නිවන් දැකීම යනු කුමක්ද?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    නිවන් දැකීම යනු කුමක්ද?



    නිවන් දැකීම යනු යථාවබෝධයයි

    මුළු බුද්ධ දේශණාවම, පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයම දේශණා කළේ ලෝකයාට නිවන් අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන එකම පරමාර්ථයෙනි. “නිවන” යන අකුරු තුනෙහි නිවනක් නැත. නිවන් දකිත්වා යැයි ලක්‍ෂ වාරයක් කීවද එහිද නිවනක් නැත. “මම නිවන් දකිම්වා, සියල්ලෝ නිවන් දකිත්වා” යන පදවල ද නිවනක් නැත.

    මේ පවතින ලෝකය තුළද ලෞකිකත්වය මිස නිවනක් නැත. නිවන් අවබෝධ කර ගැනීමට උපකාර කර ගත හැකි එකම තැනත් මේ මිනිස් ලෝකයමයි. ලෝකයෙහි මිනිසෙකු ලෙස ජීවත් වන කාලය තුළදීම මේ සඳහා සියලු වීර්යය, ධෛර්යය කළ යුතුය. මේ ලෝකය ප‍්‍රයෝජනයට ගෙන, ලෝකය තේරුම් ගෙන, ඒ උපකාර කර ගත් ලෝකයෙන්ද මිදී නිදහස් වීම නිවන් දැකීමයි. මරණයෙන් පසු නිවන් දැකීමට කිසිවෙකු සිතතොත් එය ලොකුම මෝහයයි.

    නිවන් අවබෝධ කර ගැනීම යනු මෝහයෙන් මිදී යථාවබෝධය ලැබීමයි. යථාවබෝධයක් ලබා ගත යුත්තේ, උපතට මරණයට නියත ලෙසම හේතු පාදක වන හේතුඵල පරම්පරාවේ ක‍්‍රියාත්මක වීම පිළිබඳව සත්‍යය අවබෝධ කර ගැනීමටයි. මේ ධර්මතාවය පිළිබඳව සත්‍යය වටහා ගත් පසු ධර්මාවබෝධයක් ලැබූ මිනිසෙකුට, තමා සිතන, කරන, කියන සෑම දෙයක්ම ධර්මයට බහා බලා කටයුතු කිරීමේ ශක්තියක් ලැබෙයි. මෙය පුරුදු පුහුණු කරගත් කළ තමා හිතන, කරන, කියන දේ තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ සසර ගමන දික් කිරීමට, නිවන ප‍්‍රමාද කිරීමට හේතු වේ නම්, එය ප‍්‍රහාණය කර, ඒ සිතිවිල්ල, ක‍්‍රියාව, කථාව, අතහැර, ඉන් මිදී නිදහස් විය හැක. එවැනි යම් සිතුවිල්ලක්, ක‍්‍රියාවක්, කථාවක් තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ නිවනට උපකාර වේ නම්, නිවන් මඟ විවෘත කර දෙයි නම්, නිවන් මඟට ඇති බාධක, කෙළෙස් දවා හැර මඟ ශුද්ධ කර දෙයි නම්, එවැනි දේ සිතීම, කථා කිරීම වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුය. මේ සතර සතිපට්ඨානය වැඞීමයි.

    යම් සිතුවිල්ලක්, කථාවක්, ක‍්‍රියාවක් නිසා සංසාරයට බැඳීම, ලෝකයාට සම්බන්ධ වීම, ලෝකය කෙරේ වූ බලාපොරොත්තු ඇති කිරීම වර්ධනය කරන එකක් බව දැක්කොත්, එය නිවනට බාධා බව දැක, ඉන් මිදී නිදහස් වීමට හැකි වන්නේ හේතුඵල දහම දැකීමෙන්ම පමණි.

    පහකළ යුතු දේ ප‍්‍රහාණය කිරීමත්, ආශ‍්‍රය කළ යුතු දේ ආශ‍්‍රය කිරීමත් කළ යුත්තේ තම සිතින් තමාමය. වෙන කවුරු හෝ අම්මා, තාත්තා හෝ බුදුපියාණන් හෝ මහා සංඝරත්නය හෝ ඔබ වෙනුවෙන් මෙය කර දීමට ඉදිරිපත් විය නොහැකි බව සහතික කොට වටහා ගත යුතුය.

    තමා ඉපදුනේ වෙන කාගේවත් වරදකින් හෝ වෙන කාටවත් අවශ්‍ය නිසා හෝ නොවේ. මරණ මොහොතේත් නොතිත් ආශා බලාපොරොත්තු සිත තුළ පැවති නිසා, තව කලක් මතුත් ජීවත් වන්නට කැමැත්තක් තිබූ නිසාම තමා නැවත උපතක් ලබා ගති. තැනක හා විය.

    එවන් සියලු බලාපොරොත්තු අතහැර නිදහස් වීම නිවනයි. සිතෙහි උපදින සියලු කෙළෙස්, කුණු පහකර ශුද්ධ පවිත‍්‍ර කර ගත යුතුවාක් මෙන්ම, මතු පළදිය හැකි යහපත් පින් කුසල් ආදී සියලු දේමත් අතහැර, ඒවායින් ද නිදහස් විය යුතුය. කර්මජ කෝෂය හොඳ නරක, පින් පව් සියල්ලෙන් හිස් විය යුතුය. එවිට ඵල විපාක දීමට යමක් එහි ඉතිරිව නැති නිසා මතු උපතක් සිදු නොවේ. මේ අනුව නිවන් අවබෝධ කර ගන්නවා, නිවන් දකිනවා යනු කුමක් දැයි බුද්ධිගෝචරව දැන, ඒ සඳහා ක‍්‍රියා කළ යුතු ආකාරය, මඟ පෙන්වීම ලබා දීම, ධර්ම දේශකයින්ගේ හා පොත පතෙහි ධර්මය ලියා පළ කරන්නන්ගේ වගකීමයි. යුතුකමයි. මිනිසත් බවක් ලැබ උපත ලැබූ මේ අවස්ථාවේදීම, තමාම මේ කටයුත්ත කර ගත යුතු බව නැවත මතක් කරමි.

    නිවන පිළිබඳ අනුමාන ඥාණය ලබා ගත හැක්කේ කෙසේද?

    බුදුන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම අවබෝධ කරගත් විමුක්ති මාර්ගය, භව නසන මාර්ගය (බණ) තම මුළු ජීවිත කාලය තුළම අනන්ත අප‍්‍රමාණ දෙව් මිනිසුන්ට නිවනට මඟ පෙන්වා දීම සඳහාම දේශණා කළහ. බුදුපියාණන්ගේ පරිනිර්වාණයෙන් පසුව මඟඵල ලැබූ ආර්ය උත්තමයින් වහන්සේලාද මේ නිවන් මාර්ගය දේශණා කර පරම්පරා ගණනාවක් නොනැසෙන ලෙස නිවන් මඟ ආරක්‍ෂාකර දේශණා කරමින් පවත්වාගෙන ආහ. ආර්ය උත්තමයන් වහන්සේලාගේ විශේෂයෙන්ම සිවුපිළිසිඹියාපත් ලැබූ අරහතුන් වහන්සේලාගේ පහළවීම නැවතීමත් සමඟම මේ භව නසන, භව නිරෝධ කරන මඟ කියා පැහැදිළි කර දීමට සමත් කෙනෙකු නැති විය. ඒ ධර්මයම ඒ වචනම යොදා ගෙන පසු කාලයේ භව හදන ජීවන මාර්ගයක් සකස් කර ගන්නට උපකාර වන ආගමක් ලෙස බුද්ධ ධර්මය තේරුම් කර දීමට යාම නිසා නිවන් මඟ වැසී යටපත් විය.

    නිවන් දැකීම යනු කුමක්දැයි තවත් කෙනෙකුට නිවැරදිව ප‍්‍රකාශ කළ හැක්කේ, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මඟඵල අවබෝධ කරගත් අරිය උත්තමයකුට පමණි. මෙවැනි මඟඵල ලැබූ අරිය උත්තමයෙකුගේ කටහඬ, දේශණා කරන ධර්මය තවත් කෙනෙකුට සෝතාපන්න වීමට පිහිට වේ. සෝතාපන්න යන වචනයෙහිම මේ අරුත ඇත. ”සෝත” යනු ශ‍්‍රවණයයි. ”ආපන්න” යනු මඟට පිවිසීමට උපකාරක බවයි. එසේ නම් සෝතාපන්න යන පදයෙහි තේරුම කඩහඬ අසා ධර්මය ශ‍්‍රවණය කර, නිවන් මඟට පත්වීම යනුයි. සුතමයේ ඥාණය ලැබීමයි.

    මෙය ”පරතෝඝෝෂක ප‍්‍රත්‍යය” යනුවෙන් හඳුන්වයි. ශ‍්‍රවණය හා ඇසීම යනු එකක්ම නොවේ. ශබ්දය ඇසීම, කියන වචන, කටහඬ ඇසීම එකකි. යමක් අසන්නේ හෝ ඇසෙන්නේ උත්සාහයක් නැතිවමය. ශ‍්‍රවණය යනු අවධානයෙන් යුතුව කියන වචන, කියන දේ, කියන විලාසය, අර්ථය, සුන්දර බව නිවැරදිව අවබෝධ කරගෙන ධාරණය කර ගැනීමයි. පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබෙන්නේ ධර්මය ශ‍්‍රවණය කිරීමෙනි. බුදුපියාණන් වහන්සේ සිරි මුඛයෙන් දේශණා කළ ධර්මය ශ‍්‍රවණය කිරීමෙන්ම සියලු ශ‍්‍රාවකයින් වහන්සේලාටද මඟඵල ලැබිණි. සෝතාපන්න විය. ඒ අරහතුන් වහන්සේලාද තම ශ‍්‍රාවකයින්ට දේශණා කළ ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් පරපුරෙන් පරපුරට මේ සෝතාපන්න වූ බව පවත්වා ගෙන ආහ. ක‍්‍රමයෙන් මඟ ඵල ලැබූ උත්තමයින් වහන්සේලාගෙන් ලෝකය හිස්වෙත්ම මෙසේ මේ සෝතාපන්න වීමට උපකාරක කටහඬ, ධර්මය ශ‍්‍රවණය කරන්නට නොලැබීම නිසා මඟඵල ලැබූ උත්තමයින්ගේ පරම්පරාව අවසාන විය.

    සෝතාපන්නයෙකු වීමට අවශ්‍ය පළමුවැනිම සාධකය පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබා ගැනීමයි. තවත් පෘථග්ජන මිනිසෙකුට මේ ලබා දීම කළ හැක්කේ අඩුම වශයෙන් සෝතාපන්න තත්ත්වයට හෝ පත් වූ ආර්ය උත්තමයකුට පමණි. බුදුපියාණන් වැඩසිටි කාලයේදී, අරහතුන් වැඩසිටි කාලවලදී, ඒ අරහතුන් වහන්සේලාගේ කටහඬින් දේශණා කළ ධර්මය ශ‍්‍රවණය කර, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබ, සෝතාපන්න වූ උත්තමයින් නැවත මිනිස් ජාතියක උපන්නොත්, ඒ උත්තමයින් ”ජාත සෝතාපන්න” යනුවෙන් හඳුන්වති. මෙවැනි උත්තමයින් අදද අප අතරම සිටිති. අප අතරම ජීවත් වූවත් ඒ අය වෙන්කර හඳුනා ගැනීම නම් තරමක් අපහසුය.

    කෙසේ වුවත් එවැනි උතුමන් අවබෝධ කරගත් නිවන් මාර්ගඵල හා ධර්ම ඥාණයත් දියුණු කරගෙන තවත් අයටද ධර්මය පැහැදිළි කර දීමට හැකියාව, ශක්තිය ඇත්නම් ඒ කටහඬ අසා, ධර්මය අසා අදද පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබා, සෝතාපන්න විය හැකිය. මෙය අනුමාණ ඥාණයෙන් නිවන් දැකීමයි.

    ස්වඋත්සාහයෙන්ම, ස්වයංභූ ඥාණයෙන්ම බාහිර කෙනෙකුගේ උපකාරයෙන් තොරව මඟඵල ලබා නිවන් අවබෝධ කර ගත හැක්කේ, බුදුවීමට පෙරුම් පුරණ බෝසත් උත්තමයෙකුට බුදුවන ආත්ම භවයේදී හා පසේ බුදුවරයෙකුට පසේ බුදුවන ආත්මයේදීම පමණි. වෙනත් දෙවියකුට, මිනිසෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට පරතෝඝෝෂක ප‍්‍රත්‍යය නොලබා ස්වඋත්සාහයෙන්ම නිවන් මඟඵල ලැබිය නොහැකිය.

    කවුරුන් කෙසේ විස්තර කළත් සත්‍යය මෙයයි. ”භාවනා කර විදර්ශනා වඩා උත්සාහයෙන් වීර්යයෙන් නිවන් දකිමියි” කියා වසර සියයක් උත්සාහ කළත් ආත්ම ගණනක් උත්සාහ කළත්, මඟඵල ලැබූ උත්තමයකු හමු වී, ඒ කට හඬින් බණ ඇසීමෙන් ලැබූ පරතෝඝෝෂක ප‍්‍රත්‍යයෙන්, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියෙන් මිස වෙන අයුරකින් මඟඵල ලැබිය නොහැකිමය. අනාර්ය ධ්‍යාන නම් ලැබිය හැකිමය. මෙසේ වීර්යයෙන් උත්සාහ කර, භාවනා කර, සිල් රැක කරන පිං දහම් අපතේ යන දෙයක් නොවේ. භාවනා කිරීම නිසා සමාධියත් ධ්‍යානයත් ලැබෙන නිසා මතු සුගතියකම උපත ලැබීමට වාසනාව ලැබෙයි. කවදා හෝ අරිය උත්තමයකුගේ කට හඬෙන් බණ (බව නසන මඟ) අසන්නට ලැබෙන මොහොතේම ඒ අය මඟඵල ලබන්නට හේතු සම්පත් ලබන්නේය.

    මාර්ග ඵලයට පත්වූ කෙනෙකු මතු කිසි කලෙක නිවන් දක්නා ජාති දක්වා සතර අපායක උප්පත්තියක් නොලබයි. සසර දුකින් මිදුනා වෙයි. සෝවාන් මඟඵල ලාභියෙකු දෙව් ලොව, මිනිස් ලොව හෝ උපත ලබා කෙත් සතක් පසුකර නිවන් දකී. කොතරම් ඉහළ අනාර්ය ධ්‍යානයක් හෝ ලැබුවකු වූවත් මඟඵල නොලැබූයේ නම් දෙව් ලොව, බ‍්‍රහ්ම ලෝක වල උපත ලබා, කළ පිං වල ශක්තිය අවසානයේ යළි සතර අපායක වුවද මතු ඉපදීමට ඉඩ ඇත.

    කළ පින් නිසා සැපම විඳින්නට ගියහොත් සැපට ලොබ වුවොත් රාග, ද්වේෂ, මෝහ වලට යළිත් බැඳෙන නිසා, දුගතියට පත්වීම වැළැක්විය නොහැකිය. මේ කරුණු අනුව පැහැදිළි වන්නේ, මඟඵල ලබා සසර දුකින් සඳහටම මිදෙන්නට නම් “පරතෝඝෝෂක ප‍්‍රත්‍යය” ලබා ගැනීම පළමුවන අවශ්‍යතාවය බවයි.

    අනුමාන ඥාණයෙන් නිවන් දැකීමට අවශ්‍යයෙන්ම පූර්ණ කළයුතු දෙවන කාරණය නම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලැබීමයි. කළ්‍යාණ මිත‍්‍රයකු යනු කිසිදු ලාභයක්, ප‍්‍රයෝජනයක්, කීර්තියක්, ප‍්‍රශංසාවක් හෝ ප‍්‍රතිලාභයක් කිසිම අයුරකින් බලාපොරොත්තු නොවී, තම කාලයත්, ශ‍්‍රමයත්, සම්පතුත් අනුන් වෙනුවෙන්ම වැය කරමින් හුදෙක් පරෝපකාරයම, පරාර්ථය සඳහා දුකෙන් තැවෙන හුදී ජනයා කෙරෙහි ඇති වූ අනුකම්පාවෙන් ම තමන් අවබෝධ කරගත් ධර්මය, කළු ධර්මයන් නසන මඟ, නිවන් මඟ වෙනත් කෙනෙකුට පැහැදිළි කර දෙන උත්තමයාය. කරුණාව, මෙත්තාව මුල් කර ගෙන, අවංකව පරම පවිත‍්‍ර චේතනාවෙන්, කෙළෙස් නසන මඟ (බණ) දේශණා කරන උත්තමයා අඩු තරමින් සෝවාන් මාර්ග ඵලයවත් ලබා සිටිය යුතුය.

    මෙයින් පැහැදිළි වන්නේ පෙර කළ පින් ඇත්නම්, උත්සාහය වීර්යය නොඅඩුව පවත්වන්නේ නම්, නිවන් දැකීමට, මඟඵල ලැබීමට අදද කිසි බාධකයක් නැති බවයි. ගිහි වුවත් පැවිදි වුවත් අරිය නොවූ පෘථග්ජන පුද්ගලයකුට, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියත්, පරතෝඝෝෂක ප‍්‍රත්‍යයත් ලැබෙන තුරාවට මඟඵල ලැබිය නොහැකිය. දෙවිවූවන්ටත්, බ‍්‍රහ්මවූවන්ටත්, මිනිසුන්ටත් කවදා හෝ අරිය උත්තමයෙකුගෙන් බණ අසන්නට ලැබී, ඒ කට හඬින් පරතෝඝෝෂක ප‍්‍රත්‍යයත්, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියත්, සම්මා දිට්ඨියත් ලැබුණහොත්, ඒ හේතුකොට ගෙන අනුමාන ඥාණයෙන් නිවන් දැකිය හැකිය. පූර්ව භාග නුවණ පහළ වේ. ගඟක් මුහුද කරාම ගලාගෙන යන්නා සේ එතැන් පටන් නිවන පූර්ණය වන තුරු ධර්මතාවයෙන් ධර්මතාවයෙහිම පිහිටා කටයුතු කිරීම එවැනි උත්තමයින්ගේ නියත ලක්ෂණයකි.

    බුදුපියාණන්වහන්සේ දේශණා කළ පරිදි සබ්බාසව සූත‍්‍රයේ “දස්සනේන පහාතබ්බං”, “භාවනාය පහාතබ්බං”, “සංවරේන පහාතබ්බං” යැයි අවස්ථා හතකදී නිවන පූර්ණය වන බව පෙන්වා දී ඇත. මෙහි විස්තර කළ “දස්සනේන පහාතබ්බං” යනු අනුමාණ ඥාණයෙන් නිවන් දැකීම හෙවත් පූර්ව භාග නුවණ පහළ වීමයි. සෝවාන් මඟ ඵල ලැබීම දක්වා ගමනයි. “සං” දැක, “සං” වලින් මිදී නිදහස් වන හැටි දැකීමයි.

    අද නිවන් දැකිය නොහැකිය. නිවන් මඟ වැසී ඇත. මතු බුදුවන මෛත‍්‍රී බුදුන් බුදුවන තුරු ඒ සඳහා බලා සිටිය යුතු යැයි වැරදි අදහස් දරන්නේ අනවබෝධය නිසාමය. මිනිසෙකුව උපන් සියලු දෙනාටම මේ අවස්ථාව සහ ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා ආදී සියලු සම්පත්ද ලැබී ඇති බව නුවණින් දැන, මේ බුද්ධෝත්පාද කාලයක් බවද සිහිපත් කර, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය හා කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියද ලබාගෙන, “බව” නසන මඟද (බණ) අසා දැන ගත හැකි අරිය උත්තමයින් දැන හඳුනා ගෙන, නිවන් දැක ගැනීමට මඟ පාදා ගනිත්වා.

    අද නිවන් දැකිය නොහැකිද? නිවන් මග වැසුනේ කෙසේද?

    බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම, ස්වඋත්සාහයෙන්ම සොයා දැන, විවරණය කර, විග‍්‍රහ කර, පනවා වදාළ පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය දේශණා කළේ, අනන්ත අප‍්‍රමාණ කාලයක් සංසාර සාගරයේ අතරමංව දුක් විඳින ලෝක සත්ත්වයාට එම දුකින් මිදීමේ විමුක්ති මාර්ගය පෙන්වා දීමේ එකම පරමාර්ථයෙනි.

    ආචික්ඛනා දේසණා පඤ්ඤපනා, පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්මංතී
    යනුවෙන් සච්ච විභංග සූත‍්‍රයෙහි පැහැදිළි කළේ මෙයයි.

    ඒ බුද්ධ වචන, පෙළ දහම උත්තරීතර වන නිසාම ත‍්‍රිපිටක ධර්මය ලෙසින් අද දක්වාම නොනැසී පවතී. පසුකාලීනව නිර්මල බුද්ධ දේශණාවට අටුවා ටීකා ලිවීම නිසාත්, විවිධ භාෂාවන්ට බුද්ධ ධර්මය පරිවර්තනය කිරීමේදීත්, ආචාර්ය මත, ආචාර්යවාද එකතු විය. නිකාය භේද ඇති වීම නිසා ඒ ඒ නිකාය වල මතවාද වලට ගැළපෙන ලෙස ධමර්‍ අර්ථයන් විකෘති කළහ. පසුකාලීන ව හින්දු, ශිව, ජෛන ආදී විවිධ ආගමික සංකල්ප හා ලෞකික මතද බුද්ධාගමට එකතු විය. පෙළ දහමෙන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මඟ, නිවැරැදි නිවන් මඟ විකෘති වී අපැහැදිළි තත්ත්වයට පත්වීම මෙහි ප‍්‍රතිඵලයයි.

    ලෞකිකත්වයට ඇලුම් කළ පෘතග්ජන ලෝකයාට ගැළපෙන සේ නිර්මල බුද්ධ ධර්මය වෙනස් අර්ථයකින් අර්ථ දක්වා ආගමක් බවට පත් කර ගැනීම මෙහි ප‍්‍රතිඵලය විය. අද ප‍්‍රචලිතව, ජනප‍්‍රියව පවතින බුද්ධාගම, නැති නම් බුද්ධ ශාසනය, එසේ පසුකාලීන ව සාදා සකස් කර ගත් එකකි. නිවන් දකින පරම පවිත‍්‍ර ධර්මය තවත් එකකි. මේ දෙකෙහි වෙනස දැන හඳුනා ගැනීමත් නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන පිරිසිදු බුද්ධ ධර්මය තෝරා බේරා ගෙන, ඒ මඟ අනුගමනය කිරීමත් පමණක් බෞද්ධයෙකුගේ එකම පරමාර්ථය වූ නිවන් අවබෝධ කර ගැනීමට උපකාරකය.

    බුදුපියාණන් දේශණා කර වදාළ පිරිසිදු නිවන් මාර්ගය පසුගිය වසර 2550ක් තරම් කාල පරාසයක් තුළ විවිධ වෙනස්කම්වලට, විකෘති කිරීම් වලට භාජනය වීමට බලපෑ ප‍්‍රධාන කරුණු කිහිපයක් ඇත. මේ අතරින් ප‍්‍රධාන කොටම පෙන්වා දිය හැකි කරුණ වන්නේ, බුද්ධ ධර්මය දේශණා කරන දේශකයින් මෙන් ම, බුද්ධ ධර්මය පොත පතෙහි ලියා පළ කරන සියලු දෙනා ද දැනගත යුතු, අනුගමනය කළ යුතු වැදගත් කරුණු පිළිබඳව මනා වැටහීමක් නැති වීමයි. ධර්මය ශ‍්‍රවණය කරන්නන්, ධර්මය හදාරන්නන් මෙන්ම ධර්මය අනුගමනය කරන්නන්ද, ධම්මානුධම්ම පටිපදාවම අනුගමනය කරන්නේ නම් මඟ වැරදෙනු නොහැක.

    ඕනෑම කෙනෙකුට තමන් කැමති දේ කිරීමටත්, ලියා තැබීමටත් නිදහස ඇත. නමුත් ධර්මය හදාරන, නිවන් මඟ සොයන දායක කාරක ආදීන් ඒ කියූ ලියූ දේ ඒ අයුරින්ම ගැනීම, සොයා නොබලා නියම මඟ යැයි ගෙන කටයුතු කිරීම ධර්මානුකූල නොවේ. ගුරු පරපුරෙන් පවත්වා ගෙන ආ පළියට හෝ උගතෙකු, පඬිවරයෙකු යැයි ජනප‍්‍රියත්වයට පත් වූ කෙනෙකු තර්ක ගෙනහැර පා ධර්මය අධර්මය කර පෙන්වා දුන් පළියට ඒවා ඒ අයුරින්ම ගැනීම බුද්ධියට නොගැළපෙන ක‍්‍රියාවකි. බුදුපියාණන්ම මේ බව කිහිප අවස්ථාවකදීම පැහැදිළිව ප‍්‍රකාශ කර ඇත.

    බුදුපියාණන් දේශණා කර වදාළ නිවන් මඟ මතු අනාගතයේදී වෙනස් වන බව, වෙනස් කර විකෘති කරන බව, ලෞකිකත්වයට ගැළපෙන ලෙස හැඩ ගසන බව බුදුපියාණන්ම ඒ කාලයේදීම දැක තිබුණි. ඒ හේතුව නිසාම මහා ප‍්‍රජාපතී ගෝතමියට දේශණා කළ “ගෝතමී සූත‍්‍රයේ” එවැනි වෙනස් කිරීම් විකෘති කිරීම් දැන හඳුනා ගැනීමටත්, ඒවා නිවැරදි කර ගැනීමටත් අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග පැහැදිළිව පෙන්වා දුන්හ. කල් ඇතිවම බුදුපියාණන් මෙවැනි පියවර ගත්තේ, මතු කාලයේ දී සිදු විය හැකි විකෘති කිරීම්, නොගැළපීම් සිදුවන බව කල් තබාම දුටු නිසාම ය.

    මල් පහන් පිදීම, වන්දනා මාන කිරීම, දාන මාන ආදිය පිළිගැන්වීම, ප‍්‍රතිමා චෛත්‍ය බැඳීම, පන්සිල්, අටසිල්, දස සිල් ගැනීම ආදී පින්කම් කිරීමෙන් පමණක් නිවන් දැකිය හැකියැයි, බොහෝමයක් බෞද්ධයා සිතතත්, නිවන් දැකීම ඊට වඩා බොහෝ ගැඹුරු කටයුත්තකි.

    බුදුපියාණන් මතුකර පෙන්වා වදාළ නිවන් මඟ භක්තියෙන් ඇදහිය යුතු ඇදහිලි මාර්ගයක් නම් නොවේ. පුද පූජා ක‍්‍රමයක්ද නොවේ. එය අර්ථවත් ජීවන මඟක්ද නොවේ. ආගම යන තේරුමෙන් එය ආගමක්ද නොවේ. බුද්ධ ධර්මය යනු අනන්ත සංසාරයේ අතරමං වී දුක් විඳින මුලා වූ සත්ත්වයා සංසාර දුකින් මුදවා ගැනීම එකම පරමාර්ථය කොට ගෙන ඉදිරිපත් කළ සත්‍ය ගෙනහැර දැක්වීමකි. විමුක්ති මාර්ගයකි. අර්ථවත් ජීවන මාර්ගයක් ඉදිරිපත් කිරීම පමණක් පරමාර්ථය වී නම් බෝසත් තුමා රජ සැප හැර පියා වන වැදීම නොකරනු ඇත. මේ සත්‍ය වටහා නොගෙන, ධර්මය විකෘති කර, අර්ථවත් ජීවන මාර්ගයක් ඉදිරිපත් කළ බව පෙන්වීමට සමහරුන් ගන්නා උත්සාහයන් නිසා නිවන් මඟ වැසී ගියේය. හොඳ, යහපත්, අර්ථවත්, හරි දැක්මක් සහිත ජීවන මාර්ගයක් පිළිබඳව උගැන්වීම අද බුද්ධාගමේ පරමාර්ථය වී ඇත්තේ මේ නිසාය. මෙය සුගතියක ඉපදීමට උපකාරක විය හැකි වුවත් රාග, ද්වේෂ, මෝහ කපා දමා දුරු කිරීමට උපකාර නොවන නිසා, නිවන් මඟ වැසී ගියේය. බුද්ධ ධර්මයෙන් පෙන්වා වදාළ නිවන් මඟ මෙලොව සුගතිය මෙන්ම සදාකාලිකවම දුකින් මිදීමද අරමුණු කොට ගත් ලෝකෝත්තර ධර්මයකි.

    උපතක් ලැබූ සෑම ජීවියකුම උපතේ සිට මරණය දක්වාම එකළොස් ගින්නකින් තැවෙයි. අනන්ත අප‍්‍රමාණ මානසික දුක් පීඩා වලින් අසහනයට පත් වේ. මරණ භය, සියලුම සත්ත්වයින්ට වඩාත්ම බරපතලම දුකයි. කුමන ආකාරයකින් සුඛිත මුදිත වූ සර්ව සම්පූර්ණ ජීවන මාර්ගයක් තිබුණත් එයින් මානසික, කායික ලෙඩ රෝග, දුක්, මරණය වැළැක්විය නොහැකිය.

    බුද්ධ දේශණාවෙන් ඉදිරිපත් කළේ අනන්ත අප‍්‍රමාණ දුක් විඳින සත්ත්වයාට, සදහටම දුකින් මිදී විමුක්තිය ලබාගත හැකි මාර්ගයකි. ඒ බුද්ධියෙන්ම දැරිය යුතු, තේරුම් ගත යුතු අවබෝධයෙන් ක‍්‍රියාත්මක කළ යුතු සත්‍ය ධර්මයයි.

    සිතින්ම කල්පනා කර, සිතම උපකාර කර ගෙන, සිතෙහිම උපදින්නා වූ අයහපත් කෙළෙස් සහිත වූ ශක්ති විශේෂයක් ඉපැදවීම නතර කර, සිතම නිරෝධ කර, තමාට සංසාර ගමන යාමට මෙතෙක් උපකාරී වූ පංචස්කන්ධ උපාදානයෙන්ම මිදී, විමුක්තිය සොයා ගත යුතු දහමකි. වෙනත් කෙනෙකුට ඔබව නිවන් දැක්විය නොහැකිය. බුදුන් වහන්සේලා දහසකගෙන් බණ ඇසුවත්, තම සිතින් දහම නොගත්තේ නම් නිවන් දැකිය නොහැකිය. දහම් අසා තමාගේම සිත පිරිසිදු කරගත යුතුය.

    මරණයෙන් පසු නැවත මිනිස් ජාතියකම හෝ සුගතියකම උපදිතියි යනුවෙන් කිසිවෙකුට සහතිකයක් ලබා දිය නොහැකිය. මේ විශ්වය තුළ බිහිවී, ජීවත් වන සත්ත්ව කොට්ඨාශ අතරින්, මිනිසුන් ලෙස අද උපත ලබා ඇත්තේ, කෝටි ප‍්‍රකෝටි ගණනකින් එක් කෙනෙකි. අපට පෙනෙන තිරිසන් ලෝකය තුළම (මුහුදේ හා ගොඩබිම) මිනිසුන් මෙන් කෝටි ප‍්‍රකෝටි ගණනකින් සත්ත්වයින් වාසය කරති. අපට නොපෙනෙන ලෝකයෙහිද අමනුස්සයින්, පේ‍්‍රතයින්, භූතයින්, දෙවියන්, බ‍්‍රහ්මයින් ලෙස මේ හා සමාන ප‍්‍රමාණයක් උපත ලබා ඇත. එසේ නම් නැවත උපතක් ලැබීමේදී මිනිසෙකුම වී උපත ලැබීමට හැකිවේ යැයි කාට නම් සහතික විය හැකිද? එසේ නොමිනිසුන් ලෙසින් ලැබූ උපතකදී ලබන දුක් ප‍්‍රමාණය මිනිසකුව ලබන දුක් ප‍්‍රමාණය මෙන් කිහිප ගුණයකි. අපාගතව දුක් විඳින සතුන් විඳින දුක් ප‍්‍රමාණය කෙනෙකුට සිතා ගත නොහැකි තරම්ය.

    බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් මඟ මිනිසුන් ලෙස උපත ලැබූ සියල්ලටම පහසුවෙන් තේරුම් ගෙන, අවබෝධ කරගෙන, ක‍්‍රියාත්මක කළ හැකි එකකි. සදාකාලිකවම දුක් විඳින ලෝක සත්ත්‍වයාට සදහටම දුකින් මිදී, සාරයි කියා යන මේ සංසාර ගමන නිමා කිරීමට පෙන්වා දුන් එකම ධර්ම මාර්ගය, බුද්ධ ධර්මයයි.

    අද නිවන් මඟ වැසී ගිය පසු හෝ හිතා මතාම වසා දැමූ පසුව හෝ බුද්ධ ධර්මයේ පෙන්වා දුන් උසස්ම ධර්ම කරුණු ලෞකික අර්ථයෙන් විග‍්‍රහ කර ගෙන අර්ථවත් ජීවන මාර්ගයක් පෙන්වන ආගමක් ලෙසින්ද විග‍්‍රහ කර, සාධාරණීකරණය කිරීමත්, එයම ජීවන මාර්ගය කරගත් පිරිසක් බිහි වීමත් ප‍්‍රතිඵලය වී ඇත.

    මෙයට හේතුව නිවන් දැකීම සඳහා අනුගමනය කළ යුතු සරළ වැඩ පිළිවෙල ලියැවුණු පොතක් පතක් අද දක්නට නැති වීමත්, එසේ පෙර කළ ලියා තැබුවා යැයි විශ්වාස කරන ”හෙළ අටුවා” පොත් සියල්ල හිතා මතාම විනාශ කර දැමීමත්ය.

    කුමන භාවනාවකින් හෝ කර්මස්ථානයකින් හෝ බලාපොරොත්තු විය යුත්තේ සියලු අවිද්‍යා සංඛාර, අවිද්‍යා විඤ්ඤාණ නිරෝධ කර, “සං” එකතු කරන උල්පත් වසා දමා, රාග, ද්වේෂ, මෝහ සහගත කෙළෙස්, සිතින් නිපදවන චිත්ත ශක්තීන් (හේතුන්) නිපදවීම සහමුළින් නැවැත්වීමත්, ඊටම උපකාර වන රාග, ද්වේෂ, මෝහ වැනි පහත් කුණු සහගත චන්දරාගය සළාහැරීමත් (ප‍්‍රහාණය කිරීමත්) මගින් මතු උපතට හේතුවන ශක්ති බිහි කිරීම නවතා දැමීමයි. එය භව නිරෝධයයි.

    හේතු නැති තැන ඵලවිපාකද නැත. හේතු (චිත්ත ශක්ති) අලුතින් බිහි කරන තාක් ඵල විපාක ඇත. බුද්ධිය මෙහෙයවා සත්‍යය අවබෝධ කරගෙන අවිද්‍යා විඤ්ඤාණ නිරෝධ කර, කුසල් පුරා ගැනීමෙන් (පහත් කුණු වැනි දේ සළා හැරීමෙන්) පමණක් කෙනෙකුට මෙලොවදීම නිවන් දැකිය හැකිය. කුසලයම ඊට උපකාරී වේ යනු බුද්ධ දේශණාවයි. පිංකම් කළ යුතුමය. එය සුගතියකට මිනිස් උපතකට උපකාරී වේ. මිනිස් ජාතියක උපත ලැබීමෙන්ම කුසල් පුරා නිවන් මඟට අවතීර්ණ විය හැකි වෙයි. මේ නිසා පින්, නිවන් මඟට අවශ්‍ය මුට්ටිකාසි මෙනි. මඟ වියදමට මුදල් නැති කළ මේ ගමන ගමනාත්තය තෙක් ගමන් කළ නොහැකිය. සුව, අසුව දහසක් ධර්ම කාණ්ඩ ඉගෙන ගැනීම, පණ්ඩිතයකු උගතකු ලෙස තර්ක ඉදිරිපත් කිරීමට, මුදල් උපයා සැප සම්පත් ලබා, සංසාර ගමන දික් කර ගැනීමට පමණක් උපකාර කරගත හැකිය. “බව” යහපත් තැනක් කිරීමට, බව හදා ගැනීමට, බෙදා ගැනීමට හෝ බදා ගැනීමට කටයුතු කිරීම නිවන නොවේ. භව උදුරා දැමීමම නිවනයි.

    නිවන් දැකීම යනු මේ සංසාර පැවැත්මෙන් මිදීමයි. ලෝකයෙන් මිදීමයි. මිදිය යුතු ලෝකය කුමක්ද යන්නත්, යායුතු නිවන කුමක්ද යන්නත් දැනගත යුතුය. යායුතු තැන පිළිබඳව අනුමාණ ඥාණයෙන් දැක අදහසක් ඇතිකර ගත යුතුය. එය පුර්ව භාග නුවණයි. එවැනි අනුමාණ ඥාණයක් නොලැබ වැටහීමක් නැතිව ගමන ඇරඹීම උසක් නොදැක, නොදැන ඉනිමං බැඳ අතරමං වීම වැනි ක‍්‍රියාවකි. මුළින්ම ලෝකය කුමක් දැයි දැනගත යුතුයි. වරක් ආනන්ද හිමි ලෝකය විග‍්‍රහ කළ ආකාරය මෙහිදී අපටද ප‍්‍රයෝජනවත් වේ.

    “ලෝකය” යනු ඇස, ඇසට පෙනෙන දේ, කන, කනට ඇසන දේ, නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිව, දිවට දැනෙන රස, කය, කයට දැනෙන පහස හා මනසට දැනෙන අරමුණු (ධම්ම) යයි වදාළ සේක.

    කුමන ආකාරයකින් තර්ක කර විමසා බැලුවත් මීට වැඩි හෝ අඩු ලෝකයක් නැත. මේ සඳහන් කළ දේවල් කෙස් ගහක ප‍්‍රමාණයක් හෝ අඩු කළ හොත් එතැන පූර්ණ ලෝකයක් නැත. මීට වැඩි කිසිවක් එකතු කිරීමටද ලෝකයේ ඉතිරිව නැත.

    දිව්‍ය, බ‍්‍රහ්ම, මනුස්ස, අමනුස්ස යන කොටස් වලින් සමන්විත මේ පැවැත්මෙහි උතුම් වූ මිනිසත් බවක් ලැබූ අප, මිනිසත් බවක උපන් මේ අවස්ථාවේම නිවන් අවබෝධ කරගත යුතුය. දෙවියකු, බ‍්‍රහ්මයකු, අමනුස්සයෙකුව උපන් කෙනෙකුට වඩා මිනිසකුව උපන් කෙනෙකුට තම මනස උපකාර කරගෙන සම්‍යක්ප‍්‍රයෝග, උපක‍්‍රම හා ප‍්‍රතිකර්ම දැන, ඒ අනුව ක‍්‍රියා කරමින් නිවන් දැකීම මේ උපතේදීම කර ගත හැකිය.

    මිනිසකුව උපන් හැම කෙනෙකුම අවබෝධ කරගත යුතු වැදගත්ම දේ නම් මේ ලැබුණු අවස්ථාව යළි කවදා ලැබේවිදැයි කිව නොහැකි හෙයින් මේ ලැබුණු දුර්ලභ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගෙන සදහටම දුකින් මිදීමට පියවර ගත යුතු බවයි. අප‍්‍රමාදව ලැබූ අවස්ථාව අපතේ නොයැවිය යුතුයි.

    දෙවියන්, බ‍්‍රහ්මයින් හෝ අමනුස්සයින් කළ පින් හෝ කළ පව් අනුව ඵල විපාක විඳිනු මිස, මනස මෙහෙයවා ප‍්‍රඥාව මෙහෙයවා දුකින් මිදීමට අවශ්‍ය කුසල් පූර්ණය කිරීම ඔවුන්ට කළ නොහැකිය.

    පින් කිරීමෙන් සුගති වල ඉපදුනත් සැප වින්දත්, කුසල් කිරීමෙන් පමණක් නිවන් දැකිය යුතුය. කුසල් පිරීම මිනිසෙකුට පමණක්ම කළ හැකි දෙයකි.

    පෙර ජාතියක මිනිසත් බවක උපත ලබා කරන ලද කුසල හා පින් බලයෙන්, සෝවාන් ආදී මඟ ඵලයන්ට පත්ව අරිය තත්ත්වයට පත් වූ දෙවියෙකු හෝ බ‍්‍රහ්මයකුව උපන් කෙනෙකුට හැර අන් සියලුම දෙවියන්, බ‍්‍රහ්මයින් ලෙස ඉපදී සිටින අයට කළ පින්වල ඵල විපාක විඳිමින් කාලය ගෙවනු හැර, ප‍්‍රඥාව මෙහෙයවා ස්වෝත්සාහයෙන්ම මඟ ඵල ලබාගත නොහැකිය. බුදුවරයෙකුගේ ජීවන කාලය තුළ පමණක් බණ අසා මඟ ඵල ලබාගත හැකිය.

    මෙයින් පැහැදිළි වන්නේ නිවන් දැකීමට ගත යුතු මූලික පියවර ගත යුත්තේ,මිනිසෙකුව ලත් මේ උපතේදීම බවයි. දෙවියන් වෙන්නටත්, බ‍්‍රහ්මයන් වෙන්්නටත්, මඟඵල ලබාගන්නටත්, අරිය ධ්‍යාන ලබන්නටත් අවශ්‍ය පින් හා කුසල් දෙකම පුරාගත හැක්කේ, මිනිසත් බවක් ලත් මේ අවස්ථාවේදීම පමණි.

    - මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි


     
    Last edited:
    • Like
    Reactions: snm1990

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,318
    41,169
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    lucky-guy-picture-id172870070
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    නිවන් දැකීම හෝ මාර්ග පලයක් ලැබීම කියන දේ කිසිම බුද්ධ වචනයක් අහල නැති කෙනෙක්ට ලබාගන්න පුලුවන් ද බැරිද ?
    ඔතන තියෙන්නේ හිත පාලනය කරගැනීමක් නේ , අවබෝධයක් නේ
    ඕකට බුද්ධ දේශනාවක් අත්‍යවශයි කියලද හිතන්නේ ? කිසිම බුද්ධ වචනයක් දන්නේ නැති කෙනෙක්ට ලබාගන්න බැරි දේවල් ද මාර්ගපල ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,906
    113
    නිවන් දැකීම හෝ මාර්ග පලයක් ලැබීම කියන දේ කිසිම බුද්ධ වචනයක් අහල නැති කෙනෙක්ට ලබාගන්න පුලුවන් ද බැරිද ?
    ඔතන තියෙන්නේ හිත පාලනය කරගැනීමක් නේ , අවබෝධයක් නේ
    ඕකට බුද්ධ දේශනාවක් අත්‍යවශයි කියලද හිතන්නේ ? කිසිම බුද්ධ වචනයක් දන්නේ නැති කෙනෙක්ට ලබාගන්න බැරි දේවල් ද මාර්ගපල ?
    Series of thoughts create the illusion of 'i' and other outer world seems to exist.All the nivana is to realize this.The first thought came to existance by taking two ends.either something exist or it doesnt.Realize the illusion of the two ends sasara ends.:dull:
     
    • Like
    Reactions: ek_rosh

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    Series of thoughts create the illusion of 'i' and other outer world seems to exist.All the nivana is to realize this.The first thought came to existance by taking two ends.either something exist or it doesnt.Realize the illusion of the two ends sasara ends.:dull:
    ආ මෙන්න මු උට්ටානය වෙලා .
     
    • Haha
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,162
    2,041
    113
    නිවන් දැකීම හෝ මාර්ග පලයක් ලැබීම කියන දේ කිසිම බුද්ධ වචනයක් අහල නැති කෙනෙක්ට ලබාගන්න පුලුවන් ද බැරිද ?
    ඔතන තියෙන්නේ හිත පාලනය කරගැනීමක් නේ , අවබෝධයක් නේ
    ඕකට බුද්ධ දේශනාවක් අත්‍යවශයි කියලද හිතන්නේ ? කිසිම බුද්ධ වචනයක් දන්නේ නැති කෙනෙක්ට ලබාගන්න බැරි දේවල් ද මාර්ගපල ?

    පුලුවන්, එහෙම කෙනෙකුට තමයි, බුදුන් හරි පසේ බුදු කියන්නෙ..තමන් විසින්ම අවබොද කරගන්න කෙනා..

    Series of thoughts create the illusion of 'i' and other outer world seems to exist.All the nivana is to realize this.The first thought came to existance by taking two ends.either something exist or it doesnt.Realize the illusion of the two ends sasara ends.:dull:

    Haven't seen you for a while :-)
    ------ Post added on Aug 17, 2024 at 9:21 AM
     
    • Like
    • Sad
    Reactions: Emios and dilann