ඒවාගෙන් සමහරක් දැක්කම පුදුම හිතෙනවා එතරම් ඈත අතීතයේදී මෙවැනි නිර්මාණ කලාද කියා. එයින් එකක් තමයි රුසියාවේ තිබෙන සාර්ගේ කාලතුවක්කුව. මේ කාලතුවක්කුව නිපදවා තිබෙන්නේ ක්‍රි.ව.1586 තරම් ඈත කාලයකදී. මේ කාලතුවක්කුව මීටර් 5.94 ක් හෙවත් අඩි 19.5 ක් දිගයි. හැබැයි එකක් මතක තියාගන්න. විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පුවෙලා තියනවා මෙය එකම එක වරකට වඩා පාවිච්චි කර නැති බව. මේ කාලතුවක්කුව හුදෙක් ප්රෞඪත්වය පෙන්වීම සඳහා කළ නිර්මාණයක්. මෙය ලෝකඩ වලින් සාදා තිබෙන්නේ. අදත් මෙය ක්‍රෙම්ලීනයේ ප්‍රදර්ශනය කරනවා.



    මෙවැනිම කාලතුවක්කුවක් ඉන්දියාවේත් තියනවා. හැබැයි ඒ තුවක්කුව නම් යුද්ධ කරන්න පාවිච්චි කරපු එකක්. පහත දැක්වෙන්නේ ඒ කාලතුවක්කුවයි. එය හැඳින්වෙන්නේ ‘ජායිවානා කාලතුවක්කුව’ කියලයි. ක්‍රි.ව. 1720 දී නිපදවන ලද මේ තුවක්කුව ‘දෙවැනි මොහොමඩ් ෂා’ නමැති මෝගල් අධිරාජයාගේ සමයේදී තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අදත් මෙය ඉන්දියාවේ ජායිපූර් නගරයේ ‘ජායිගාර්ත්’ නමැති පැරණි බලකොටුවේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙය සාදවා තිබෙන්නේ, 1720 කාලයේ, එම බලකොටුවේ අධිපතියා ලෙස, ඒ ප්‍රදේශය පාලනය කල, ‘දෙවැනි ජායි සිං’ නමැති ප්‍රාදේශීය පාලකයා විසින්. තුවක්කුවේ විස්තර මෙහෙමයි.

    තුවක්කු බටයේ දිග මීටර් 6.15 යි (අඩි 20.2 යි) එහි බර ටොන් 15 යි. බටයේ අග වටප්‍රමාණය මීටර් 2.2 යි (අඩි 7.2 යි) බටයේ පසුපස කොණේ වටප්‍රමාණය මීටර් 2.8 යි (අඩි 9.2 යි) තුවක්කු බටයේ ඇතුළත විෂ්කම්බය සෙ.මී. 28 යි. (අඟල් 11 යි) තුවක්කු බටයේ ඉදිරිපස කෙළවර ඝනකම සෙ.මී. 21.6 යි (අඟල් 8.5 යි) පසුපසට යනවිට ඒ ඝනකම වැඩි වෙනවා. මේ තුවක්කුවේ උන්ද සහ වෙඩි තැබිය හැකි දුර ගැන විවිධ මූලාශ්‍රවල විවිධ තොරතුරු තියෙන්නේ. පිළිගතහැකි තොරතුරුයි මේ. එක වරකට (එක වෙඩිල්ලකට) වෙඩි බෙහෙත් කි.ග්‍රෑ. 100 ක් පමණ යොදවා තිබෙනවා. කි.ග්‍රෑ. 50 ක් පමණ බර යකඩ බෝල උණ්ඩයක් තමා පාවිච්චි කරලා තියෙන්නේ. මේ තුවක්කුවෙන් කි.මී. 35 ත් 40 ත් අතර දුරක් වෙඩි තියන්න පුළුවන් වුනා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියනවා. රෝද හතරක සැකිල්ලකට සවිකර තිබුන මේ තුවක්කුව අදින්න, හරවන්න, ඇතුන් හතර දෙනෙක් අවශ්‍ය වුනාලු.

    jaivana-2.jpg

    ඊළඟට බලමුද ලෝකයේ මෙතෙක් නිපදවන ලද විශාලතම කාලතුවක්කුව. මේකනම් දැක්කම බයත් හිතෙනවා. විශ්වාස කරන්නත් බැරි තරම් විසාලයි. දෙවැනි ලෝක යුද සමයේදී ජර්මන් ආඥාදායක හිට්ලර්ගේ නාසි ජර්මනියේදී තමයි මේ තුවක්කුව නිපදවලා තියෙන්නේ. පින්තුර බලලා විස්තර කතාකරමු.




    මේ තුවක්කුව ගැන පොඩි වීඩියෝ එකකුත් බලලම ඉම්මු ඈ.




    අතීතයේදී එක් කාලතුවක්කු වර්ගයක් සාදා තිබෙනවා, ඒ තුවක්කුව වෙනුවෙන්ම විශේෂයෙන් සැකසු දුම්රිය එන්ජිමක් සහිත ගැලකට සවි කරන ලද. ඒවා හැඳින්වූයෙත් දුම්රිය කාලතුවක්කු Railway Gun කියලා. මේ තියෙන්නේ.




    මම කල්පනා කරේ පහුගිය යුද්ද කාලේ අපටත් ඔයින් එකක් දෙකක් තිබ්බා (චඃ
    wlemoticon-sadsmile.png
    ) නම්, කොටුව දුම්රිය පොලේදී අපට මෙන්න මෙහෙම නිවේදනයක් අහන්න තිබුනා. ‘දෙවැනි වේදිකාවට දැන් පැමිණෙන කාලතුවක්කුව, වවුනියාව බලා පිටත්වෙයි. අතරමගදී සතුරු ප්‍රහාර එල්ල නොවුනහොත්, එය නොනවත්වාම වවුනියාව බලා ධාවනය කරනු ඇත’
    wlemoticon-openmouthedsmile.png
    wlemoticon-openmouthedsmile.png




    හැබැයි මතකතියාගන්න, මෙව්වා නිකම් සුදු අලි.
    මොකද දන්නවද? මේ තුවක්කුවකට අති විශාල කාර්ය මණ්ඩලයක් ඕනේ. වෙඩි තැබීමේ වේගය (විනාඩියකට/පැයකට/ තැබිය හැකි වෙඩි ගණන) බොහොම සීමිතයි. මේ තුවක්කුව ගෙනියන්න වෙනමම රේල් පාරවල් ඕනේ.
    තුවක්කුව විශාල නිසා බෝම්බ දාන ගුවන්යානා වලට පහසුවෙන් ඉලක්ක වෙනවා. නඩත්තුව බොහොම වියදම් අධිකයි.
    අර වීඩියෝ එකෙත් ඒ බව සඳහන් වෙනවා.
    ඒවා විශේෂයෙන් පාවිච්චි කර තිබෙන්නේත්, දේශසීමා අතර සටන් සඳහායි.

    හොඳයි මෙන්න ඉහත දැක්වූ හිට්ලර්ගේ කාලයේ තුවක්කුවේ විස්තර.
    තුවක්කුවේ නම ‘ගුස්ටාව් ගන්’. නිපදවන ලද්දේ 1941 දී. නිර්මාතෘ ‘ෆ්‍රීඩ්‍රික් කූප්’. කූප් පවුලේ ශ්‍රේෂ්ඨ නිර්මාපකයකු වූ ‘ගුස්ටාව්’ නමින් තුවක්කුව නම් කළා. මෙවැනි තුවක්කුවක් හදන්න හිට්ලර් උනන්දු වුනේ, ඒ කාලයේ ප්‍රංශය විසින් සිය දේශසීමාවන්හි ඉදිකර තිබුණු ‘මැගිනොට් ලයින් ෆෝර්ට්’ නමැති බංකර් ක්‍රමය විනාශ කරන්නයි. මේ ජාතියේ තුවක්කු දෙකයි හදලා තියෙන්නේ. (හිට්ලර් තුවක්කු තුනක් ඇණවුම් කළා.
    තුන්වැනි තුවක්කුව ඉවර කරන්න කලින් ජර්මනිය යුද්දෙන් පැරදුණා. 1945 දී බ්‍රිතාන්‍ය හමුදා ඒ වනවිට හදමින් තිබුන තුන්වැනි තුවක්කුව කම්හලේදීම විනාශ කළා) පළමුවැනි එක එහි නිර්මාතෘගේ වියදමින් හැදුවලු. දෙවැනි එකට ජර්මන් මාර්ක් මිලියන හතක වියදමක් ගිහින් තියනවා.
    දෙවැනි තුවක්කුව එහි නිර්මාතෘගේ බිරිඳගේ නමින් ‘ඩෝරා’ කියලා නම් කරලා තියනවා. හිට්ලර් පැරදීගෙන එද්දී, මේ දෙකම පුපුරවා විනාශ කරලා තියනවා.

    මෙන්න විනාශ වූ ඩෝරා කාලතුවක්කුව.



    එක තුවක්කුවක් ක්‍රියාකරවන්නට 500 ක හමුදා පිරිසක් සිටි අතර, තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරල් නිලයේ නිලධාරියෙක්. තුවක්කුවේ බර (ඇන්ජිම, චැසිය, බටය, ඔක්කොම තමයි) ටොන් 1344 යි. තුවක්කුවේ කැලිබරය මිලි මීටර් 800 යි (අඟල් 31.5 යි) මේ තුවක්කුවෙන් වර්ග දෙකක උණ්ඩ වෙඩි තබා තිබෙනවා. එම උණ්ඩ වෙඩි තැබීම සඳහා එක වරකට වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 1360 ක් සහිත චාජර් එකක් (චාජර් ගැන පස්සේ කියනවා. අර ගෙවල්වල ලස්සනට තියාගෙන ඉන්න පිත්තල කොපු තමයි චාජර් කියන්නේ. තවත් ක්‍රම තියනවා) යොදවන ලද අතර කිලෝ ග්‍රෑම් 4800 සහ කිලෝ ග්‍රෑම් 7500 යන වර්ග දෙකේ උණ්ඩ වෙඩි තබා තිබෙනවා. මේ තුවක්කුවෙන් කිලෝමීටර් 29 ක පමණ දුරකට වෙඩි තියන්නට හැකියාව තිබුනලු. මේ උණ්ඩ කොයි තරම් ප්‍රබලද කියනවානම්, කිලෝ 4800 උණ්ඩය මගින් අඩි 30 ක විෂ්කම්බය තිබෙන අඩි 30 ක් ගැඹුරු ආවාටයක් හැදෙනවාලු. එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන්ලු. උණ්ඩය තුවක්කුවෙන් පිටවෙන්නේ තත්පරයකට අඩි 2750 ක වේගයෙන්. මෙන්න උණ්ඩ වල පින්තුර. අර වීඩියෝ එකේදිත් ඔබ මේ උණ්ඩ දකින්න ඇති.



    ලංකාවේ කාලතුවක්කු ඉතිහාසය ගැන මීළඟට කතා කලොත් හොඳයි කියා මා හිතනවා. මේ ලිපිය ලිවීම සඳහා කරුණු අධ්‍යයනය කරද්දී මගේ පුස්තකාලයෙන්ම ඊට ආධාරයක් ලැබුනා. ඒ තමයි රැල්ෆ් පීරිස් මහ වියතාණන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලදුව, කේ.ඒ.ඩී.පෙරේරා මහතාණන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති, ‘සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය’ නමැති ඉතා අගනා ග්‍රන්ථය. (මේ පොත ගැන වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා) එම පොතේ සඳහන් වෙනවා, ලංකාවේ කාලතුවක්කු නිෂ්පාදනයට මුල පිරුනේ, 16 වැනි සියවසේදී, පෘතුගීසීන් සමග පැවති සටන් වලින් ලද අද්දැකීම් අනුව යමින්, යාන්ත්‍රික උපක්‍රම මගින් යුද්ධ කිරීමේ අවශ්‍යතාව, තදින්ම දැනීමේ ප්‍රතිඵලයක් ලෙස, දේශීය කාලතුවක්කු නිපදවුනා කියලා. දේශීය කාලතුවක්කු දකින්න කැමතිද? ඔන්න පහළින් තියනවා පින්තුර.







     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාවේ කාලතුවක්කු ගැන කතා කල නිසා අපේ කාලතුවක්කු හමුදාව ගැන මෙතනදීම කතා කරමු. අපේ කාලතුවක්කු හමුදාවේ අතීතය කිව්වොත් ඔබට අදහාගන්නත් බැරිවෙයි.
    අපේ කාලතුවක්කු හමුදාව බිහිවුනේ අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතිද්දීයි. එනම් ක්‍රි.ව. 1888 අප්‍රේල් මස 12 වැනි දින දී, පළමුවැනි ලෝක යුද සමයට අදාලවයි. එය බ්‍රිතාන්‍ය රාජකීය කාලතුවක්කු හමුදාවට අයත් ස්වේච්ඡා කාලතුවක්කු බතරොයියක් ලෙස පිහිටවූ අතර, ‘ලංකා ස්වේච්ඡා කාලතුවක්කු හමුදාව’ ලෙස නම් කෙරුනා. ඔවුන් නගර ආරක්ෂක කාලතුවක්කු හමුදාවක් ලෙස සේවයේ යෙදවුනා.
    1918 දී ‘ලංකා ආරක්ෂක සේනා කාලතුවක්කු හමුදාව’ පිහිටවූවා. මේ ආකාරයට වර්ධනය වූ කාලතුවක්කු හමුදාව 1949 අංක 17 දරන යුද හමුදා පනතින් නිදහස් ලංකාවේ යුද හමුදාව යටතේ ‘ලංකා කාලතුවක්කු හමුදාව’ නමින් පිහිටවනු ලැබුවා. 1972 දී ශ්‍රී ලංකා ජනරජය බිහිවීමෙන් පසු ‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව’ යනුවෙන් නම් කෙරුනා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සිය 125 වැනි සංවත්සරය අභිමානවත් ලෙසින් පසුගිය අප්‍රේල් මාසයේදී සමරනු ලැබුවා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව ජනාධිපති වර්ණ ලාභී රෙජිමේන්තුවක්.
    ඔබ දන්නවනේ අපේ යුද හමුදාව බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ආභාෂයෙන් පිහිටුවන ලද බව. තවමත් එහි යම් යම් ලක්ෂණ අපේ හමුදාවේ තියනවා. බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ධජය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ධජයත්, බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ලාංඡනය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ලාංඡනයත්, බොහෝදුරට එක සමානයි. මේ බලන්න.




    army_0008_badge_royalartillery.jpg



    ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සියලුම නිලයන් අඳින්නේ දුඹුරු පැහැති සමෙන් නිමකළ බූට්ස්.
    වෙනත් කිසිදු රෙජිමේන්තුවක් එවැනි බූට්ස් පළඳින්නේ නැහැ. එමෙන්ම කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් නොවන සෙසු සියලුම නිලයන්, තමන්ගේ සම්මාන නිළ ඇඳුමේ පළඳින, විශේෂ පළඳනාවක් තිබෙනවා.
    එය හඳුන්වන්නේ ‘බැන්ඩලියර් – Bandelier’ යනුවෙන්.
    ඉහත රූපයේ එයද පෙන්වා තිබෙනවා. බැන්ඩලියර් එක පැහැදිලිව පෙනෙන්නේ නැත්නම් මේ රූපයෙන් බලන්න.




    එමෙන්ම බලන්න මේ සෙබළුන් පැළඳ සිටින හිස් වැස්ම.
    එය හඳුන්වන්නේ ‘ස්කාලට් – Scarlet’ යනුවෙන්.
    ලෝකයේ ඕනෑම යුද හමුදාවක, එක් එක් රෙජිමේන්තුවල ඒ ඒ රෙජිමේන්තුවට විශේෂවූ, නිළ ඇඳුම්, පළඳනා, චාරිත්‍ර විධි තිබෙනවා.
    අපේ කාලතුවක්කු හමුදාවේත් තවත් එවැනි විශේෂතා තිබෙනවා.





    1. වර්ණ දෙනවා කියන්නේ මොකක්ද?

    2. වර්ණලාභී කාලතුවක්කුව කියන්නේ මොකක්ද?

    පිළිතුරු:-

    1. ඕනෑම රටක ත්‍රිවිධ හමුදාවට ඒ රටේ සේනාධිනායකයා විසින්, ඒ ඒ රෙජිමේන්තුවේ / හමුදාවේ සේවය ඇගයීමක් වශයෙන් වර්ණ ප්‍රදානයක් කරනවා. එහිදී රටේ ජාතික ධජය මුල් තැනට තබා, සේනාධිනායකයා විසින් තීරණය කරනු ලබන වෙනත් වර්ණ සහ සංකේත, රෙජිමේන්තුවට ආවේනික වර්ණ සහ සංකේත ඇතුලත් විශේෂ ධජයක් නිමවා (ලංකාවේදී මෙය වෙනස්වූ අවස්ථා තිබෙනවා)
    එය විශේෂ පෙළපාලියක් Colours Awarding Parade පවත්වා ප්‍රදානය කරනවා. එවැනි පෙළපාලි, සමහරවිට රාත්‍රී කාලයේදී, ඉතා අලංකාරවත් ආලෝක ධාරා යොදවමින් කරනවා.
    සාමාන්‍යයෙන් වර්ණ ලබාගැනීම සඳහා යොදවන්නේ රෙජිමේන්තුවේ විශේෂ දක්ෂතා දැක්වූ කනිෂ්ඨ නිලධාරියෙක්.
    ඉහත රූපයේ, එවැනි නිලධාරියකු, ජනාධිපතිතුමාගෙන් වර්ණ ලබාගන්නා අකාරය පෙනෙනවා.


    2. කාලතුවක්කු හමුදාවකට වර්ණ ප්‍රදානය කිරීමේදී රෙජිමේන්තුවේ ඉපැරණි, තවමත් හොඳින් රැකගෙන තිබෙන කාලතුවක්කුවකටද වර්ණ ප්‍රදානය කරනවා. එවිට ඒ තුවක්කුව අධිකාරි ලත් නිලධාරියකු හා සමාන ගරු සැළකිලි ලබනවා. සියලු නිලයන් විසින් රෙජිමේන්තු වර්ණ වලට සහ වර්ණ කාලතුවක්කුවට ආචාර කලයුතුයි.
    (ඕනෑම රෙජිමේන්තුවක වර්ණ වලට හමුදාවේ වෙනත් ඕනෑම රෙජිමේන්තුවක අය ආචාර කලයුතුයි) මෙම වර්ණ සහ වර්ණ කාලතුවක්කුව ඉතා ගරු සැලකිලි සහිතව ඒ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ස්ථානයක තැන්පත් කරනවා. විශේෂ පෙළපාලි වලදී (නිදහස් උත්සවය වැනි) ප්‍රදර්ශනය කරමින් පෙළපාලියේ රැගෙන යනවා. ඔබ දැක ඇති හමුදා පෙළපාලි වලදී විශේෂ අමුත්තා පෙළපාලිය පිළිගන්නා විට මේ වර්ණ ධජය අතැති නිලධාරියා එය අමුත්තා සිටින පැත්තට පහත් කරනවා.
    අමුත්තා නිළ ඇඳුම් අඳින අයකු නම්, ධජයට ආචාර කලයුතුයි. රාජ්‍ය නායකයකු වැනි අයකු නම්, හිසනමා ආචාර කරනවා.



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැනන් – Cannon;






    කැනන් යන වර්ගීකරණයට අයත් වන්නේ පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුයි.

    කැනන් යන වචනය යෙදුනේ කලින් ලිපියේදී සඳහන් කල ආකාරයේ යකඩ බෝල උණ්ඩ සහ වෙඩි බෙහෙත් කොටන ක්‍රමයට පාවිච්චි කල කාලතුවක්කු යන අදහසින්.

    නමුත් පළමුවැනි පරම්පරාවේ අගටම තිබුණ සමහර යාන්ත්‍රික කාලතුවක්කුත් කැනන් කියන කාණ්ඩයට ඇතුළත් කෙරුණා.

    හොවිට්සර් – Howitzer;






    හොවිට්සර් අදත් පාවිච්චි කරන කාලතුවක්කු විශේෂයක්. හොවිට්සරයේ ප්‍රධාන ලක්ෂණ මේවායි.

    තුවක්කු බටය බොහෝවිට කාලතුවක්කු බටයකට වඩා දිගින් අඩුයි. හොවිට්සරය යොදාගන්නේ, තුවක්කුව තිබෙන ස්ථානය සමග සසඳා බලන විට තිබෙන, උස් බිමකින් එහා පැත්තට, නැතහොත් තාප්පයකින් වටවූ බලකොටුවක් ඇතුළට, වැනි ඉතා උස් පරාවලයාකාර හැඩයකට (high trajectory) ගමන් කරන ප්‍රක්ෂිප්තයක් (projectile) විදීම සඳහායි.

    හොවිට්සරයේ පසුපස තිබෙන ආධාරක කකුල් වැනි දෙක කාලතුවක්කුවක එවැනි ආධාරක වලට වඩා කොටයි.

    එසේ සකසා තිබෙන්නේ තුවක්කු බටය ඉතා ඉහල කෝණයකට එසවීමට හැකිවීම සඳහායි.


    කාලතුවක්කුව – Artillery Gun;





    කාලතුවක්කුව කියන්නේ විශේෂ අවියක්. සාමාන්‍ය තුවක්කුවකින් ලබාගත නොහැකි, ඉතා ඈත තිබෙන ඉලක්ක වලට පහර දීම තමයි කාලතුවක්කුවේ කාර්ය භාරය.

    ඒ සඳහාම විශේෂවූ පතරොම් සහ ගිනිබලය (අධික පීඩනය) උපදවා දෙන උපක්‍රම කාලතුවක්කුව සතු වෙනවා.

    එය යාන්ත්‍රික හෝ වර්තමානයේදී විද්‍යුත් ක්‍රම මගින් ක්‍රියාකරන අවියක්. පතරොම/බෝම්බය පිට කිරීම සඳහා රසායනික ක්‍රමද (රසායනික අවි නොවේ. වෙඩි බෙහෙත්) අවශ්‍යනම් යොදාගත හැකියි. මෝටාර්, මිසයිල්, රිකොයිල්ලස් තුවක්කු, සහ රොකට් වෙඩි, කාලතුවක්කුවේ නෑදෑයන් ලෙස සැළකිය හැකියි.

    නවීකරණය කළ පරමාණු බෝම්බයක් වුනත්, ඉතා දුර වදින කාලතුවක්කුවක් මගින් යැවිය හැකියි.


    කාලතුවක්කු වර්ගීකරණය


    කාලතුවක්කු වර්ගීකරණය තරමක් සංකීර්ණ මාතෘකාවක්. විවිධ නිර්ණායක පදනම් කරගනිමින් කාලතුවක්කු වර්ගීකරණය කරනවා.

    එක් වර්ගීකරණයක් වන්නේ තුවක්කුවේ කැලිබරය අනුව වර්ග කිරීමයි.

    ඒ අනුව,

    • බර කාලතුවක්කු – Heavy Artillery Guns (කැලිබරය මිලිමීටර් 161 – 210 අතර)
    • මධ්‍යම ප්‍රමාණයේ කාලතුවක්කු – Medium Artillery Guns (කැලිබරය මිලිමීටර් 121 – 160 අතර)
    • සැහැල්ලු කාලතුවක්කු – Light Artillery Guns (කැලිබරය මිලිමීටර් 120 හෝ ඊට අඩු)
    යනුවෙන් වර්ගීකරණයක් තිබෙනවා.

    තවත් වර්ගීකරණයක් තිබෙනවා.

    එහිදී තුවක්කු වර්ග කර තිබෙන්නේ ඒ ඒ තුවක්කු වර්ගයේ ස්වභාවය, මෙන්ම ක්‍රියාකිරීමේ සහ යෙදවීමේ ස්වභාවය පදනම් කරගෙනයි.

    ඒ වර්ගීකරණය මෙන්න මෙහෙමයි.

    • ක්‍ෂේත්‍ර කාලතුවක්කු – Field Artillery Guns මෙම වර්ගීකරණයට අයත්වන්නේ භූමියේ සිටින පාබල හමුදාවන්ට ආධාර කරන විවිධ කාලතුවක්කු, මෝටාර්, හොවිට්සර්, රොකට් විදිනයන්, ආදියයි.
    • යාන්ත්‍රික චාලක කාලතුවක්කු – Motorized Artillery විශේෂයෙන් නිපදවූ ට්‍රැක්ටර් ක්‍රමයකින් හෝ තුවක්කුවට සවිකළ යන්ත්‍රයක් මගින් ඇදගෙන යාම සහ එහා මෙහා හැරවිය හැකි කාලතුවක්කු.
    • ස්වයං චාලක කාලතුවක්කු – Self Propelled Artillery Guns වාහනයක හෙවත් ධාවනය කළහැකි යාන්ත්‍රික පද්ධතියක ස්ථිරව සවි කර තිබෙන සෑම වර්ගයකම කාලතුවක්කු
    • රේල් පීලි මත දිවෙන කාලතුවක්කු – Railway Guns අද භාවිතයේ නැත
    • නාවික කාලතුවක්කු – Naval Artillery Guns යුද නැව් වල සවි කර තිබෙන කාලතුවක්කු වර්ග
    • වෙරළාරක්ෂක කාලතුවක්කු – Coastal Artillery රටක ආරක්ෂාව සඳහා වෙරල තීරයන්හි ස්ථිරව සවි කර ඇති කාලතුවක්කු.
    ඉහත සඳහන් තුවක්කු වර්ග වලින් රේල් පීලි මත දිවෙන කාලතුවක්කුව හැර අනෙකුත් වර්ග වල පින්තූර පහත දක්වනවා. රේල් පීලි මත දිවෙන කාලතුවක්කුවේ පින්තූර කීපයක් කලින් ලිපියේ තිබෙනවා.









    දැන් ඔබ පුල පුලා බලාසිටින දේ තමයි කොහොමද කාලතුවක්කුවකින් වෙඩි තබන්නේ කියන ප්‍රශ්නය.
    නමුත් කාලතුවක්කුවක මූලික කොටස් ටිකවත් ඔබ දැනගන්න ඕනෙනේ. ඒ නිසා මම එක රූප සටහනක් පෙන්වන්නම්.
    මෙය විස්තර කරන්න නොයන්නේ සාමාන්‍ය තුවක්කුවක් ඔබට බොහෝවිට අතපතගාන්න ලැබුනත්, කාලතුවක්කුවක් එසේ පරිහරණය කරන්න නොලැබෙන නිසා.



    කාලතුවක්කු වර්ග ඉතා සංකීර්ණ වගේම කාලතුවක්කු උණ්ඩ වර්ගද ඉතා සංකීර්ණයි.

    ඒ වර්ග විස්තර කරන්න වෙනමම ලිපි කීපයක් ලියන්න වෙනවා. ඒ නිසා හැකි තරම් කෙටියෙන් හා සරලව උණ්ඩ ගැන කියලා ඉන්නම්. කාලතුවක්කු උණ්ඩයක් කියන්නේ ගුවනට විදින බෝම්බයක්.

    එය බිම හෝ තද මතුපිටක් මත වැදීමෙන් පුපුරන්නට පුළුවන්. ඒ තමයි සාමාන්‍ය ක්‍රමය.

    නමුත් දැන් තිබෙන වැඩි දියුණු කල උණ්ඩ ඉලක්කයට ආසන්න ඉහල අහසේදී කුඩා කැබලි වලට පුපුරා මහා විනාශයක් කල හැකියි.






    රසායනික උණ්ඩත් තියනවා. ප්‍රධාන වශයෙන් ඒ උණ්ඩ වල තිබෙන්නේ ‘වයිට් ෆොස්පරස්’ නමැති රසායනික ද්‍රව්‍යය. උණ්ඩය පුපුරා ගිය වහාම ගිනිගෙන දැවෙන ෆොස්පරස් ජාලාවක් හැම තැනටම විසිරෙනවා.

    ඒවා අපේ ඇඟේ ඇලෙනවා.

    ඇලුන ඇලුන තැන භයානක රසායනික පිළිස්සීමකට ලක්වෙනවා.








    රාත්‍රී කාලයේදී යුදබිම නිරීක්ෂණය කරන්න අවශ්‍යනම් ඉහල අහසේ ආලෝකයක් ඇති කළහැකි උණ්ඩ වර්ගයක් තියනවා.

    ඒවා හඳුන්වන්නේ ‘පැරා ඉලුමිනේෂන්’ කියලා. උණ්ඩය අවශ්‍ය ප්‍රදේශයට ඉහල අහසේ පුපුරා යන ආකාරයට වෙඩි තැබුවාම එහි ඇති පැරෂූට් එක මගින් එය සෑහෙන වෙලාවක් අහසේ තබාගන්නවා.

    ඉතා තද කහ/දොඩම් පැහැයේ ආලෝකයක් ලැබෙනවා.







    යුද බිමේ ඉන්න අපේ විශාල භට පිරිස්, යුද ටැංකි, ආදිය සතුරාගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වා ගැනීමට සහ ඉක්මනින් එහා මෙහා කරගැනීමට අවශ්‍යනම්, කාලතුවක්කු දුම් බෝම්බයක් සතුරා සහ අපේ භට පිරිස් අතරට දැමිය හැකියි.

    එයින් ඝන දුම් වලාවක් ඇතිකරනවා සෑහෙන වෙලාවක් යනතුරු.

    එයට මුවාවී අපේ කාර්යය කරගන්න පුළුවන් වෙන ආකාරයට.



    හැබැයි අපේ පැත්තට තද සුළං තියන අවස්ථාවක පැරා ඉලුමිනේෂන් එකක් ගැහුවොත් සතුරාට අපිව වඩා හොඳින් පෙනෙනවා.

    එවිට අපිට බඩුම තමා. ඒ වගේමයි දුම් බෝම්බයේ දුම අපේ පැත්තට ආවොත් වැඩක් නැහැ.

    අන්න අරුන් මාරුවෙනවා කියලා සතුරා අපිට ගහනවා.




    සාමාන්‍ය කාලතුවක්කු උණ්ඩයක් පෙනෙන්නේ මෙන්න මෙහෙමයි.




    මේ තිබෙන්නේ අවශ්‍ය පරිදි ඉලක්කය වෙත යාම පාලනය කළහැකි නවීනතම කාලතුවක්කු උණ්ඩයක්.



    කාලතුවක්කු කීපයක් එකට එකතුකර සකස්කර තිබෙන කණ්ඩායමට කියන්නේ ‘Artillery Battery – කාලතුවක්කු බතරොයිය’ කියලයි. එහි අණදෙන්නා ‘බැට්‍රි කමාන්ඩර්’ ලෙසයි හඳුන්වන්නේ.

    සාමාන්‍යයෙන් මේජර් නිලයේ නිලධාරියෙක්.
    කුමන අවස්ථාවක, කුමන ආකාරයෙන් වෙඩි තැබුවත්, කාලතුවක්කු වෙඩි තැබීම් සඳහා, දිනපතා කාලගුණික දත්ත අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මේ නිසා දිනපතාම යුදබිමේ තිබෙන සෑම කාලතුවක්කු මධ්‍යස්ථානයකටම කාලගුණ දත්ත සැපයෙනවා.

    ඒ වගේම තමයි බර කාලතුවක්කු වෙඩි තැබීමකට පෙර ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන වලින් සනාථ කරගත යුතුයි, ඒ ප්‍රදේශයට ඉහලින් සිවිල් ගුවන් ගමන් ඒ අවස්ථාවේ සිදු නොවන බවට.

    එයට හේතුව සමහර කාලතුවක්කු උණ්ඩ ඉතා ඉහල උසකින් ගමන් කිරීමයි. කාලතුවක්කුවෙන් වෙඩි තබන න්‍යායාත්මක ක්‍රම කීපයක් තිබෙනවා. ඉතා කෙටියෙන් කියන්නම්.

    • Counter Battery Fire – සතුරාගේ කාලතුවක්කු බැටරි විනාශ කිරීම/අඩපණ කිරීම සඳහා වෙඩි තැබීම.
    • Counter Preparation Fire – සතුරා අපට ප්‍රහාරයක් එල්ල කිරීම ස්ථිරවම ,නොපමාවම, සිදුවියහැකි බව සනාථ වන්නේනම් සතුරු කඳවුරු වෙත එල්ල කරන කාලතුවක්කු ප්‍රහාර මගින් ඔවුන්ගේ සැලසුම් අවුල් කරනවා.
    • Defensive Fire – අපේ භට පිරිස් සිටින ප්‍රදේශයන්හි ඉදිරි භූමියේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා එල්ල කරන ප්‍රහාර.
    • Final Protective Fire – සතුරා අපේ සීමා මායිම් බිඳගෙන අපේ ප්‍රදේශයට ඇතුළුවීමට ඔන්න මෙන්න තත්වයක් ඇතිවුනොත්, අපේ ආසන්නතම ඉදිරි භූමියට එල්ල කරන ප්‍රහාරය.
    • Harassing Fire – අපට දැනගන්න ලැබෙනවා සතුරා ඉදිරි කාලයේ අපට පහර දීම සඳහා සංවිධානය වෙමින් සිටින බව. ඔවුන් එසේ සංවිධානය වන ප්‍රදේශ වලට පහරදී ඔවුන්ගේ සැලසුම් කඩාකප්පල් කිරීම සඳහා කරන ප්‍රහාර මේ නමින් හඳුන්වනවා.
    • Interdiction Fire – අපට අවාසිදායක වියහැකි භූමි ප්‍රදේශයක් සතුරා අතට පත්වීම වලක්වා ගැනීම සඳහා කරන ප්‍රහාරය.
    • Preparation Fire – මහා සටනක් සඳහා අපේ සේනාංකයක් යුද භූමියට බසින්නට මොහොතකට පෙර සතුරා ඇතැයි කියා කලින් දැන සිටින ප්‍රදේශ වෙත කාලතුවක්කු උණ්ඩ වැස්සක් දෙනවා. එය අපේ හමුදාවේ ඉලක්ක අත්පත් කරගැනීමට පහසුවක් වෙනවා.
    • Deep Supporting Fire – යුද බිමේ ඉතා ඈත, අපිට නිරීක්ෂණය නොවෙන, එහෙත් දත්ත මගින් සොයාගත් ඉලක්ක වෙත පහරදීම.
    කාලතුවක්කුවකින් වෙඩි තියන්න ස්ථාන කීපයක සිටින කණ්ඩායම් කීපයක් එකවර සහයෝගයෙන් ක්‍රියා කරනවා.

    කාලතුවක්කුව ක්‍රියා කරවන අයට සෑමවිටම ඉදිරි භූමිය පෙනෙන්නේ නැහැ. ඒ නිසා වෙඩි තබන ලද උණ්ඩ ඉලක්කයට වැදුනාද නැද්ද, තව ඉදිරියට හෝ පසු පසට, වමට, දකුණට, වන්නට වෙඩි තැබිය යුතුද යන්න කාලතුවක්කු කාර්ය මණ්ඩලයට ගුවන්විදුලි මගින් දැන්වීමට නිලධාරියකු ඉදිරි භූමියේ යොදවා තිබෙනවා ඔහුට කියන්නේ ඉදිරිය නිරීක්ෂණය කරන නිලධාරි කියලයි.

    Forward Observation Officer = FOO.

    ඊට අමතරව, කාලගුණික දත්ත සහ කාලතුවක්කුව හැසිරවීම සඳහා අවශ්‍ය දත්ත, විශේෂ පරිගණක ක්‍රමයකින් සකසා ලබාදීමට වෙනමම කණ්ඩායමක් ඉන්නවා.

    ඊට අමතරව සියලු වෙඩි තැබීම් සම්බන්ධීකරණය සහ පාලනය සඳහා කාලතුවක්කු අණදෙන නිලධාරියකු ඉන්නවා.



    කාලතුවක්කුවකින් වෙඩි තබනකොට මුලින්ම කරන්නේ උණ්ඩය ඇතුළු කිරීමයි. දෙවනුව ඒ උණ්ඩය වෙඩි තැබීමට බලාපොරොත්තුවන දුර අනුව අවශ්‍ය පීඩනය (ගිනි බලය) ලබාගැනීම සඳහා වෙඩිබෙහෙත් ඇසුරුමක් තුවක්කුවට ඇතුළු කරනවා.

    එය හඳුන්වන්නේ ‘චාර්ජ් බෑග් – Charge Bag’ කියලයි. මේවා විවිධ ප්‍රමාණයෙන් මෙන්ම ලෝහ, කාඩ්බෝඩ්, ඝන රෙදි, ආවරණ වලින් යුතුව සකසා තියනවා.

    අපේ සමහර හමුදා නිවෙස්වල ඔබ දැක ඇති පිත්තලෙන් සැකසු මෙවැනි චාර්ජ් බෑග් කොපු තියනවා. වරදවා වටහාගන්නට එපා.

    එය කාලතුවක්කු පතරොම් කොපුවක් නොවේ.

    චාර්ජ් බෑග් එක වරම ගිනි ඇවිලෙන්නේ එහි පසුපස කොටසේ ඇති ප්‍රයිමරයට කාලතුවක්කුවේ මිටිපහර වැදීමෙන්.






    ෆියුස් එක බිම ඇණුනම තමයි බෝම්බය පත්තු වෙන්නේ.

    නමුත්, ෆියුස් එක අපට අවශ්‍ය වෙලාවේදී පත්තුවෙන්න හදපුවා දැන් තියනවා.





     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාලතුවක්කුවේ නෑදෑයන් වන මෝටාර්, රිකොයිල්ලස් තුවක්කු, මිසයිල්, මල්ටි බැරල් රොකට්, ආදිය ගැන දැනට පින්තූර විතරක් බලමු.





    මෙම මෝටාරයෙන් වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 7200 යි







    රිකොයිල්ලස් තුවක්කුව හෙවත් RCL එකෙන් වෙඩි තබනවිට තුවක්කුවට පසුපසින් මීටර් 10 ක් පමණ දුරට යනතුරු කිසිදු බාධකයක් නොතිබිය යුතු අතර, (බිත්තියක්, වාහනයක් වැනි) කිසිවකුත් තුවක්කුවට පසුපසින් රැඳී නොසිටිය යුතුයි.

    එයට හේතුව වෙඩිල්ල පිටවනවිට තුවක්කුවේ පසුපසින් එපමණ දුරකට මහා ගිනි ජාලාවක් විහිදෙන නිසයි.




    කාලතුවක්කුව සතුට සහ දුකටත් පාවිච්චි කරන බව දන්නවාද? කාලතුවක්කු හමුදාවේ ජ්‍යොෂ්ඨ නිලධාරියකු විශ්‍රාම යන අවස්ථාවේ පවත්වන රාත්‍රී සාදයෙන් අනතුරුව, අර පසුගිය ලිපියෙන් මා පෙන්වූ වර්ණලාභී කාලතුවක්කුව වැනි කුඩා කාලතුවක්කුවකට ඒ විශ්‍රාම යන නිලධාරියාව නංවා, සුදු පැහැති විශාල කඹ දෙකක් මගින්, අනික් සියලුම නිලධාරීන් විසින් ඒ තුවක්කුව ටිකක් දුර ඇදගෙන යනවා.

    මල් හතයි නේ? :D
    හමුදාවේ සෑම නිලයකුම මියගිය පසු ඔහුගේ දේහය රැගත් දෙන කාලතුවක්කු ගැලක – Gun Carriage තබා සුසාන භූමිය වෙත රැගෙන යනවා.

    (ශ්‍රී ලංකා යුද හමුදාවටම තිබෙන්නේ එවැනි ගැල් තුන හතරක් පමණයි. ඒ නිසා පසුගිය යුද සමයේදී එකම දිනයක පැවැත්වුන සියලුම හමුදා අවමංගල්‍යය සඳහා කාලතුවක්කු ගැලක් ලබාදෙන්නට හැකිවුණේ නැහැ)
    එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සහ ඊට ඉහල නිලයන්හි නිලධාරීන්ගේ අවමංගල්‍ය අවස්ථාවේදී (විශ්‍රාමිකව සිටියත්) කාලතුවක්කු ගෞරවාචාර වෙඩි මුරයක් පවත්වනවා.



     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ත්‍රෙඩ් එක ටිකක් දිගයි...වෙලාවක් හම්බවුනහම කියවන්නම්... :D
    රෙප්+14