ලාංකික කොමික් Super Hero වංශයට අයත් වියම යුතු සුපිරි චරිත 7ක්
මේ වෙනකොට මාවල් සහ ඩීසී සුපිරි වීරයෝ ගැන එක පාරටම අමුතු උනන්දුවක් ඇවිත් තියෙනවා, විශේෂයෙන්ම පහුගිය දවස් වල Lanka Comic Con සමුළුවත් පැවැත්වුණු නිසා. මේ වෙනකල් ලංකාවෙන් ලෝකයේ කොමික් ෂානරයට එකතු වෙලා තියෙන්නේ සුපිරි දුෂ්ටයෙක් විතරයි. ඒ සෙන් යකා!
හරි. හල්ක්ලා, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ලා එතකොට සුපර්මෑන්, බැට්මෑන් පැත්තකින් තියමු. ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන් අපේම සුපිරි වීර චරිත ගැන ඉගෙන ගන්නවා. මේ වීර චරිත කොමික් සුපිරි වීර චරිත විදියට හැඩගස්වලා ගත්තොත් කොහොම වේවිද?
1. ලාංකික Hulk Duo – ගජබා රජුගේ සේනාධිපති වූ මහා නීල
සුබාහු, මහා නීල නැත්නම් නීල මහා යෝධයා කියලා හඳුන්වන්නේ ටොන් පණහකට එහා පැත්තේ බාහු බලයක් තිබුණාය කියන පුරාවෘත්තගත සුපිරි වීරයෙක්. රා බීලා මරු වෙසින් එන මංගල හස්ති රාජයාවත් ගේමක් නැතුව හොඬවැලෙන් අල්ලලා පාරෙන් එහාට විසි කරලා ගියපු නීල මහා යෝධයා, ගජබා රජුගේ සේනාධිපති. දැන් කොමික් වලට ගෙනාවනම් මහා නීලව ලාංකික හල්ක් කෙනෙක් විදියට පෙනෙයි.
අතුරු කතාවක්: සුබාහු වගේම ගජබාහු රජුටත් ඇතුන් දහදෙනෙකුගේ ශක්තිය තිබුණා කියනවා. ඒකනේ නමත් ගජ+බාහු වෙන්නේ. දැන් මේ වගේ සුපිරි වීරයෝ දෙන්නෙක් තනියම ගිහින් සොළී රටට ගොඩබැහැලා රට අල්ලා ගත්තා කියන එකේ පුදුමයකුත් නැහැ!
2. ලෝකල් Avengers කණ්ඩායම – දස මහා යෝධයින්
දුටු ගැමුණු රජුගේ අග සෙනෙවිවරුන් වුණු යෝධයින් දහ දෙනා ගැන ථූපවංශය, මහා වංශය, සහස්සවත්ථුප්පකරණය, රාජාවලිය වගේ පැරණි ග්රන්ථ ගණනාවකම සඳහන් වෙනවා. නිකමට හිතලා බලන්න, මේ දහ දෙනා සහ දුටුගැමුණු රජු කියන්නේ ලෝකල් Avengers කණ්ඩායමක් වගේ නෙවෙයිද කියලා. මහා බලැති යෝධයින් වීමට අමතරව මේ එක් එක් කෙනෙකුට සුවිශේෂී දක්ෂතාවයනුත් තිබිලා තියෙනවා. උදාහරණයක් විදියට වේළුසුමන කියන්නේ අතිදක්ෂ අශ්වාරෝහකයෙක්. සුරනිමලට කඩු සටන්, දුනු ශිල්ප ප්‍රවීණත්වය තිබුණා වගේම ඔහු අතිශයින්ම වේගවත් ගමන් ඇති අයෙක්. මිටි සිරුරක් තිබුණු ගෝඨයිම්බර දුවන මුවන් පසුපස එලවා ගොස් අල්වා ගැනීමට තරම් වේගවත් වූවෙක්. එතකොට ඵුස්සදේව කියන්නේ විදුලි සැර වේගයෙන් හී විදීමේ නිපුණයෙක්. ඕන නම් මේ කණ්ඩායමේ ප්‍රධානියා වගේම උපාය කෞෂල්‍යයේ ප්‍රමුඛයා විදියට දුටුගැමුණු රජුවම ගේන්න පුලුවන්!
3. පුරාවෘත්තයන්හි සුපිරි වීරයා – සිංහබාහු
ලංකා ඉතිහාසයෙන්අපට පිරුනමුනු පුරාවෘත්ත කථාන්තරවල සිංහබාහුට තියෙන තැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සිංහබාහුගේ පියා සිංහයෙක් කියන පුරාවෘත්තය එක්ක තමයි සිංහලයෝ සිංහයයෙකුගෙන් පැවත එනවා කියන කතාව ඇතිවුණෙත්. අපි කියමු මෙහෙම. මේ කියන්නේ ඇත්ත සිංහයෙක් නෙවෙයි, ඒත් සිංහයෙක් වගේ ප්රචණ්ඩ සහ නිර්භීත, මහා කාය ශක්තියෙන් අනූන පුද්ගලයෙක්. ඒ ආකාරයේ පියාව තමයි සිංහබාහු විසින් මරා දමන්නේ. මේ ආකෘතිය ලෝකයේ සාහිත්‍යය, කොමික් සහ සිනමාව පුරාම ආගන්තුක නැහැ. ඒත් බිහිසුණු, නිර්භීත මනෝභාවයකින් සහ සිංහ සමාන බලයකින් යුක්ත, අයුක්තිය නොඉවසන, සිය පියාව මරාදමන සිංහබාහුව එක් මොහොතකදී Wolverine වගේත් පේන්නේ මට විතරද?
කොහොම වුනත් සිංහබාහු චරිතය සිංහල කොමික් වලට ගේන්න සමත් වෙලා තියෙනවා සචී එදිරිවීර සහ ක්‍රිස් ලිස්මන්. මේ Lion Born!
4. යකුන් බැඳ වැඩගත්ලක් ලක් දෙරණේ මහා මායාකරු – කොත්මලේ ගණිතයා
දුටුගැමුණු සමයේම හිටි පොන්නා නැකැත්තා නොහොත් කොත්මලේ ගණිතයා කියන්නේ හසළ දැනුමකින් හෙබි ජ්යෙතිශාස්ත්රඥයෙකු වුණත්, ගුප්ත ශාස්ත්‍රයේත් කෙළ පැමිණියෙක්. කොත්මලේ ගණිතයා ගැන තියෙන කථා වලින් ගඟේ යකාව බැඳගෙන ගෙදර ගෙනාපු හැටිත්, සිකුරු ග්‍රහයාගේ කුණ්ඩලාභරණය සොයාගත් හැටිත්, අවසානයේ ටක්කෙට අනාවැකි කීම නිසා රාජාධිරාජසිංහ අණෙන් මරණයට නියම වීමත්, ඔහුගේ මරණයත් චිර ප්‍රසිද්ධයි. ඉතින් සිංහල කොමික් සාහිත්‍යයක් ඇතුළේ මීට වඩා හොඳ Dr. Strange කෙනෙක් ඉන්නවද? ආකෘතිය වෙනස් වුනත් යක්ෂයින්ව දමනය කළ හැකි, අනාගත වාක්‍ය කිව හැකි සුපිරි වීරයෙක්ව කොත්මලේ ගණිතයාගෙන් නිර්මාණය කරන්නට පුලුවන්!
5. අංගම් ශූර සුපිරි වීරවරිය – ඒදඬුවාවේ කුමාරිහාමි
කෙළින් සටන් නොමැති බවට පරසිඳු සුදලියේ නිලමේ හා අංගම් හටනක යෙදෙන මරුවල්ලිය පරපුරේ සටන් ශූරයා වූ ගලගොඩ නිලමේ මිය ඇදෙන්නේ, සුදලියේ නිලමේ විසින් නීච ලෙස එල්ල කළ පහරකින්. මේ අතර ගැබ්බරව සිටිනා ගලගොඩ මැණිකේ ගැහැණු දරුවෙකු ප්‍රසූත කරන අතර, ගලගොඩ නිලමේ සටනට යෑමට පෙර කියූ කැමැත්ත අනුව මේ දැරිය සබරගමුවට යවා අංගම් ශිල්පය පුහුණු කරවයි. එයිනුත් නොනවතින මැණිකේ ඇයව ඉන්දියාවේ මල්ල රටට යවා ඇයට වැඩිදුර අංගම් පුහුණුව ලබාදෙන්නට සිතයි. අවුරුදු හයක ඇවෑමෙන් සුන්දර තරුණියක් මෙන්ම අංගම් හටන් කළාවේ කෙළ පැමිණියෙක්ද වෙන තරුණිය නැවත සිය රට පැමිණෙන්නේ තරුණයෙකු ලෙසින් වෙස් වලාගනිමින්. එම වෙස් වලාවෙන්ම තම පියාගෙන් හිස්වූ පදවිය ලබාගන්නා ඇය මරුවල්ලිය පරපුර නියෝජනය කරමින් සුදලිය පරපුර හා මාරාන්තික අංගම් සටනක් සඳහා සැරසෙයි. මහා ඌරා ලිඳක් තුළ සුදලියේ නිලමේ සමගින් හිරු අවරට යන තුරාවටම භීම ද්වන්ද සටනක නිරත වන මෙම තරුණිය අවසානයේදී බිහිසුණු කඩු පහරකින් සුදලියේ පණික්කි රාළගේ ගෙල සිඳලීමට සමත් වෙනවා. ලිඳෙන් ගොඩට එන මරුවල්ලිය සටන් කරුවා සැබවින්ම තරුණයෙකු නොව, ගලගොඩ නිලමේගේ දෝණියැන්දෑ වන ඒදඬුවාවේ කුමාරිහාමි බව දැනගැනීමෙන් රැස්ව සිටි මහ පිරිස මෙන්ම රජුද විස්මයෙන් ඇළලී යනවා. අවසානයේදී ඒදඬුවාවේ කුමාරිහාමි නම් මරුවල්ලිය අභිනව අංගම් ශුර වීරවරිය දිසාපති පදවියෙන් පිදුම් ලැබූ පළමු ලාංකික කාන්තාව බවට පත් වෙනවා.
ඇමසෝනියන් සුපිරි වීරවරියක් පරදවන චිත්තාකර්ෂණීය පසුබිම් කථාවක් උරුම කරගත් ඒදඬුවාවේ කුමාරිහාමි සිංහල කොමික් වංශයට ගෙන ඒම සඳහා තවත් අටුවා ටීකා වුවමනාද?
6. වෙල්ලස්ස සටනේ අප්‍රකට වීරයා – කිවුලේගෙදර මොහොට්ටාල
ලංකා ඉතිහාසයේ පිටු තුළ උත්කර්ෂයට පත්නොවී සැඟව ගිය වීරයෙකු ලෙසින් හඳුන්වන්නට හැකි කිවුලේගෙදර මොහොට්ටාල චරිතය, හැබෑවටම වෙල්ලස්ස සටනේ පතාක යෝධයෙකු වුණු බව දන්නේ කීයෙන් කී දෙනෙකුද?සුපිරි කාය ශක්තියකින් හෝ අංගම් වැනි සටන් කලා ප්‍රවීණත්වයකින් යුක්ත වුණු බවට සඳහනක් නොවූවත්, කිවුලේගෙදර මොහොට්ටාල චරිතය දක්ෂ සටන්කරුවෙක්, සංග්රාම උපක්‍රමයන්ගේ හසලයෙක් බව කියන්න පුලුවන්. මොනරවිල කැප්පෙටිපොළ හා එක්ව ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කළ කිවුලේගෙදර මොහොට්ටාලත් අන්තිමට මරණයට පත්වෙනවා. එතකොට පසු කාලෙකදී ඔහු දේවත්වය පත්වුණු බවට විශ්වාසයනුත් තිබිලා තියෙනවා. රට ජාතික කෙරෙහි දැඩි ආලයකින් පසුවූ, ඒ වෙනුවෙන් දිවි දීමට පවා නොපසුබට වූ කොමික් වීරයෙකුගේ චරිතයට මේ විදියට කිවුලේගෙදර මොහොට්ටාල හොඳ මූලාශ්‍රයක් නෙවෙයිද?
7. සංග්‍රාමයට අධිපති සුපිරිතමයා – කාර්තිකේය නොහොත් ස්කන්ධ
අකුණු පහරට අධිපති ස්කැන්ඩිනේවියානු දෙවි තෝර් කොමික් වීරයෙක් වෙනකොට ඉන්දියාවෙන් පැමිණි සංග්‍රාමයට අධිපති කාර්තිකේය දෙවියන්ට සිංහල කොමික් වීරයෙක් වෙන්න බැරිද?
කාර්තිකේය, මුරුගන්, සුබ්රමන්යා වගේ විවිධ නම් වලින් හැඳින්වෙන සංග්‍රාමයට අධිපති හින්දු දෙවියන් වෙන මෙම ශිව පුත්‍රයා ලංකාවේ හැඳින්වෙන්නේ කතරගම දෙවියන් නමින්. හින්දු දේව කථා පුරාණය තුළත් විවිධ තැන්වල සඳහන් වෙන කාර්තිකේය සම්බන්ධ රසවත් කතන්දර ගොඩයි. වැදි තරුණියක වූ වල්ලි අම්මාව වසඟයට ගැනීම හා සහෝදර ගණ දෙවියන්ගේ හිස ගැලවී යාමට පහර දීම එයින් කීපයක්.
කොහොම වුනත් කතරගම දෙවියන් සම්බන්ධයෙන් අහන්නට ලැබෙන ඉන්දියාවේ සිට පැමිණ කතරගම ප්‍රදේශයට අධිපතිව හිඳ මිය ගොස් දෙවියකු වූ බවට කියවෙන පුවත පදනම් කරගෙන ග්‍රැෆික් නවකතාවක් මවන්නට බැරිද? මුහුණු හයක් සහ අත් දොළහක් මවා ගත හැකි, සංග්රාම ශූර මෙන්ම බුද්ධියෙන්ද අනූන, අසරණයන්ට පිහිට වෙන සුපිරි වීර දෙවියෙකු වෙන්න කාර්තිකේයට පහසුවෙන්ම පුලුවන්.
source : www.aniwa.lk
Last edited:


