මුස්ලිම් තරුණයකු මහණ කර සිවුරු අන්දවා දුම්රියෙන් අනුරාධපුරයට රැගෙන යමින් සිටි සැකකටයුතු චීවරධාරීන් දෙදෙනකු පොල්ගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙසක් පොහොයට දින හතරකට පෙර එනම් ඉකුත් 14 වැනිදා ය. අනුරාධපුර වන්දනාකරුවන් භීතියට පත් කිරීමට ඉඩ තිබූ නිසා මෙම චීවරධාරීන් අත්අඩංගුවට ගැනීම හෙළි නොකර ඔවුන් පිළිබඳව රහසිගතව විමර්ශන පැවැත්වූ බව පොලිසිය සඳහන් කළා.
මෙම චීවරධාරීන් දෙදෙනා මුස්ලිම් තරුණයා මහණ කර අනුරාධපුරයට රැගෙන යන්න උත්සාහ දරා ඇත්තේ උත්සව සමයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කරන්නට බවට පොලිසිය සැක කරනවා.
මුස්ලිම් තරුණයා රැගෙන යමින් සිටි චීවරධාරීන් දෙදෙනා සතුව තිබී ඇමරිකන් ඩොලර් ඇතුළු රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මිල අධික ජංගම දුරකථන තුනක් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.
කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් ගත් මෙම චීවරධාරීන් තිදෙනා පිළිබඳව සැක පහළ කළ දුම්රිය මගීන් ඒ පිළිබඳව පොල්ගහවෙල පොලිසියට ජංගම දුරකථන මාර්ගයෙන් දැනුම් දී තිබුණා.
ඒ අනුව පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ආර්. ඒ. එච්. සිරිල් මහතා ඇතුළු නිලධාරීන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත පැමිණ යාපනය බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී දුම්රියේ සිටි මෙම සැකකටයුතු චීවරධාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනුණා.
මෙම චීවරධාරීන් තිදෙනා අතර සිටි වැඩිමහල් චීවරධාරියා කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක ලෙස කටයුතු කළ අයෙක්. විහාරස්ථානයේ ඇති වූ ගැටුමකින් පසු එම චීවරධාරියා කතරගම ප්‍රදේශයෙන් එලවා දමා ඇති අතර, මාස කිහිපයක් තිස්සේ මෙම චීවරධාරියා රටපුරා සැරිසරමින් සිට ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
එමෙන්ම මේ චීවරධාරියා රාජ්‍ය නොවන සංවිධානයක්ද පවත්වාගෙන යන බව ද අනාවරණය වී තිබෙනවා.
ප්‍රශ්න කිරීම්වලදී සැකකාර චීවරධාරියා පවසා ඇත්තේ මෙම මුස්ලිම් තරුණයා මුණගැසී ඇත්තේ කොටුව දුම්රිය ස්ථානය අසලදී බවයි. පස්සර පාර, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහොමඞ් ඉර්ෂාඞ් නමැති 16 හැවිරිදි තරුණයා කොළඹට පැමිණ ඇත්තේ රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙනි. කොටුව දුම්රිය ස්ථානය අසලදී චීවරධාරියාට හමු වූ මුස්ලිම් තරුණයා තමන්ට මහණවීමට අවශ්‍ය බව පවසා ඇත.
පසුව මොහු මුස්ලිම් තරුණයා පිටකොටුවේ සැලූන් එකකට රැගෙන ගොස් හිස මුඩුකර වෙළෙඳ සැලකින් සිවුරක් මිලදී ගෙන පිටකොටුව බෝධිය ඉදිරිපිටදී එය අන්දවා මහණ කර ඇති බව සඳහන්.
පසුව මෙම මුස්ලිම් තරුණයා ද කැඳවාගෙන චීවරධාරීන් දෙදෙනා අනුරාධපුරය බලා යමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර මෙම චීවරධාරීන් සිදුකළ ප්‍රකාශ පරස්පර බව පවසන පොලිසිය මොවුන් කිසියම් සංවිධානයක් සමග සම්බන්ධතා පවත්වමින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට සැලසුම් කරන්නට ඇති බව සැක කරනවා.
මෙම චීවරධාරීන් තිදෙනා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත ද දැනුම් දී ඇති බව සඳහන්.