ඖෂධ ජාවාරමට එරෙහි වූ සටන්කාමියා – මහාචාර්ය සේනක බිබිලේ
Lasantha Kularatna
Share
https://roar.media/sinhala/identities/prof-senaka-bibile-contributions-against-big-pharma/
යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩසටහන යටතේ තිබූ ප්‍රමුඛතම යෝජනාවක් වූයේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය යලි ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාව වෙලාගෙන සිටින ඖෂධ මාෆියාව තුරන් කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ස්වාධින ආයතනයක් ලෙස ජාතික ඖෂධ අධිකාරිය බිහි වෙනවා. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ජනතාව වෙත ආරක්ෂාකාරී, ගුණාත්මකභාවයෙන් යුත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම එහි මූලික අරමුණු වෙනවා. නමුත් ඖෂධ ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි මතින් හා තර්ජන හමුවේ පෙර ලෙසටම නැවතත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය කුඩු වී විනාශ වී ගොස් ඖෂධ ජාවාරමේ අදුරු සෙවනැලි සුපුරුදු ලෙස හොල්මන් කරන්නට පටන්ගෙන තිබෙනවා.
ඉතින් අද අප ලිපිය තුළින් ගෙන එන්නට අදහස් කරන්න ලෝකයම වෙලාගෙන පවතින, ලොව දෙවැනියට කළු සල්ලි උපයන ජාවාරම වන ඖෂධ මාෆියාවෙන් ශ්‍රී ලාංකික ජනතාව ගලවා ගැනීම සඳහා තම දිවිය පවා දෙවැනි කොට සළකා මෙරටට ගැළපෙන ඖෂධ ප්‍රතිපත්තියක් ගෙන එන්නට වෙර දරමින් මානව හිතාදරයෙන් කටයුතු කළ ශ්‍රේෂ්ඨයෙක් පිළිබඳවයි. ඒ අපූර්වතම මනුෂ්‍යා සේනක බිබිලේ නම් මහාචාර්යවරයායි.
ත්‍රිත්ව විද්‍යාලයෙන් කොළඹ වෛද්‍ය විද්‍යාලයට
මහාචාර්ය සේනක බිබිලේ (Colombo Telegraph)
1920 වසරේ පෙබරවාරි 13 දින මොණරාගල වෙල්ලස්සේ රටේ මහත්තයෙක් වූ චාර්ල්ස් විලියම් බිබිලේ හා අහංගම කතළුවේ අටදාගේවත්ත වලව්වේ සිල්වියා ජයවර්ධන නම් යුවලට දාව වැඩිමහල් දරුවා ලෙස සේනක විලියම් බිබිලේ උපත ලබන්නේ අහංගම කතළුවේදීයි.
කුඩා සේනක මූලික අධ්‍යාපනය බදුල්ල විද්‍යාලයකින් හැදෑරූ අතර ද්වීතික අධ්‍යාපනය හදාරන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්. සේනක කුඩා අවධියේම ඔහුගේ පියා මෙලොව හැර යන අතර පවුලේ වගකීම පැවරෙන්නේත් ඔහුගේ කර මතයි. ඉගැනුමට උපන් හපන්කම් දැක්වූ මේ ශිෂ්‍යයා තම පියා මෙන් සමාජය දෙස වෙනත් කෝණයකින් බලන්නට උත්සාහ කළ අයෙක් බව ගම්වාසීන්ගේ මතය වුණා. පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කරන සේනක කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබනවා.
ඖෂධවේදය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා
ශිෂ්‍ය අවදියේදී – ඉදිරිපස දකුණේ වාඩි වී සිටින්නේ සේනක බිබිලේයි(Trinity College Kandy Worldwide Website)
කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වී “දඩාබෝයි” රන් පදක්කමද, ශෛල්‍ය වෛද්‍ය අංශයෙන් “රොක්වුඩ්“ රන් පදක්කම්ද ලබා ගනිමින් විශිෂ්ඨ දස්කම් දක්වන සේනක සෑම වසරකම වෛද්‍ය විද්‍යාලයේ හොඳම ප්‍රතිඵල ලබමින් පලමු පන්ති සාමාර්ථයක් සමඟ සාර්ථකව වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරනවා.
වෛද්‍ය සේනක බිබිලේ 1949 වසරේදී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහායි. එහිදී මහාචාර්ය වාන්හෙඩ් සමඟ එක්ව හෝමෝන කාණ්ඩයක් පිළිබඳ කරන ලද පර්යේෂණයක් නිසා වෛද්‍ය ක්ෂේත්රයේ කීර්තිමත් පුද්ගලයකු ලෙස ඔහු ජනප්‍රිය වෙනවා. එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සේනක බිබිලේ 1954 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආරම්භ වූ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන අංශයේ ප්‍රධානිය ලෙස සේවය කිරීමට එක් වෙනවා. සේනක බිබිලේ 1958 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා බවට පත් වෙනවා.
ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කාර්ය මණ්ඩලය සමඟ (YouTube)
පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීම උදෙසා ප්‍රභල ලෙස වාමාංශික නැඹුරුතාවයක් දැක්වූ ඔහු ලංකා සමසමාජ පක්ෂය ඔස්සේ තම දේශපාලනික දිවිය අරඹනවා. ජාත්‍යන්තර ඖෂධ වෙළෙඳ සමාගම් වල නින්දිත මුහුණුවර පිළිබඳ මහාචාර්ය බිබිලේ සිය හඬ අවදි කිරීම අරඹන්නේ සිය වාමාංශික නැඹුරුව හේතුවෙන් බව සිතන්නට පුළුවන්. මේ අතරවාරයේ ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමද වෛද්‍ය සේනක බිබිලේ විසින් ආරම්භ කරන ලද අතර පවතින පාලන ක්‍රමය තුළ මෙය කළ නොහැකි බව ඔහුගේ අදහස වුණා.
1970 වර්ෂයේදී බලයට පැමිණි සමගි පෙරමුණ රජය යටතේ ඔහුටත් වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහටත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් භාර දෙනු ලබනවා.
“සාධාරණ මිලකට, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ඒවායේ වෙළෙඳ නාමයන්ගෙන් නොව, ඖෂධීය නාමයන්ගෙන් ලබාදීම“ බිබිලේ ප්‍රතිපත්තියේ මූලික හරය ලෙස සැලකිය හැකිය. 1971 මාර්තු 23 දින වෛද්‍ය වික්‍රමසිංහයන් සහ මහාචාර්ය සේනක බිබිලේ එක්ව නව යෝජනා ඇතුළත් වාර්තාවක් සිරිමාවෝ මැතිණියට ඉදිරිපත් කරනවා. එහි සදහන් වූ මූලික යෝජනාවන් මෙසේ දක්වන්නට පුළුවන්.
රටට අවශ්‍ය නොවන ඖෂධ වර්ග ගෙන්වීම නැවතීම.
ඖෂධ සඳහා වෙළඳ නාමයන් වෙනුවට ඖෂධීය නාමය පමණක් යෙදීම.
ඖෂධ පිටරටින් ගෙන්වීම, බෙදාහැරීම සම්පූර්ණයෙන් රජයට පවරා ගැනීම.
ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉතා ඉක්මනින් ආරම්භ කිරීම.
ඖෂධ පිළිබඳ දැනුම හා තොරතුරු වෛද්‍ය වෘත්තිකයන්ට සහ මහජනතාවට නිවැරැදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක් බවට පත් කිරීම.
ඖෂධ පිළිබඳ පේටන්ට් නීති සංශෝධනය කිරීම.
ඖෂධවල තත්ත්ව පාලනය සඳහා නවීන පරීක්ෂණාගාරයක් ආරම්භ කිරීම.
මෙම යෝජනා ක්‍රියාවට නැගීමේ අරමුණෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන සංකල්පයද ලෝකයට හඳුන්වා දෙන්නේත් එහි මුල්ම සභාපති බවට පත් වන්නේත් මහාචාර්ය සේනක බිබිලේයි. ඒ 1971 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනිදායි. ඒ අනුව වසර තුනක් තුළ ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබා දෙමින් කෝටි එකොලහක විදේශ විනිමයක් රටට ඉතිරි කර දීමටත් ඔහු සමත් වෙනවා. 1973 වර්ෂය වන විට ඖෂධ ආනයනය සම්පුර්ණයෙන්ම රජය සතුකර ගැනීමට ඖෂධ සංස්ථාවට හැකි වන්නේ ඔහුගේ මග පෙන්වීම යටතේයි.
1976 දෙසැම්බර් 28 දින ඖෂධ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන තෙක් සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදී බදාදා උදෑසනම නැවත කොළඹට දුම්රියෙන් පැමිණෙන්නේ ඖෂධ සංස්ථාවේ රාජකාරී සඳහායි. මෙම කාලයේදී සංස්ථාවේ නිල රථය පවා සේනක බිබිලේ විසින් ප්‍රතික්ෂේප කරනවා